බෙංගාලි අනාගතය ලෝඩ්ස් පිටියේ පොඩ්ඩාට | සිළුමිණ

බෙංගාලි අනාගතය ලෝඩ්ස් පිටියේ පොඩ්ඩාට

ප්‍රශාන්ත ඇල්පිටිය

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2006 වසරේදී පැවැත්වූයේ ශ්‍රී ලංකාවේදීය. එහිදී බංග්ලාදේශය අර්ධ අවසන් වටය තෙක් යාමට සමත් විය. එදා එම කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතරින් තිදෙනෙක්ම පසුව ජාතික කණ්ඩායම නියෝජනය කරමින් මේ වන විට ජාත්‍යන්තර සුපිරි තරු බවට පත්වී සිටිති.

ඔවුන් තිදෙනා වන්නේ මුෂ්ෆිකර් රහීම්, තමිම් ඉක්බාල් සහ ෂකිබ් අල් හසන්ය. මේ අතරින් එදා අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකත්වය දැරුවේ රහීම්ය. ඊට දශකයකට පමණ පසුව බංග්ලාදේශ ජාතික කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටියි.

ඒ වගේම ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ ඉතා සුවිශේෂිතම වූ තරගයකටත් ඔවුන් මෙවර සහභාගිවීමට නියමිතව තිබේ. ඒ ඔවුන්ගේ සියවන (100) ටෙස්ට් තරගයටයි. එම තරගයේදී බංග්ලාදේශ නායකයා ලෙසටත් ක්‍රියා කිරීමට නියමිතව සිටින්නේ රහීම්ය.

ඕනෑම රටක් ටෙස්ට් තරග සියයකට සහභාගි වීම අමරණීය සිදුවීමකි. එහිදී නායකත්වය දරන ක්‍රීඩකයාත් සුවිශේෂි පුද්ගලයෙක් බවට පත් වෙයි. ඒ වගේම එය දුලබ අවස්ථාවකි. රහීම් ද එම දුලබ පිරිස අතරට එක්වනු ඇත.

බංග්ලාදේශය තවදුරටත් ටෙස්ට් පවුලේ ළාබාලතමයාය. නමුත් ඔවුන් තවදුරටත් එහි දුර්වලතමයා නොවේ.

දක්ෂ එමෙන්ම අත්දැකීම් බහුල ක්‍රීඩකයෝ රැසක්ම ඔවුන් සතුව සිටිති. රහීම් නායකයකු ලෙසට ඔවුන්ට මඟ පෙන්වමින් ප්‍රබල කණ්ඩායමක් බවට බංග්ලාදේශය මේ වන විට පත් කිරීමට සමත් වී තිබේ. රහීම් එදා අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන විට ටෙස්ට් වරම් ලබා තිබීම විශේෂත්වයක් විය.

රහීම් මේ වන විට කිසිදා බිඳ හෙළිය නොහැකි ජාතික වාර්තා හිමිකරුවෙකි. ඒ අතරින් සුවිශේෂිතම වාර්තාව වූයේ බංග්ලාදේශයේ ප්‍රථම ටෙස්ට් ද්විත්ව ශතකලාභියා වීමයි. එම වාර්තාව ඔහු පිහිටු වූයේ බංග්ලාදේශයේ 2013 වසරේ ශ්‍රී ලංකා සංචාරයේදීය. එහිදී ගාල්ලේ දී පැවැති ටෙස්ට් තරගයේදී රහීම් විශිෂ්ට ද්විත්ව ශතකයක් (200) රැස් කර ගැනීමට සමත් විය. ඊට ගත වූ කාලය විනාඩි 437, පන්දු 321, 4 පහර 22, 6 පහරකි.

එමෙන්ම මේ වන විට බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම දවාලීම් ගණනක් කරනු ලැබූ සාර්ථකම කඩුලු රකින්නාය. ශ්‍රී ලංකාව සමඟ මෙවර ප්‍රථම ටෙස්ට් තරගය ඇරැඹීමට පෙර රහීම්ගේ ජාත්‍යන්තර දක්ෂතා මෙසේය.

ටෙස්ට් තරග - 52, ලකුණු 3072, වැඩිම 200, සාමාන්‍යය 34.51, ශතක 05, අර්ධ ශතක 15, උඩ පන්දු 85, ස්ටම්ප් 11.

මොහොමඩ් මුෂ්ෆිකර් රහීම් 1988 වසරේ ජුනි 09 වැනිදා උපත ලැබුවේ බොග්රා නුවරදීය. හෙතෙම දකුණත් පිතිකරුවෙකි. ඔහු මෙතෙක් කලක් කඩුලු රකින්නා ලෙසට ක්‍රීඩා කළේය. එහෙත් මෙවර ශ්‍රී ලංකා සංචාරයේදී පිතිකරුවකු ලෙසට ඔහු ක්‍රීඩා කිරීමට ඉඩ ඇතැයි වාර්තා වේ. හෙතෙම උසැති ක්‍රීඩකයෙක් නොවේ. ඔහුගේ උස අඩි 5 අඟල් 4 ක් පමණ වේ.

රහීම් ප්‍රථම වරට ජාතික කණ්ඩායමේ නායකත්වයට පත්වූයේ 2011 වසරේදීය. එතැන් සිට ටෙස්ට්, එක්දින ජාත්‍යන්තර සහ පන්දු ඕවර 20 ජාත්‍යන්තර නායකත්වයන් දැරීය. 2014 වසරේදී එක්දින ජාත්‍යන්තර නායකත්වයෙන් ඔහු ඉවත් විය. මේ වන විට ඔහු ලෝක කුසලාන තරගාවලි පහකට ක්‍රීඩා කර තිබේ.

 ඒ පන්දු ඕවර 50 ලෝක කුසලාන තරගාවලි ත්‍රිත්වයකටය. ඒ 2007, 11 සහ 15 වසරවලදීය. මීට අමතරව 2014 සහ 16 පන්දු ඕවර 20 ලෝක කුසලාන තරගාවලියන්ටත් රහීම් ක්‍රීඩා කර තිබේ.

රහීම් ජාතික කණ්ඩායමට අමතරව වෙනත් කණ්ඩායම් රැසකටම ක්‍රීඩා කර තිබේ. ඊට රාජ්ෂාහි කොට්ඨාශය, සියල්හට්, ඩුරොන්ටෝ රාජ්ෂාහි, නැඟෙනහිර නාගාස්, සියල්හට් රෝයල්ස්, සියල්හට් සුපර් ස්ටාර්ස්, කරච්චි කිංග්ස් සහ බැරිසාල් බුල්ස් අයත්ය එමෙන්ම බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම වෙනුවෙන් 2004 - 06 අතර ක්‍රීඩා කළේය. ඒ යොවුන් ටෙස්ට් තරග 03 ක් සහ එක්දින තරග 18 කදීය.

රහීම් සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූයේ 2005 වසරේදී එංගලන්තයට එරෙහිව සුප්‍රකට ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදීය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 16 ක් පමණි. ඒ සමඟම ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයකට සහභාගි වූ ළාබාලතම ක්‍රීඩකයා බවටත් ඔහු පත් විය.

 

රහීම්ගේ මවුපියන් වන්නේ මහ්බුබ් හබිබ් සහ රහිමා කාටුම්ය. හෙතෙම අධ්‍යාපනය හැදෑරුවේ බොග්රා ෂිලා පාසලේදීය. ඔහු කලක් ජහන්ගිර්නාගාර් විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හැදෑරුවේය. ඔහු 2014 වසරේදී ජානාටුල් මොන්ඩි සමඟ විවාහ වූයේය. රහීම්ගේ මස්සිනා වනුයේ වත්මන් ජාතික කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයකු වන මහ්මුදුල්ලාය.

 

  

Comments