
ප්‍රශාන්ත ඇල්පිටිය
කුඩා දරුවෝ මවුපියන්ගෙන් විවිධාකාර ඉල්ලීම් කරති. ඇතැම් ඉල්ලීම් ඉටු කළ හැකිය. නොහැකි වන අවස්ථාවන්ද තිබේ. ගිය වසරේදී සුපිරි ස්වීඩන් පාපන්දු ක්‍රීඩක ෂ්ලාටන් ඊබ්‍රාහිමොවිච්ටත් එවැනි ඉල්ලීමකට මුහුණ දීමට සිදුවිය.
දස හැවිරිදි මැක්සිමිලියන් සහ අට හැවිරිදි වින්සන්ට් පුතුන් පියාගෙන් අපූරු ඉල්ලීමක් කළහ. ඒ එංගලන්තයේ සුප්‍රකට මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කරන ලෙසටයි.
ඒ වන විට ෂ්ලාටන් ප්‍රංශයේ පැරිස් සෙයින්ට් ජර්මාන් කණ්ඩායම සමඟ පුරා පස් වසරක ක්‍රීඩා ගිවිසුම නිමා කර තිබුණි. ජාත්‍යන්තර තරගවලින් සමු ගැනීමටත් ඔහු තීරණය කර තිබුණේය. ඒ 2016 යුරෝ කුසලාන තරගාවලියේ නිමාවත් සමඟිනි.
"මට ඇත්තටම මැන්චෙස්ටර් යුනයිටඩ් පිලට ක්‍රීඩා කරන්න වුවමනාවක් තිබුණේ නැහැ. නමුත් මගේ දරුවන්ට අවශ්‍ය වූවා මම ක්‍රීඩා කරනවා දකින්නට. ඉතින් මම කැමැති වුණා" ෂ්ලාටන් පවසයි. අවසානයේදී වසරක කාලයක් සඳහා යුනයිටඩ් සමඟ එක් වීමට හෙතෙම තීරණය කළේය.
ඒ සඳහා තවත් හේතුවක් බලපෑවේය. එනම් මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වූ ජෝසේ මොරිනෝය. පෘතුගිසි ජාතික මොරිනෝ යටතේ ෂ්ලාටන් මීට පෙර ඉතාලියේ ඉන්ටර් මිලාන් කණ්ඩායමට ක්‍රීඩා කර තිබුණි.
කෙසේ වෙතත් ෂ්ලාටන් වැනි ක්‍රීඩකයකු යුනයිටඩ් කණ්ඩායමට මෙවැනි කාලයකදී තෝරා ගැනීම පිළිබඳ බොහෝ දෙනා මොරිනෝව විවේචනය කළහ. ෂ්ලාටන්ගේ සුපිරි කාලය අවසන් බැවින් ඒ වෙනුවට යොවුන් ක්‍රීඩකයකු යුනයිටඩ් කණ්ඩායමට ගත යුතුව තිබුණු බව ඔවුහු පැවසූහ.
එහෙත් ක්‍රීඩකයකුගේ හැකියාවට වයස බලපාන්නේ නැත. එය පාපන්දු ක්‍රීඩාවටත් අදාළය. ඒ බව මේ වන විට සනාථ කිරීමට 35 හැවිරිදි ෂ්ලාටන් සමත් වී සිටියි. ඒ 2016 - 17 තරගවාරයේදී තරග 38 කදී ගෝල් 26 ක්ම රැස් කරමිනි. ඉදිරිපෙළ ක්‍රීඩකයකුගෙන් මීට වැඩි දෙයක් බලාපොරොත්තු විය නොහැකියි. ෂ්ලාටන් මෙම ගෝල් රැස් කළේ එංගලන්තයේ සහ යුරෝපීය තරගවලදීය. මේ වන විට එංගලන්තයේ කණ්ඩායමකට ක්‍රීඩා කරන කිසිඳු ක්‍රීඩකයකුට ෂ්ලාටන්ගේ මට්ටමට ළඟා වීමට නොහැකි වි තිබීමම ඔහුගේ විශිෂ්ටත්වයට කදිම නිදසුනකි.
සිය වර්ණවත් තරග දිවිය තුළදී හිමිකරගත් 32 වැනි ශූරතාව පසුගියදා ඔහු හිමිකර ගත්තේය. ඒ එංගලන්ත පාපන්දු ලීග් ශූරතාව ජය ගනිමිනි. සුප්‍රකට ලන්ඩන් නුවර වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී නරඹන්නන් 85,264 ක් ඉදිරියේ පැවැති මෙවර අවසන් තරගයේදී මැන්චෙස්ටර් යුනයිටඩ් ගෝල් 3 - 2 කින් සදම්ප්ටන් කණ්ඩායම පැරදවිය. ෂ්ලාටන් අවසන් තරගයේ වීරයා වූයේ 19 සහ 87 වැනි විනාඩිවලදී ගෝල් රැස්කරමිනි.
මෙම තරගාවලිය 1960 වසරේ සිට පැවැත්වෙයි. යුනයිටඩ් කණ්ඩායම මෙවර ශූරතාව හිමිකර ගත්තේ පස්වැනි වතාවටයි. එය මෙම තරගාවලි ඉතිහාසයේ වැඩිම ශූරතා ගණනක් හිමිකර ගත් කණ්ඩායම් අතින් දෙවැනි තැනට පත්වීමට ඉවහල් විය. එහි මුල් තැන ශූරතා අටකට හිමිකම් පාන සුප්‍රකට ලිවර්පුල් කණ්ඩායමට හිමි වෙයි.
ෂ්ලාටන්ගේ සුපිරි බවට තවත් කදිම නිදසුනක් තිබේ. ඒ වාර්ෂිකව පැවැත්වෙන ස්වීඩන වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය වාර්තාගත එකළොස්වතාවක්ම දිනා ගැනීමය. මින් දස වතාවක්ම පිට පිටය.
වරක් ස්වීඩනය බිහි කළ විශිෂ්ටතම ක්‍රීඩා තරුව තෝරා ගැනීමට ඡන්ද විමසීමක් සිදුවිය. එහිදී දෙවන තැන හිමි වූයේ ෂ්ලාටන්ටය. එහි මුල් තැන ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතා 11 ක් හිමිකර ගනිමින් සහ ලොව අංක 01 ටෙනිස් ක්‍රීඩකයා වු බියොර්න් බෝර්ග්ට හිමිවිය.
ස්වීඩනය වෙනුවෙන් තරග සියයකට ක්‍රීඩා කළ පාපන්දු ක්‍රීඩකයෝ දස දෙනොටත් ෂ්ලාටන් අයත් වෙයි. එමෙන්ම එරට වෙනුවෙන් වැඩිම ජගත් ගෝල් ගණනක් (62) රැස් කළ ක්‍රීඩකයාත් ඔහු වේ. ඔහු 2010 සිට 16 දක්වා ස්වීඩන් නායකයාත් විය. එම කාලයේදී 2002 සහ 2006 ලෝක කුසලාන තරගාවලියන්ට ක්‍රීඩා කරන ලදි. මීට අමතරව 2004, 2008, 12 සහ 16 යුරෝ කුසලාන තරගාවලියන්ටත් හෙතෙම ක්‍රීඩා කළේය.
ෂ්ලාටන් ඊබ්‍රාහිමොවිච් 1981 වසරේ ඔක්තෝබර් මස 03 වැනිදා උපත ලැබීය. ඒ ස්වීඩනයේ මැල්මෝ නගරයේදීය. ඔහුගේ උස අඩි 6 අඟල් 5 කි. ඔහුගේ මවුපියන් යුගොස්ලාවියානු සමූහාණ්ඩුවේ සිට ස්වීඩනයට සංක්‍රමණය වූවෝය.
පියා බොස්නියානු මුස්ලිම් ජාතිකයෙක් වූ සෙෆික් ඊබ්‍රාහිමොවිච්ය. මව ක්‍රොයේෂියානු කතෝලික ජාතික යුර්කා ග්‍රේවිච්ය. ෂ්ලාටන් කුඩා වියේදී මෙම මවුපියෝ දික්කසාද වූහ. අනතුරුව ඔහු වැඩි කාලයක් ජීවත් වූයේ පියා සමඟය
ඔහුට ප්‍රථම වරට පාපන්දු සපත්තු යුගලයක් ලැබුණේ හය හැවිරිදි වියේදීය. ඔහුගේ පාපන්දු වීරයා වූයේ සුපිරි බ්‍රසීලයානු ක්‍රීඩකයකු වූ රොනල්ඩෝය. සිය වර්ණවත් වෘත්තීයමය තරග දිවිය තුළදී සුප්‍රකට කණ්ඩායම් කිහිපයකටම ෂ්ලාටන් ක්‍රීඩා කර තිබේ. ඊට ස්වීඩනයේ මැල්මෝ, නෙදර්ලන්තයේ අයැක්ස්, ඉතාලියේ යුවෙන්ටස්, ඉන්ටර් මිලාන්, ඒ. සී. මිලාන් සහ ස්පාඤ්ඤයේ බාර්සිලෝනා අයත්ය. එහිදී ලීග් සහ වෙනත් ශූරතා රැසක් ඔහු දිනා ගෙන තිබේ. එහෙත් තවමත් ජාත්‍යන්තරව හෝ යුරෝපීය ශූරතාවක් ඔහුට හිමි වී නැත.
ෂ්ලාටන් කතෝලිකය. එසේ වුවත් ඉස්ලාම් සහ බුද්ධාගම යන ආගම් පිළිබඳවත් උනන්දුවක් පවතියි. ඊට හොඳම උදාහරණ ලෙසට ඔහු මෙම ආගම්වලට සම්බන්ධ තේමාවන් සිය පච්ච විලාසිතාවන්ට යොදා ගෙන තිබීම දැක්විය හැකිය.
පාපන්දු ක්‍රීඩාවට අමතරව ටයිකොන්ඩෝ ක්‍රීඩාවටත් ඔහු දක්ෂයෙකි. එහි කළු පටිධාරියෙක්ද වේ. ෂ්ලාටන්ට භාෂා පහක්ම චතුරව හැසිරවිය හැකි වීම විශේෂත්වයකි. ඊට ස්වීඩන්, බොස්නියානු, ඉංග්‍රීසි, ස්පාඤ්ඤ සහ ඉතාලි භාෂාවන් අයත්ය.
ඔහුගේ දිගු කාලීන සහකාරිය වනුයේ ස්වීඩන් ජාතික ව්‍යාපාරික කතක් වන හෙලේනා සේගර්ය. ඇය 1970 වසරේදී උපත ලැබූ ෂ්ලාටන්ට වඩා වැඩිමහල් කතකි. මෙම අපූරු ෂ්ලාටන් 2014 වසරේදී ගීතයක් ද ගායනා කළේය. එය ස්වීඩන් ගීත දර්ශකයේ 13 වන තැනට පත්විය.
ෂ්ලාටන් තව කෙතරම් කලක් පාපන්දු ක්‍රීඩාවේ නිරත වේවිද යන්න පැහැදිලි නැත. එක් දෙයක් නම් පැහැදිලිය. එනම් තවදුරටත් පුණ්‍යාධාර කටයුතුවල නිරත වෙමින් සමාජ සේවය කිරීමට ඔහු තුළ තිබෙන ඇල්මට වැඩි අවස්ථාවක් ලැබීමය.