ක්‍රිකට් පිටියේ අමරණීය අමේන්ද්‍රලා | සිළුමිණ

ක්‍රිකට් පිටියේ අමරණීය අමේන්ද්‍රලා

වමේ සිට සිටගෙන ඩඩ්ලි, පුණ්‍ය, අශෝක සහ ගාමිණී. වමේ සිට අසුන්ගෙන - පර්සි, සිසිර, රාජා සහ ස්ටැන්ලි.තිස්ස ඡායාරූපයේ නැති අතර, 1971 සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

බන්දුල ජයමාන්න

ආදරවන්තයන්ගේ සටන නමින් ප්‍රකට ගාල්ල රිච්මන්ඩ් සහ මහින්ද 112 වැනි මහා ක්‍රිකට් ගැටුම 17 සහ 18 යන දිනයන්හි ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දෙපිලම මෙතෙක් පැවැති තරගවලදි ජයග්‍රහණ 23 බැගින් වාර්තා කරගෙන තිබේ. ජය පරාජයෙන් තොරව අවසන් වූ තරග සංඛ්‍යාව 63 කි. 1910 - 11 සහ 1942 දී දෙපිල අතර මහ තරගය අතහැර දමා තිබේ.

රිච්මන්ඩ් විද්‍යාලය අවසන් වරට 2015 දී ජය ගෙන ඇති අතර මහින්ද විද්‍යාලය අවසන් වරට ජය ගෙන ඇත්තේ 2008 දීය. පසුගිය වසරේ පැවැති මහා තරගයද ජය පරාජයෙන් තොරව අවසන් විය.

මෙකී දෙවිදුහල් අතරින් ගාල්ල මහින්ද විද්‍යාලයේ ක්‍රිකට් ඉතිහාසය හාරා අවුස්සා බැලීමේදී අමේන්ද්‍ර සොයුරන්ට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. අමේන්ද්‍ර පවුලේ අයියාමලෝ නව දෙනෙකු (1951 - 73) දශක දෙකකට අධික කාලයක් මහින්ද විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර තිබේ.

මෙකී නියෝජනය තුළ වඩාත්ම කැපී පෙනෙන සිදුවීම වන්නේ 1957 නාලන්දා විද්‍යාලයට එරෙහිව කොළඹ එන්. සී. සී. පිටියේ පැවැති තරගයට මහින්ද විද්‍යාලය නියෝජනය කරමින් අමේන්ද්‍ර පවුලේ අයියා - මලෝ පස් දෙනෙකුම ක්‍රීඩා පිටියට පිවිසීමය.

සිසිර අමේන්ද්‍ර නායකත්වය දැරූ අතර පර්සි අමේන්ද්‍ර කඩුල්ල පිටුපස අත් ආවරණ පැලඳ තිබේ. ස්ටැන්ලි - තිස්ස සහ රාජා සෙසු සහෝදරයන් වූහ.

මෙකී සොයුරන්ගේ කතාබහ ආරම්භ වන්නේ 1951 දී සිසිර අමේන්ද්‍ර ගෙනි. ගාල්ල වක්වැල්ලේ සිසිර අමේන්ද්‍ර එකී වසරේ මහින්ද විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ ළාබාලතමයා ලෙස ජ්‍යෙෂ්ඨ කණ්ඩායමට එක්ව තිබේ. සිසිර, අමේන්ද්‍ර පවුලේ වැඩිමහල්ලා විය.

එතැන් පටන් 1957 දක්වා වසර හයක් මහින්ද විද්‍යාලය නියෝජනය කර තිබෙන අතර 1957 දී නායකත්වයට පත්ව තිබේ. 1951 දී මේ ආකාරයෙන් සිසිර ගෙන් ඇරඹුණු අමේන්ද්‍ර සොයුරන්ගේ ක්‍රිකට් පුවත 1973 අවසන් වන විට එකී පවුලේ නව දෙනෙකුම මහින්ද විද්‍යාලයට වසර 22 ක කාලයක් ක්‍රීඩා කර තිබේ. මේ අනුව මෙරට පාසල් ක්‍රිකට් ඉතිහාසයේ ද එකම පාසලකින් මෙතෙක් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ වැඩිම සොයුරන් පිරිස ලෙසද අමේන්ද්‍රලා ඉතිහාසගත වේ.

මෙකී සොයුරන් පිළිවෙළින් සිසිර 1951 - 57, රාජා 1953 - 57, ස්ටැන්ලි 1954 - 59, පර්සි 1956 - 61, තිස්ස 1957 - 60, අශෝක 1959 - 65, පුණ්‍ය 1962 - 66, ඩඩ්ලි 1967 - 69, ගාමිණී 1970 - 73 වශයෙන් මහින්ද විද්‍යාලය නියෝජනය කළහ.

මෙකී වසර 22 ක කාලය තුළ අමේන්ද්‍ර පවුලේ නව දෙනාගෙන් 5 දෙනෙකුම නායකත්වය දැරූහ. සිසිර 1957, ස්ටැන්ලි 1958, පර්සි 1961, අශෝක 1964, පුණ්‍ය 1965 දී මහින්ද විද්‍යාලය මෙහෙයවුහ. මේ හැර 1969 ඩඩ්ලිත්, 1973 දී ගාමිණිත් කණ්ඩායමේ උපනායකත්වයන් දරා තිබේ.

යටකී වසර 22 ක කාලය තුළ එක් අමේන්ද්‍ර සොයුරෙකු හෝ මහින්ද විද්‍යාලය නියෝජනය කර තිබේ. මේ අනුව යළිත් මෙවන් වාර්තාවක් පාසල් ක්‍රිකට් කණ්ඩායමකින් බිහිවෙතැයි සිතීමද උගහටය.

නාලන්ද තරගය

සිසිර - රාජා - ස්ටැන්ලි සහ අශෝක තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන්නෝ වූහ. පර්සි කඩුලු රකින්නෙකු විය.

තිස්ස පිට දඟ පන්දු යවන්නෙකු වූ අතර පුන්‍ය, ඩඩ්ලි සහ ගාමිණී දකුණත් පිතිකරුවෝ වූහ.

කොළඹ නාලන්ද විද්‍යාලයට එරෙහිව පැවැති තරගයේදී අමේන්ද්‍ර පවුලේ පස් දෙනෙකු පිටියට පිවිසීමේ සිදුවීම ගිනස් ප්‍රකාශකයන්ට පවා දන්වා යවා ඇති අතර මේ පිළිබඳ තමන් වඩාත් අවධානයක් යොමු කරන බව ගිනස් ප්‍රකාශකයෝ අමේන්ද්‍ර පවුලට දන්වා තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතු පවුල් පිළිබඳ ගිනස් පොතේ තීරුවක් වෙන් කරන කාල වකවානුවක අමේන්ද්‍ර පවුලට එකී ඡේදයේ මුල් ස්ථානයක් වෙන් කරන බව ද වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එකම පවුලක වැඩිම සොයුරන් පිරිසක් ක්‍රිකට්වලට සම්බන්ධවීමේ තවත් එක් කතා පුවතක් එංගලන්තයෙන්ද අසන්නට ලැබේ.

ඒ ප්‍රකට සවුත්ගේට්හි වෝකර්ස් සොයුරන් සත් දෙනායි. එහෙත් මෙකී සොයුරන් ගෙන් එක් වරකට තිදෙනෙකුට වඩා පාසල් කණ්ඩායම නියෝජනය කර නොතිබුණි.

මේ අනුව අමේන්ද්‍ර පවුලට ළංවීමට වෝකර්ස් පවුලටද ලෙහෙසි නොවීය.

මෙකි අමේන්ද්‍ර සොයුරන් ගැන මහත් උනන්දුවක් දැක්වූ ඉන්දියාවේ ක්‍රීඩා ලේඛකයෙකු වූ අමල් ඝෝස් මෙරටට පැමිණ අමේන්ද පවුල ගැන ලියන ලද ලිපියක අවධාරණය කර තිබෙන්නේද මේ සොයුරන් පිළිබඳ අනිවාර්යෙන්ම ගිනස් පොතේ පරිච්ඡේදයක් වෙන්විය යුතු බවයි.

ක්‍රීඩා සමාජ

අමේන්ද්‍ර පවුලේ දස්කම් මහින්ද විද්‍යාලයට පමණක් සීමා නොවූ අතර පාසලට සමුදීමෙන් අනතුරුව අන්තර් සමාජ තරගවලට ඔවුන්ගේ දායකත්වය ලබා දී තිබුණි.

සිසිර - රාජා සහ අශෝක ගාල්ල ක්‍රීඩා සමාජයටද, ස්ටැන්ලි බ්ලූම්ෆීල්ඩ් සහ බී. ආර්. සී. ක්‍රීඩා සමාජයටද, පර්සි පානදුර ක්‍රීඩා සමාජයටද ක්‍රීඩා කර තිබේ. රාජා අමේන්ද්‍ර ක්‍රිකට් ක්‍රීඩාවෙන් පමණක් නොව කායවර්ධන ක්‍රීඩාවෙන්ද දස්කම් දක්වා ඇත්තෙකි.

රාජා ඒ සම්බන්ධයෙන් ඉන්දියාවෙන්ද පුහුණුවක් ලබා තිබෙන අතර තරුණ ක්‍රිස්තියානි සංගමයේ කායවර්ධන පුහුණුකරුවා ලෙසද, මොරටු විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසද කටයුතු කර තිබේ.

ක්‍රිකට් පිටියේ මෙතරම් නමක් දිනාගත් අමේන්ද්‍ර පවුලේ කිසිවෙකුත් ශ්‍රී ලංකා කණ්ඩායමක් නියෝජනය නොකළේ මන්දැයි ඕනෑම අයෙකුට පැනයක් මතුවිය හැකිය.

එයට මූලිකම හේතුව වී ඇත්තේ පාසලින් ඉවත්ව ඉතාමත් කෙටි කාලයක් තුළදීම වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගතවීමයි.

මේ සොයුරන් අතුරින් තිස්ස අමේන්ද්‍ර තුරුණු වියේදීම එංගලන්තයේ සිදුවූ අනතුරකින් මරුමුවට පත්ව තිබේ.

අමේන්ද්‍ර පවුලේ පියා දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ නියාමකවරයෙකු වූ විලියම් අමේන්ද්‍ර වන අතර ආදරණීය මෑනියන් නෙලී අමේන්ද්‍රයි. 

 

Comments

පිටු