ඇමැතිට නැණ නුවණ පහළවීම | සිළුමිණ

ඇමැතිට නැණ නුවණ පහළවීම

ක්‍රීඩා පනත සංශෝධනය කිරීමත් සමඟ එළැඹෙන නිලවරණයන්හිදී තමන් කිසිවකුට විශේෂත්වයක් නොදක්වන බව ක්‍රීඩා අමාත්‍යවරයා මාධ්‍යයකට ප්‍රකාශ කර තිබිණි. එමෙන්ම එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ඇමැතිවරයා ප්‍රකාශ කරන්නේ පසුගිය කාලයේ එවැනි නුසුදුස්සන් පත්වීම තුළින් ක්‍රීඩාවට සිදුවී ඇති විනාශය හොඳටෝම ඇති බවයි.

අප පවා නිරන්තරයෙන්ම පෙන්වා දෙන්නේ සුදුස්සන් මෙවැනි තනතුරුවලට කොපමණ සිටියද නුසුදුස්සෝ සුදුස්සෝ කපා කොටා දමා කෙසේ හෝ මහා පුටුවලට රිංගන අතර ක්‍රීඩාවට හෙණගෙඩි පාත් වුවද, ඒවා ශතපහකට හෝ ගණන් නොගෙන තමන්ගේ ගමන යහතින් යන බවය.

නීති කෙටුම්පත් කොපමණ තිබුණද පසුගිය කාලයේ ක්‍රීඩා සංගම් සහ සම්මේලන මහා පුටුවලට බොහෝ දෙනා රිංගුවේ ක්‍රීඩා ඇමැති සතු අසීමිත බලතලවල පිහිටෙනි. සුදුසුකම් තොග පිටින් සපුරා සිටියද, අවසන් මොහොතේ ක්‍රීඩා ඇමැතිගේ ආශිර්වාදයෙන් මහා පුටුව බදා ගන්නට කෙලපෙරාගෙන සිටින්නන් ඉදිරියේ පසු බසින දක්ෂයෝ සියල්ල අතහැර දමා තම තමන්ගේ වැඩක් බලා ගෙන සිටිති. මෙයින් ක්‍රීඩාවට සිදුවූ හානිය දැන්වත් ඇමැතිවරයාට අවබෝධවීම ක්‍රීඩාවේ ජයග්‍රහණයක් සේම හැකියාව - දක්ෂතාව තබා ගෙන පුස්සන්ට කොන්ද නමන්නට අකැමැති වූ පිරිසට අලුත් හුස්ම පොදක් එක් කිරීමකි.

ඇමැතිවරයා පවා දැනුවත්ව තමා සතු ඕනෑම බලතලයක් භාවිතයේ යෙදවීමේ අවුලක් නැත. නමුත් මේ දේ කළ යුතුවන්නේ වැට උඩ සිට ගෙන නොවේ. නුදුස්සන් කිසිම පැකිළීමකින් තොරව ඉවත් කිරීමටත්, තැන දිය යුතු සුදුස්සාට අදාල තැන නිසි කල ලබා දෙන්නේ නම් ජයග්‍රහණ පිළිබඳ ආඳෙීනා කියන්නට සිදු නොවනු ඇත.

Comments