කවියා ද කවිය ද පරිණත කළ ‘තෙරියුම් කෝකිලා’ | සිළුමිණ

කවියා ද කවිය ද පරිණත කළ ‘තෙරියුම් කෝකිලා’

කවියා කවිය නිර්මාණය කළ පසු ඔහුගේ කාර්යය නිමා වේි. පාඨකයා ඒවා කියවන්නේ හා තේරුම් ගන්නේ තම ජීවන අත්දැකීම් සමගය. එය එක් එක් අයගේ අත්දැකීම් වලට සාපේක්ෂය. දැනුමට සාපේක්ෂය. කවියාගේ නිර්මාණ ඔහු හෝ ඇය නොසිතන ඉමකට පාඨකයෝ ගෙන යති. සමහර විට තම අත්දැකීම් ඇසුරෙන් ඒවා නව ආකාරයකට අර්ථ ගැන්වියද හැකිය. එය මැනවින් සිත්තම් කළ චිත්‍රයක් බඳු ය. සිත්තරා කූමන වර්ණ - හැඩතල මතු කළද එය රසවිඳින්නාගේ අර්ථදැක්වීම ඔහුට හෝ ඇයට සාපේක්ෂ ය. වරක් පියෙක් අසුපිට නැග සිටින නැපෝලියන් අධිරාජ්‍යයාගේ සිත්තමක් තම කූඩා දරුවාට පෙන්වා “පුතේ මේ ඉන්නේ නැපෝලියන් බොනපාට්” යැයි හඳුන්වා දුනි. දරුවා චිත්‍රය දෙස මහත් ඕනෑකමින් බලා සිට, “එයාගේ පිටේ නැගලා ඉන්නේ කවුද තාත්තේ ?” කියා ඇසුවේලු.

කපිල සිය කෘතිය අරඹන “එකෝමත් එක දෙසැම්බරයක” කවිය මාගේ සිරුරෙහි හීගඩු නගන්නට සමත් විය.

“ඇත්තමයි හැම නොවැම්බරය ම
ගෙවන විටක දි අහන්නේ
ඔගස්ටස් ඔබට බැරිම ද
ගලවා මකා දමන්න සදහට ම
කැලැන්ඩරයෙන් දෙසැම්බරය ම”

මාගේ සදාදරණිය “අම්මාගේ අවසන් සුසුම් පොද” වාතලයට මුසුවූයේද කපිල කියන පරිිදිම “එකෝමත් එක දෙසැම්බරයක” ය.

“අත්තම්මා” පුදුමාකාර සෞන්දර්යයක්, අරුත් ජනනයක් සිදුකරන කවි පෙළක් ය. අත්තම්මාගේ අතීත භූමිකාව අප කාටත් “හරියට ම දැන් තමයි තේරෙන්නේ ඇත්තට ම” කියා කිව හැකි තරමටම කපිල එය නිර්මාණය කරයි. මෙම කවි පෙෙළහි එන අත්තම්මා කපිල මනාව චිිත්‍රණය කරන්නේ සියුම් සිත්තරකු ලෙසිනි.

“සිල් බිඳෙයි කියා පන්සලට නොගියාට
අටසිල්ම රේඩියෝවෙන් ගත්ත”

මොන තරම්ි අපූරු සරල කියමනක්ද ? කේන්දරේ

“අම්මගේ අඩුව මත හිට ගත්ත
ඒ අඩුව නොදැනෙන්න ළඟ උන්න”

සියල්ලම අකුරු අතර කියා ඇති ආකාරය අපූරු ය.

කපිලගේ සමාජ කියවීම මෙ කාව්‍ය නිර්මාණයේ “තෙරියුම් කෝකිලා” කවි පෙළෙහි මැනැවින් එළිදක්වා ඇත.

“කෝකිලා නුඹ කළු තමයි
ඒත් සිනහව හරි සුදුයි”

සමාජ සම්මතයේ කළු-සුදු පිළිගැනීම, පෙරළා ප්‍රශ්න කරමින්, “කෝකිලා නුඹ කළු තමයි” යන්න හිතන්න දී “ඒත් සිනහව හරි සුදුයි” කියන විට කළු-සුදු ලෙස හිතන්න හුරු වූ පාඨකයා ලැජ්ජාවට පත් කරවයි.

මෙවන් චමත්කාර ජනක අත්දැකීමක් පාඨකයාට ලබා දෙන කපිල මෙම කාව්‍ය නිර්මාණය අවසන් කරන්නේ අප සැමට අත් වී ඇති නස්පැත්තිය අවසාන කවි දෙකකින් උච්චතම ස්ථානයක දී ආලෝලනය කරමිනි.

“අපේ අම්මට දෙමළ පුළුවන්
වතූර වාගෙයි කෝකිලා
මට දෙමළ කොන්ජම් තෙරියුම්
ලැජ්ජ හිතෙනවා කෝකිලා
මගේ දරුවට දෙමළ අරහං
තරහ ඒකයි කෝකිලා....”

පරම්පරා තූනක අපගේ සම්බන්ධතාවන් අරහං තරමට ලඝු වී ඇති සමාජ කියැවීම සරල කථා බහක් තුළ කවියට නඟා තිබීම කපිල ගේ පරිණත භාවයට ප්‍රබල ඉඟියකි.

“නගරවැසි” කවෙහි ඇති නගරවැසියා බවට පත්ව ඇති මිනිසුන් ගේ ස්වරූපය සංකේතාත්මකව ඉදිරිපත් කරන්නේ මෙලෙසිනි.

“කලෙක හිස ගසා දැමූ
පුරාතන බස් නැවතූමක....”

ෙම් නගරයේ සෞභාග්‍යය අපේක්ෂාවෙන් එන අයට කරන සංකේතාත්මක දැනුම් දීමයි. අවසන කපිල කවට පෙරළන්නේ නගරවැසී දුගී බව ය.

“සිවු දිගින් මෙහි ආව
සහපිරිවරකි නොහඳුනන
අලුත් යැයි සිතමින
පරණ දිවිය ම හෙටත් වළඳන”

කන්නගී ලියූ අවසන් හසුන කවි පද පේළිය මෙරට මහා කුරිරු කාල සමයක සැහැසි බව පාඨකයා වෙත ඉදිරිපත් කරයි

“හඬ ඔවුන්ගේ
අණ ඔවුන්ගේ
යකූන් බිලිගත්
රැය ඔවුන්ගේ.......

ඉහළින් දැල්වු පත්තිනි දෙවි රුව
මිය ගියා බිම වැටී විගසින”

අටුවා ටීකා නැතිව කපිල කියා ඇත්තේ එසේය.

යුද්ධයෙන් පසුව වන්දනාවේ යන බැතිමතූන් අවදි කරවන ආයාචනය උතුරේ වැසියන්ගෙනි.

“නාගදීපේ වඳින්න යන සුපින්වතූනි මේ අහන්න
කයිට්ස් දූපතට මොහොතක් ගොඩවෙලාම යන්න
මරණය තැන තැන වැළලුණ ගොඩැලි උඩින් එන්න
පිච්ච මලක මල් පෙති ඇති පාර කියා දෙන්න

නොමළ ගෙයක් නෑ අබටැක් බෙහෙතට අරගන්න
වැලි මිරිකා ලේ ගත හැක කඳුළු පරද්දන්න
නඩු නැති මිනිසුන් දුුටුව ද එපා පුදුම වන්න
පුපුරා ගිය අතීතයක කැබලි ම ගෙන යන්න”

මීපුප් ලදින් – පුතූ නොලදින් කාව්‍ය නිර්මාණය එහිමැ දිගූවක් බඳුය.

“ඕමන්තේ කඩුල්ල ළඟ
පිච්ච වැලකි මල් පිපිච්ච
මහත්වරුනි, මල් නෙළන්න
ගිනි අවි බිම තියා එන්න
මේ පිපෙන්නේ මවු කිරි දැයි
ටිකක් නැවතිලා හිතන්න”

මේ පිපෙන්නේ මවු කිරි දැයි යන යෙදුම කොතරම් ප්‍රබල සංවේදී යෙදුමක්ද ? එය පරිසමාප්තියට පත් වන්නේ,

“මවු සෙනෙහස සුවඳ දන්න
මහත්තයෙක් මට කියන්න
අත් පිටිතල හයා බැඳන්
රඝු අරන් ගිය දවසේ
මොකූත් නොකියා හිටියා වුණත්
‘අම්මා’ කියලා කිව්වා නේද ?”

මවක ගේ දාරක ප්‍රේමය කවියට නඟන කපිල පාඨකයාගේ දෙනෙත් තෙත් කරවන්නට සමත් වෙයි. අම්මා කියන්නේ මෙසේ ය.

“පිච්ච මල් සුවඳ වාගේ
මගේ පුතා සොයා දෙන්න
පූනෛයි මාදිරි රඝුට
කොටියෙක් යැයි නොකියා ඉන්න”
නොගිය රැඳවුමක් නොමැතිය....

මෙි කාව්‍ය නිර්මාණය සංවේදී සිතක් ඇති සිංහල පාඨකයා වේදනාවෙන් මුසපත් කරවන්නට සමත් නොවේයැයි කියන්නේ නම් එය බලවත් මුසාවකි.

“තෙරියුම් කෝකිලා” හි සියලුම කාව්‍ය නිර්මාණ ඉමහත් රසයක්ද දේශපාලනික කිය­ැවීීමක්ද ගෙන එයි. ඉහත උපුටා දැක්වුයේ කිහිපයකි.

කවිය සෞන්දර්යයෙන් එහාට ගෙන ගොස් ප්‍රඥාවේ දොරකඩ වෙත කපිල තම පාඨක කැල කැටුව යයි. ‘තෙරියුම් කෝකිලා’ කාව්‍ය ග්‍රන්ථය කවියාද, කවියද පරිණත බවට පත් කොට ඇති නිර්මාණ සමුච්චයකි.. වඩා සතූටට පත් විය හැකි කාරණය නම්, පාඨකයා ‘තෙරියුම් කෝකිලා’ ආදරයෙන් වැලඳ ගෙන ඇති බවට සාක්ෂියයි. ඒ මේ කෘතියේ දෙවන මුද්‍රණය දැන් පාඨකයා වෙත ලැබී තිබීමයි. කපිල අර්ථාන්විත කවිය යළි පාඨකයා වෙත රැගෙන යන වෙහෙසකර කාර්යයේ පෙරමුණු සෙබළකු ලෙස අපට දැනීම සාධාරණීකරණය වෙන්නේ එබැවිනි. 

Comments