බෝගම්බර චණ්ඩියා කවුද? | Page 2 | සිළුමිණ

බෝගම්බර චණ්ඩියා කවුද?

 බෝගම්බර බන්ධනාගාර අධිකාරිවරයාගේ ගිණුමට සිරකරුවකුගේ සොයුරියක යැයි කියා ගන්නා කාන්තාවක විසින් ලක්ෂ 20 ක් තැන්පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් පත්කරන ලද ත්‍රි පුද්ගල කමිටුවේ සිටි බන්ධනාගාර සහකාර අධිකාරීවරයකු ඉවත් වී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

ඉන් ඉවත් වීමට හේතුව වී ඇත්තේ අදාළ චෝදනාවට සම්බන්ධ අධිකාරීවරයා විසින් සහකාර අධීකාරීවරයාට මරණීය තර්ජන එල්ල කර බැන වැදිම බව එම ආරංචි මාර්ග පවසයි. එමෙන්ම ඇප මත මුදාහැර සිටින කන්නන් නැමති අයගෙන් ප්‍රශ්න කිරීමේදී දැන ගන්නට ලැබී ඇත්තේ බෝගම්බර බන්ධනාගාර අධිකාරිවරයා තම මිත්‍රයකුට මුදල් අවශ්‍යතාවක් ඇතැයි කීවිට මෙම මුදල කන්නන් තම සොයුරියක ලවා අධිකාරීවරයාගේ ගිණුමේ තැන්පත් කළ බවය. කෙසේ වෙතත් කන්නන් නැමැත්තා මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන අතර ඔහු බන්ධනාගාර ගතවීමට හේතුව වී ඇත්තේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙසියකට වැඩි ප්‍රමාණයක් පොලීසියට හසුවීමය.

මේ අතර කමිටුවේ සහකාර බන්ධනාගාර අධිකාරීවරයා ඉවත් වීමෙන් පසුව ඒ පුරප්පාඩුව පිරවීම සඳහා නව සාමාජීකයෙක් පත්කර ඇත්තේය. කෙසේ වෙතත් කලක් තිස්සේ බෝගම්බර බන්ධනාගාරය හා එහි ප්‍රධානියා සම්බන්ධයෙන් ඇති චෝදනා විභාග වීම හෝ ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වීම යටපත් වන්නේ උසස් නිළධාරීන්ගේ සහාය ලැබෙන නිසාදැයි යන්න පිළීබඳව බන්ධනාගාර නිලධාරීහු විමතිය පළකරති.

Comments