ධීවර ලොක්කන්ට වෙලාව නැහැ | Page 4 | සිළුමිණ

ධීවර ලොක්කන්ට වෙලාව නැහැ

ඇමැති දෙහි කපයි

ධීවර අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින්ගේ නොසැලකිලිමත් කම නිසා රුපියල් කෝටි 17.5ක වටිනා ධීවර යාත්‍රා පරිත්‍යාගයක් ශ්‍රී ලංකාවට අහිමි වී තිබේ.

ධිවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා කොරියානු රජයත් සමග පසුගිය වසරේදී පැවැති සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස ධීවර යාත්‍රා 50 ක් ශ්‍රී ලංකාවට නොමිලේ ලබා දීමට එම රජය කැමැත්ත පළ කළ අතර මේ ප්‍රදානයන් ලබා ගැනීම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ඇමැතිවරයා අමාත්‍යාංශ ඉහළ නිලධාරින්ට දන්වා තිබිණි .

පසුගිය වසර පුරාම විටින් විට ධීවර ඇමැතිවරයා අදාළ නිළධාරින්ට මතක් කිරීම් සිදු කළද 2016 වසර අවසන් වන තෙක්ම ධීවර අමාත්‍යංශයේ කිසිඳු වගකිව යුතු නිළධාරියකු එම ප්‍රදාන ලබා ගැනීමට අවශ්‍ය ලිපි හුවමාරුවක් සිදු කර නැත.

මෙ සඳහා කොරියානු රජය සහ ශ්‍රී ලංකා රජය ගිවිසුමකට එළඹීය යුතු වුවද ඒ වෙනුවෙන් 2016 වසරේදී කිසිඳු ලිපියක් සකස් කර නොමැති බැවින් කොරියානු රජය මෙම ධීවර යාත්‍රා 50 වෙනත් රටකට ලබා දීමට පියවර ගෙන ඇත.

අමාත්‍යංශ නිලධාරින්ගේ නොසැලකිල්ල සහ අදක්ෂ කම හේතුවෙන් ශ්‍රී ලංකා ධීවර ප්‍රජාවට කෝටි ගණනක් වටිනා ධීවර යාත්‍රා අහිමි වීම පිළිබඳව උරණ වී ඇති ධීවර ඇමැතිවරයා ධීවර ජනතාව වෙනුවෙන් සහ රට ගැන සිතා කටයුතු කරන්නට බැරි මෙවැනි නිලධාරින් තම අමාත්‍යංශයට අනවශ්‍ය බවත් වහාම තමන්ට යාමට වෙනත් තැනක් සොයා ගන්නා ලෙසත් දන්වා ඇතැයි වාර්තාවේ.

පසුගිය වසරක පමණ කාලය තුළ ධීවර ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට මෙරටට පැමිනි ආයෝජකයින් සමග නිසි පරිදි ගනුදෙනු කර එම ආයෝජකයින් කිසිවකුත් වෙතින් කිසිඳු ව්‍යාපාතියක් හෝ ප්‍රදානයක් ලංකාවට ලබා ගැනීමට ධීවර අමාත්‍යංශ නිළධාරින් අසමත් වීම පිළිබඳව අමාත්‍යංශයේ පැවැති රැස්වීමකදී ධීවර ඇමැතිවරයා තදින් දොස් පවරා තිබේ.

ආයෝජන සඳහා ශ්‍රි ලංකාවට ම එන්නේ වෙනත් රටවල් නැතිනිසා දැයි ඇතැම් නිලධාරින් ආයෝජකයින්ගෙන් ප්‍රශ්න කර ඇතැයිද ධීවර ඇමැතිවරයා මෙහිදී අනාවරණය කර ඇති අතර ,‍ආයෝජකයින් ඇමැතිවරයාට දන්වා ඇත්තේ 'කතා කරන්නටවත් නොදන්නා නිලධාරින් 'ධීවර අමාත්‍යංශයේ සිටින බවයි.

Comments