
ආනන්ද - නාලන්ද සිසු ගැටුම මූලික කරගෙන බිග් මැච් තහනම් කළ යුතුය යන මතවාදය ගිනි ජාලාවක් මෙන් මෙරට පැතිර යනු ඇතැයි බොහෝ දෙනා දතකට මැදගෙන බලා සිටිය ද, අසේල ගුණරත්නගේ පිතිප්‍රහාරය ඉදිරියේ ඔස්ට්‍රේලියානුවන්ට අත්වූ ඉරණමට වඩා වෙනස් දෙයක් සිදු නොවීය.
ගොඩවෙද්දුන් සමාජගත කිරීමට වෙර දරන මතවාද දකින විට එකී ගොඩවෙදුන්ගේ මානසික අවුලේ තරමද සිතා ගත හැකිය.
දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ දිග් ගැස්සුණු යුද්ධයක් තුළ අදටත් ඊට ගැති වූ මානසිකත්වයකින් පෙළෙන - දඟලන මළකුණුවලට නිල මැස්සන් සේ ලොබ කරන්නන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වීමද විහිළුවකි.
දරුවකුට ගුරුවරයකු දඬුවම් කළ විට එකී දරුවාගේ දේශපාලක පියා ගුරුවරියක දණ ගැස්සූ යුගයක් අපි පසුකර ඇත්තෙමු. ක්‍රීඩා තරගයක නීතිරීති - සදාචාරාත්මකභාවය විකෘතියක් බවට පත් කළ යුගයක් ද අපි පසුකර ඇත්තෙමු. මේ සියලු දේට මූලිකත්වය ගත්තේ කවුදැයි ලාංකේය බුද්ධිමත් ජනතාව දනිති. එවන් තත්ත්වයක් තුළ ළමයකු පිස්සු කෙළීම අරුමයක් නොවේ.
අතීසාරයට අමුඩයෙන් පලක් නැත. පය බරවාට පිටිකර බෙහෙත් බැඳීමෙන්ද පලක් නැත. බෙල්ලේ වැළ ලාගෙන මැරෙනවා කියා සාරි - චීත්ත තහනම් කළයුතු යැයි බකපණ්ඩිතයන් පැවැසුවද පුදුම වියයුතු නොවේ. පොලිසියට නීතිය හරිහැටි ක්‍රියාත්මක කිරීමට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු වෙන්නට සිටින්නන් පවා ඉඩකඩ ලබා දෙන්නේ නම් බොහෝ අර්බූදයන්ට නිසි විසදුම් ලැබෙනු ඇත.
ප්‍රශ්නය දරුවන්ගේම නොවන බවට සාධක ඇවැසි නැත. මව - පියා නිවසින් ලබා දෙන්නා වු ආදර්ශය දරුවා මොන්ටිසෝරියටත් - පාසලටත්, සමාජයටත් ගෙන යන විට එකී පරිසරය සුරපුරක් වේද? අපායක් වේද යන්න අමුතුවෙන් පැවැසිය යුතු නොවේ. ශිෂ්ටත්වය ඉගෙන ගත්තේ මව සහ පියා ගෙන් නම්, ම්ලේච්ඡත්වය ඉගෙන ගත්තේ බාප්පාගෙන් දැයි ඇසිය යුතුය.