
ප්‍රශාන්ත ඇල්පිටිය
මව්බිම වෙනුවෙන් රණබිම තෝරා ගත් අයකුට කෙළිබිම කජ්ජක් ද යන්න ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ පළමු තරග දෙකේම වීරයා වෙමින් අසේල ගුණරත්න ඔප්පු කළේය.
එම තරග දෙකේදීම හෙතෙම අගනා අර්ධ ශතක දෙකක්ම රැස් කිරීමට සමත් වූයේය. ඒ පළමු තරගයේදී ලකුණු 52 ක් (පන්දු 37, 4 පහර 7) සහ දෙවන තරගයේදී නොදැවී ලකුණු 84 ක් (පන්දු 46, 4 පහර 6, 6 පහර 5) වශයෙනි.
මේ අතරින් දෙවන තරගයේදී රැස් කළ අර්ධ ශතකය ඉතා විශිෂ්ට පිතිහරඹයක් විය. ඒ නියත පරාජයක් කරා යමින් සිටි ශ්‍රී ලංකා ඉනිම අනපේක්ෂිත ජයක් බවට එය පත් කළ බැවිනි. බොහෝ විචාරකයන්ට සහ ක්‍රීඩකයන්ට අනුව අසේලගේ එම පිතිහරඹය පන්දු ඕවර 20 තරගවලදී දක්නට ලැබුණු අති විශිෂ්ටතම පිතිහරඹයකි. එමෙන්ම කැන්ගරු දේශයේදී තරගමාලාවක් ජය ගැනීමේ දුලබ අවස්ථාවක්ද ශ්‍රී ලංකාවට උදා කරදීමට අසේලට හැකි විය.
"ඔහු (අසේල) ඉතා හොඳින් පන්දුවට පහර දුන්නා. එය පුදුමාකාර ඉනිමක්. එහිදී ඔහුගේ දුලබ හැකියාවන් දක්නට ලැබුණා. ඔහු තරග දෙකේදීම ඉතා හොඳින් ක්‍රීඩා කළා. ඒ වගේ අවස්ථාවකදී ගුණරත්නට එරෙහිව පිටිය ආරක්ෂා කිරීම හරිම අමාරුයි. දක්ෂ ක්‍රීඩකයෙක් දක්ෂතා අතර සිටින විට ඔහු ඔබට හානි කරනවා." අසේලව එසේ ඇගයීමට ලක් කළේ පරාජිත ඔස්ට්‍රේලියානු නායක ඇරොන් ෆින්ච්ය.
මේ අතර ශ්‍රී ලංකා නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් අසේල මෙසේ වර්ණනා කළේය. "අසේල ගැන ඉතාමත් සතුටට පත්වෙනවා. කණ්ඩායමට පුදුමාකාර සොයා ගැනීමක්. මේ දිනවල ඔහුට ලැබෙන සෑම දෙයක්ම ලැබිය යුතුයි."
අසේලගේ පිතිහරඹය අගය කිරීමට හිටපු ශ්‍රී ලංකා නායකයන් දෙදෙනෙක් වන මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර ද එක් වූහ. "අසේල ගුණරත්නට හිස නමා ආචාර කරනවා. පුදුමාකාර අවසානයක්. ශ්‍රී ලංකා පිලට සුබ පතනවා." ජයවර්ධන පැවසීය.
සංගක්කාර සුබ පැතුවේ මෙසේය. "මම දැකපු ඉතා විශිෂ්ට ඉනිමක්. ශ්‍රී ලංකා ක්‍රීඩකයකුගේ හොදම ඊ20 පිතිහරඹයයි. අසේලට හිස නමා ආචාර කරනවා. බොහෝ විට පීඩනයක් යටතේ ක්‍රීඩා කරපු හොඳම ඉනිමත් මෙය වෙන්න ඇති. විශාල ආඩම්බරයක්."
අසේලගේ පිතිහරඹය අගය කරන ලද විශාල පිරිස අතර වත්මන් ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති සහ හිටපු නායක සනත් ජයසූරිය මෙන්ම හිටපු ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකාවක් වන ලීසා ස්තැලේකාර් ද වූහ.
මේ අතර තරගයක් ඉතිරිව තිබියදීම මෙම ඊ20 තරගමාලාව ජය ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්ද ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතුවේය.
මහනුවර ශ්‍රී රාහුල විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති අසේල රාහුල විද්‍යාලයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි පළමු ක්‍රීඩකයායි. 31 හැවිරිදි අසේල මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරයි. එමෙන්ම ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සාමජයට ක්‍රීඩා කරයි. හෙතෙම තුන් ඉරියව් හපනෙකි. ඒ දකුණත් පිතිහරඹයෙන් සහ දකුණත් මද වේග පන්දු යැවීමෙනි. මෙවර ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තරග පහකදී ලකුණු 426 ක් රැස් කර තිබූ අතර වැඩිම ලකුණු සංඛ්‍යාව 158 කි. සාමාන්‍යය 53.25 කි.
අසේල ජාත්‍යන්තර තරග වරම් ලැබුවේ 2016 වසරේදීය. තම මංගල ටෙස්ට් තරගයේදීම ඔහු අර්ධ ශතකයක් රැස් කර ගත්තේ සිම්බාබ්වේට එරෙහිවයි. එමෙන්ම මෙවර දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති අවසන් එක්දින ජාත්‍යන්තර තරගයේදී නොදැවී ශතකයක් (114) රැස් කිරීමටත් ඔහු සමත් වූයේය.
මේ අතර ඔස්ට්‍රේලියාවට එරෙහිව දෙවන ඊ20 තරගය ජය ගැනීමෙන් පසුව දෙස් විදෙස් ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට සිය ස්තූතිය පිරිනැමීමටත් ඔහු අමතක නොකළේය. "අපි ලංකාවේ සිටිනවා වගේ තමයි දැනුණේ. විශාල සහායක් ක්‍රීඩා ලෝලින්ගෙන් ලැබුණා. එය අපිට ලොකු ශක්තියක් වුණා. ඔස්ට්‍රේලියාවේදී තරගමාලා ජයක් ලබා ගැනීමට හැකිවීම ගැන මට හරිම සතුටුයි. ඒ වගේම තවදුරටත් අපට සහාය දක්වන ලෙසට සමස්ත ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගෙන් මම ඉල්ලා සිටිනවා."
අසේලට අයි. පී. එල්. වරම්
2017 ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි. පී. එල්.) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පසුගියදා පැවැත්වීය. එහිදී එම තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා තෝරා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනා අතරට අසේල ගුණරත්නත් අයත්ය. අනෙක් ක්‍රීඩකයා වූයේ ඇන්ජලෝ මැතිව්ස්ය.
අසේලව තෝරා ගත්තේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමයි. ඒ රුපියල් ලක්ෂ 70 කට ආසන්න ශ්‍රී ලංකා මුදලකටය. මෙවර මුම්බායි ඉන්ඩියන්ස් ප්‍රධාන පුහුණුකරු වන්නේ මහේල ජයවර්ධනය. ලසිත් මාලිංග තවදුරටත් එම පිලට ක්‍රීඩා කරයි. මේ අතර ශ්‍රී ලංකා රුපියල් කෝටි හතරකට ආසන්න මුදලකට මැතිව්ස්ව තෝරා ගනු ලැබුවේ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමයි.
මෙවර වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා වූයේ එංගලන්තයේ බෙන් ස්ටෝක්ස්ය. ඒ අමෙරිකානු ඩොලර් මිලියන 2.16 ක මුදලකටය. තුන් ඉරියව්වටම හපන් ස්ටොක්ස්ව තෝරා ගත්තේ රයිසින් පුනේ සුපර් ජයන්ට්ස් කණ්ඩායමයි. එය අයි. පී. එල්. ඉතිහාසයේදී විදෙස් ක්‍රීඩකයකුට ගෙවනු ලැබූ විශාලතම මුදලත් වේ.
2017 අයි. පී. එල්. ක්‍රීඩක වෙන්දේසියේදී තවත් සුවිශේෂි සිදුවීමක් විය. ඒ ටෙස්ට් වරම් නොමැති දෙරටක ක්‍රීඩකයන් තිදෙනෙකුටම අයි. පී. එල්. වරම් හිමිවීමයි.
ඒ ඇෆ්ගනිස්තානයේ මොහොමඩ් නාබි, 18 හැවිරිදි රෂිඩ් ඛාන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ චිරාග් සුරිය. නාබි සහ ඛාන් සන්රයිසර්ස් හයිදරාභාද් පිලට ක්‍රීඩා කරනු ඇත. සුරිගේ පිල වන්නේ ගුජරාට් ලයන්ස්ය.