දැල් පන්දු අසිරිය ඕස්ලිට්‍රේලියාවේ | සිළුමිණ

දැල් පන්දු අසිරිය ඕස්ලිට්‍රේලියාවේ

ප්‍රශාන්ත ඇල්පිටිය

කාන්තාවන්ගේ ක්‍රීඩාව නෙට්බෝල් හෙවත් දැල්පන්දු ක්‍රීඩාවේ ජාත්‍යන්තර අවධානය යොමු කරන විට සුපිරිතම රටවල් සතරක් තිබේ. ඒ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය සහ ජැමෙයිකාවයි.

දැන් මෙම රටවල විශිෂ්ටතම ක්‍රීඩිකාවන් එකම තරගාවලියකදී ක්‍රීඩා කරන ආකාරය දැක ගැනීමේ දුලබ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට උදා වී තිබේ.

ඒ ඉකුත් පෙබරවාරි මාසයේදී ආරම්භ කරනු ලැබූ සුපර් දැල්පන්දු හෙවත් ජාතික දැල්පන්දු ලීග් තරගාවලිය නිසාවෙනි. ඔස්ට්‍රේලියාව මෙහි සත්කාරකත්වය දරනු ලබයි. ප්‍රථම වරට පැවැත්වෙන මෙම තරගාවලියට කණ්ඩායම් අටක් සහභාගි වේ.

ඒ ඇඩිලේඩ් තන්ඩර්බර්ඩ්ස්, ග්‍රේටර් වෙස්ටර්න් සිඩ්නි ජයන්ට්ස්, මෙල්බර්න් වික්සන්ස්, සන්ෂයින් කෝස්ට් ලයිට්නිංග්, කුවින්ස්ලන්ඩ් ෆයර්බර්ඩ්ස්, කොලින්ග්වුඩ් මැග්පයිස්, නිව් සවුත් වේල්ස් ස්විෆ්ට්ස් සහ වෙස්ට් කෝස්ට් ෆීවර් යන කණ්ඩායම්ය.

මෙම තරගාවලිය ලබන ජූනි මාසය තෙක් පැවැත්වීමට නියමිතය. එහිදී වට 14 ක් පුරා තරග පැවැත්වෙනු ඇත. එහිදී මුල් ස්ථාන සතර හිමිකර ගනු ලබන කණ්ඩායම් අතර අවසන් වටයක් පැවැත්වේ. එහි ජයග්‍රහණය හිමිකර ගන්නා පිලට ශූරතාව හිමිවේ.

මෙය ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ප්‍රථම වෘත්තීයමය දැල්පන්දු තරගාවලියයි. කෙසේ වෙතත් 2008 වසරේ සිට 2016 වසර දක්වා වාර්ෂික දැල්පන්දු තරගාවලියක් මීට පෙර පවත්වනු ලැබීය. ඒ ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල මූලිකත්වයෙනි. ඊට කණ්ඩායම් දහයක් සහභාගි විය. ඒ දෙරටට කණ්ඩායම් පහ බැගිනි.

එය වෙනුවට දැන් මෙම නව තරගාවලිය ආරම්භ කර තිබෙන්නේ ක්‍රීඩිකාවන්ගේ වෘත්තීයමය බව තව වැඩි කිරීමට සහ තවදුරටත් දැල්පන්දු ක්‍රීඩාවේ ජනප්‍රියතාවය ඉහළ නැංවීමටයි. මේ වන විට ලොව සුපිරිතම ක්‍රිකට් ක්‍රීඩිකාවන් රැසක්ම සහභාගිවන බිග් බෑෂ් කාන්තා පන්දු ඕවර 20 තරගාවලිය ඔස්ට්‍රේලියාවේදී වාර්ෂිකව පැවැත්වේ.

Comments