
අමිල මලවිසූරිය
ලෝක දෘශ්‍යාබාධිත ක්‍රිකට් කවුන්සිලය මඟින් රටවල් 10 ක සහභාගිත්වයෙන් ඉන්දියාවේදී පැවැත්වූ දෙවන දෘශ්‍යාබාධිත විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවරත් අවසන් පූර්ව වටයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. එහෙත් එය අවතක්සේරු කිරීමට කිසිදු හේතුවක් නොමැති වන්නේ දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන් යනු අපගේ අනෙක් ක්‍රිකට් ක්‍රීඩකයන් විඳින සුරසැප හා සසඳන කල ඉතාම දුප්පත් ක්‍රීඩාවක් කරන පිරිසක් වීමයි.
ඒ අනුව ඔවුන් අවසන් පූර්ව වටයට පැමිණීම ද ඉමහත් ජයග්‍රහණයකි.
එම ජයග්‍රහණයන්ට සුවිසල් දායකත්වයක් සැපයූ ක්‍රීඩකයා වෙමින් සහභාගි වු තරග 8 න් 5 කදීම ශතක රැස් කරමින් තරගාවලියේ වීරයා ද වූයේ වමත් ආරම්භක පිතිකරු සුරංග සම්පත් වීරසේකරයි. බී-3 හෙවත් අඩක් දෘශ්‍යාබාධිත ක්‍රීඩකයකු ලෙස කණ්ඩායමට එක්වෙමින් තරගාවලියට සහභාගි වූ සුරංග නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, නේපාලය, බටහිර ඉන්දීය කොදෙව් හා එංගලන්තයට එරෙහිව ශතක වාර්තා කිරීමට සමත් විය. එහිදී නවසීලන්තයට එරෙහිව තරගයේදී සම්පත් සුරංග, ඔහුගේ සහායක ආරම්භක පිතිකරු රුවන් වසන්ත එක්ව පන්දු ඕවර විස්ස ක්‍රීඩා කරමින් ලකුණු 334 ක් ලබා ගැනීමට සමත් වූයේ ලෝක වාර්තාගත ඉනිමක් ක්‍රීඩා කරමිනි.
"ඇත්තටම හරිම සතුටුයි අවසන් පූර්ව තරගය සඳහා පැමිණීමට හැකිවීම සහ මගේ දක්ෂතා ගැන.
මොකද අපි පැරදුණේ ලොව සිටින හොඳම කණ්ඩායමට. ඔවුන් අපි වගේ නෙමේ වෘත්තීය ක්‍රීඩකයෝ. අපි එහෙම නෙවෙයි, තරගාවලියකට යනකොට මාසයක් විතර කට්ටිය එකට එකතුවෙලා පොඩි පුහුණුවක් කරන්නෙ.
ඒක තමයි අපට තියෙන ලොකුම ප්‍රශ්නය." එසේ පවසන සම්පත් සුරංගලාට නිසි පරිදි අනුග්‍රාහකයකු ලැබී දිගින් දිගටම පුහුණුවීම්වල නිරතවී ක්‍රීඩාව කරගෙන යාමට අවශ්‍ය වටපිටාව වගකිවයුත්තන් හෝ ඇති-හැකි ආයතන, පුද්ගලයන් විසින් විවර කර දුනහොත් තවත් ක්‍රිකට් ලෝක ශූරතාවක් අත ළඟ බව ඔවුන්ගේ දක්ෂතාවලින් මනාව පිළිබිඹු වන බැවිනි. මහියංගය, කෙසෙල්පොත ගම්මානයේ උපන් 28 හැවිරිදි සුරංග,
"මම පාසල් ගියේ මොනරාගල, කුඹුක්කන අඳබිහිරි විද්‍යාලයට. අවුරුදු 18 දී විතර තමයි පාසල් කණ්ඩායමට එකතුවුණේ.
ඊට පස්සේ අපේ පාසල් අතර තිබෙන තරගාවලියට සහභාගි වුණා. පාසලෙන් ඉවත් වුණාට පස්සේ අපිම එකතු වෙලා 'ශක්ති' ක්‍රීඩා සමාජය නමින් ක්‍රීඩා සමාජයක් ආරම්භ කරලා අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියට සහභාගි වුණා." යැයි පවසන සුරංග කුඹුක්කන විදුහලේ හිටපු විදුහල්පති සරත් පී. කළුආරච්චි මහතා නොවන්නට සම්පත් සුරංග යන ක්‍රිකට් ක්‍රීඩකයා බිහි නොවන්නට ඉඩ තිබුණු බව පසක්කර සිටියේ එතුමාට ගෞරව පූර්වක ස්තුතිය පුද කරමිනි.
"මම පසුබසින සෑම අවස්ථාවකදීම එතුමා තමයි දිරිමත් කරන්නේ. "ඔයාට ක්‍රිකට්වලින් ලොකු ගමනක් යා හැකියි. ඒක නිසා අතාරින්න එපා" කියලා."ඉන්පසු ශක්ති කණ්ඩායමේ සගයන්ගෙන් ලැබුණු උපරිම සහායත් සමඟ තමාගේ දක්ෂතාවන්ට නිසි තැන ලැබෙමින් 2014 වර්ෂයේදී ජාතික කණ්ඩායමේ දොර විවර වූ බව සුරංග කියයි.
2014 වර්ෂයේ දකුණු අපි‍්‍රකාවේ පැවැති සීමිත පන්දුවාර 40 ලෝක කුසලානය ද නියෝජනය කර ඇති සම්පත් සුරංග ගිය වර්ෂයේ පැවැති ආසියානු කුසලානය සේම පාකිස්තාන සංචාරයකටද සහභාගි වී ඇත.
මේ වන විට කොලොන්නාව ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන සුරංග ජාතික කණ්ඩායමක් නියෝජනය කරන ක්‍රීඩකයෙක් වුවත් කොළඹ බෝඩිම් ජීවිතය ගත කරන්නෙකි.
"ඇත්තෙන්ම අපට මේ පාර ලෝක කුසලානයට හැමෝගෙන්ම හොඳ සහායක්, ප්‍රතිචාරයක් ලැබුණා.
විශේෂයෙන්ම මාධ්‍යයත් අප ගැන අවධානයෙන් හිටියා. අපේ ගම්වලිනුත් සෑහෙන හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ ඔක්කොටම වඩා මට තියෙන සතුට මා සේවය කරන ස්ථානයෙන් ලැබුණ ප්‍රතිචාර ගැන විශේෂයෙන්ම අපේ අංශ ප්‍රධානී මිහිරංග මහතාගෙන් ලැබුණු සහායසේම ප්‍රතිචාර ඉතාම විශිෂ්ටයි." සම්පත් හට ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් සහ නිලධාරින්ගෙන් ලැබෙන සහායද මෙවන් දක්ෂතා පෙන්වීමට මහඟු පිටිවහලක් බව කීවේය.
ක්‍රිකට් ක්‍රීඩාව කළ ද ක්‍රිකට්වලට එතරම් ඇල්මක් සහ දැනීමක් නොමැති බව පසක් කරන සම්පත් තමාගේ ක්‍රිකට් වීරයා සංගා බව පවසයි.
සම්පත් සුරංගගේ දක්ෂතා ගැන සතුටු වන අය අතරේ ප්‍රධානම චරිත වන ගොවිතැන් කටයුතුවල නිරතවන ඩබ්ලිව්. එම්. වීරසේකර පියාණන් සහ පෙර පාසල් ගුරුවරියකවන කරුණා වීරසිංහ මෑණියන් ද වේ. සහෝදරයන් දෙදෙනකු සහ සහෝදරියක සිටින සුරංග ගැන කරුණා මෑණියන් මෙසේ කීවාය.
"ඇත්තටම මට පුතා ගැන කියන්න වචන නැති තරම් සතුටක් තියෙන්නේ. මොකද මේ ළමයා ඉතාම දුක්ඛිත ජීවිතයක් ගත කළ කෙනෙක්. 10 වසරේදී ඇහේ කෝටුවක් ඇනිලා වුණු අවාසනාවන්ත සිදුවීමෙන් දෘශ්‍යාබාධිත වුණා. ඒත් එක්කම අපි සෑහෙන අසරණ වුණා මෙයාගේ අනාගතය ගැන හිතලා. කොහොම හරි පුතා අද ක්‍රිකට්වලින් ඇවිල්ලා ඉන්න ගමන ගැන හරිම සතුටුයි. අපි හිතුවේ නෑ පුතා ක්‍රිකට්වලින් මෙතරම් සාර්ථක ගමනක් එයි කියලා.
පුතාගෙ ඉරණම වෙනස් කළේ අපට අහම්බෙන් වගේ හම්බවුණ කුඹුක්කන විදුහල. ඒ ඉස්කෝලෙට යන්න පුතා කැමැති වුණේම නෑ. ඒත් ඒ ඉස්කෝලෙ විදුහල්පතිතුමා කරුණු පහදලා දුන්නම පුතා කැමැති වුණා ඒකට යන්න.
ඒ නිසා අද මේ ළමයා ජීවිතයේ යම් සාර්ථකත්වයක් ලබලා තියෙනවානම්, ඒකෙ පූර්ණ ගෞරවය කුඹුක්කන විදුහලේ හිටපු විදුහල්පතිතුමාට හිමි විය යුතුයි. "එසේ පවසන කරුණා මහත්මිය කිසියම් ආයතනයක් හෝ වගකිවයුත්තන් මේ පිරිසට මීට වඩා අනුග්‍රහයක් දක්වන්නේ නම් රටට ජාතියට විශිෂ්ට ජයග්‍රහණ තම පුතුන් රැගෙන ඒවි යැයි දැඩි විශ්වාසයෙන් පැවැසුවාය.