
ප්‍රශාන්ත ඇල්පිටිය
මෙරට පැරණිතම පාසල් දෙකක් වන මහනුවර ත්‍රිත්ව සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාල අතර පැවැත්වෙන ශත සංවත්සර වාර්ෂික මහා ක්‍රිකට් තරගය මාර්තු 10 සහ 11 දෙදින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පැරණිතම පාසල් මහා ක්‍රිකට් තරග අතරටත් එක් වේ. මෙම තරගය කඳුරට නිල් මහා සටන ලෙසටත් ප්‍රකටයි. මෙය මුල් වරට පැවැත්වූයේ 1914 වසරේදීය. මෙවර පැවැත්වෙන මහා තරගයේදී දෙපිලේ නායකයන් ලෙසට (ත්‍රිත්ව) ෂානොගීත් ෂන්මුගනාදන් සහ (අන්තෝනි) මොහොමඩ් අල්ෆ් ක්‍රියා කරති.
මෙම මහා තරගයේ මේ වන විට පැවැති තරග 99 දී ත්‍රිත්ව විද්‍යාලය වැඩි ජයග්‍රහණ ගණනක් අත්කර ගෙන ඉදිරියෙන් සිටියි. ඒ ජයග්‍රහණ 23 කි. අන්තෝනි විද්‍යාලයට ජයග්‍රහණ 12 කි. ජය පරාජයක් නොමැති තරග ගණන 64 කි.
ශාන්ත අන්තෝනි විද්‍යාලය ආරම්භ කරනු ලැබුවේ 1854 වසරේදීය. ඔවුන් පළමු වරට ක්‍රිකට් තරගයකට සහභාගි වූයේ 1899 වසරේදීය. ත්‍රිත්ව විද්‍යාලය 1872 වසරේදී ආරම්භ කර තිබේ. ඔවුන් ප්‍රථම වරට ක්‍රිකට් තරගයකට සහභාගි වූයේ 1893 වසරේදීය.
දෙපිල අතර මංගල මහා ක්‍රිකට් තරගය 1914 වසරේදී පැවැත්වූයේ බෝගම්බර ක්‍රීඩාංගණයේදීය. එය ජය ගත්තේ අන්තෝනි විද්‍යාලයයි. ඊළඟ මහා තරගයේ ජය ත්‍රිත්ව විද්‍යාලයටයි.
අවසන් වරට මෙම මහා තරගයේ සම්පූර්ණ ජයග්‍රහණය අත්කර ගත්තේ ත්‍රිත්ව විද්‍යාලයයි. ඒ 2012 වසරේදීය. එහිදී නායකත්වය දරනු ලැබුවේ වත්මන් ශ්‍රී ලංකා ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලය. එය සුවිශේෂී ජයකි. එනම් ඊට පෙර අවසන් වරට ත්‍රිත්ව විද්‍යාලය මෙම තරගය ජය ගෙන තිබුණේ 1986 වසරේදී බැවිනි. එහිදී නායකයා වූයේ තුෂාර වීරසූරියයි.
මේ අතර ශාන්ත අන්තෝනි විද්‍යාලය අවසන් වරට මහා ක්‍රිකට් තරගය ජය ගනු ලැබුවේ 1992 වසරේදීය. එවර නායකයා වූයේ උමේෂ් ද අල්විස්ය.
ත්‍රිත්ව සහ අන්තෝනි මහා තරගයේ ප්‍රථම ශතක ලාභියා වූයේ ජැක් ඇන්ඩර්සන්ය. ඒ 1918 වසරේදීය. එවකට පාසල් තරගවල සුපිරිතම පිතිකරුවෙක් වූ ඇන්ඩර්සන් ශාන්ත අන්තෝනි විද්‍යාලය නියෝජනය කළේය.
ත්‍රිත්ව විද්‍යාලයේ ලලිත් රාමනායක මෙම මහා තරගයේ වේගවත්ම ශතක ලාභියාය. 1970 වසරේ තරගයේදී ඔහු මෙම විශිෂ්ට ශතකය රැස් කළේ විනාඩි 72 කදීය.
අන්තෝනි විද්‍යාලයේ ඒ. සී. එම්. ලාෆිර් 1954 වසරේ තරගයේදී විශිෂ්ට ශතකයක් රැස් කළේය. ඊට ලකුණු 176 කි. එය මෙම මහා තරගවලදී පිතිකරුවෙක් විසින් රැස් කළ ඉනිමක වැඩිම ලකුණු ගණන වේ.
මෙම දෙවිදුහල් මහා තරග ඉතිහාසයේ ඉතා විශිෂ්ට එමෙන්ම අති දුලබ දස්කමක් දැක්වීමට ත්‍රිත්ව විද්‍යාලයේ සී. ධර්මලිංගම් සමත් විය. ඒ 1939 වසරේ තරගයේදීය. එහිදී ඉනිමකදී පිට පිට පන්දු තුනකින් කඩුලු ත්‍රිත්වයක් හෙවත් හැට්ට්‍රික් දෙකක්ම දවා ගැනීමට සමත් වීමෙනි.
කණ්ඩායමක් ඉනිමකදී රැස්කර ගත් අඩුම ලකුණු ප්‍රමාණය වන්නේ 37 කි. එය වාර්තා වූයේ 1951 වසරේදී ත්‍රිත්ව විද්‍යාලයෙනි. 1938 වසරේදී අන්තෝනි විද්‍යාලය ලකුණු 44 ක් රැස් කර ගෙන තිබේ.
මෙම මහා තරගය අවස්ථා තුනකදී පවත්වා නැත. මින් 1956 සහ 57 වසරවලදී වයස් සීමාව පිළිබඳ මතු වූ ගැටලුවක් නිසා මහා තරගය පැවැත්වූයේ නැත. මීට අමතරව 2001 වසරේදීත් මහා තරගය පැවැත්වීමට නොහැකි විය. ඒ එම තරගවාරය අතරතුරදී විනය පිළිබඳ ගැටලු නිසා ත්‍රිත්ව විද්‍යාලය පාසල් තරගවලින් ඉවත් වූ බැවිනි.
ගත වූ කාලය තුළදී මෙම තරගවලට ක්‍රීඩා කළ බොහෝ ක්‍රීඩකයන් මෙරටේ සුවිශේෂි පුද්ගලයෝ බවට පත් වූහ. ඒ අතරට ත්‍රිත්ව විද්‍යාලයේ ලක්ෂ්මන් කදිරගාමර් සහ ලක්ෂ්මන් ජයකොඩි යන මහත්වරුන් ද එක් වෙති.
මීට අමතරව දෙවිදුහලේ ක්‍රීඩකයෝ රැසක්ම ශ්‍රී ලංකා ජාතික සහ ඒ කණ්ඩායම් නියෝජනය කළහ. ඒ අතරට ත්‍රිත්ව විද්‍යාලයේ කුමාර සංගක්කාර, රවි රත්නායක, නිලන්ත රත්නායක, ග්‍රෙැහැම් ලැබ්රෝයි, කෞශල්‍ය වීරරත්න, නිරෝෂන් දික්වැල්ල, සචිත් පතිරණ සහ ළහිරු කුමාර එක් වෙති.
එමෙන්ම ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් මුත්තයියා මුරලිදරන්, මහේෂ් ගුණතිලක, බර්නාර්ඩ් පෙරේරා, පියල් විජේතුංග, රුවන් කල්පගේ, මාලන් වොන්හාට් සහ සජිත් ප්‍රනාන්දු මෙම මහා තරගයට ක්‍රීඩා කර තිබේ.
සංගක්කාර ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාතික වාර්තා කිහිපයකම හිමිකරුවෙකි. ඒ වමත් පිතිහරඹයෙන් සහ කඩුලු රැකීමෙනි. එමෙන්ම ඔහු හිටපු ශ්‍රී ලංකා නායකයෙකි.
මුරලිට ජාතික සහ ලෝක වාර්තා කිහිපයක්ම හිමිය. ඒ දකුණතින් පිට දඟ පන්දු යවමිනි. එහිදී ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර තරග වැඩිම කඩුලු ලාභියා වීම ලෝක වාර්තාවන්ය.
දකුණතින් මද වේග පන්දු යවමින් සහ වමත් පිතිහරඹයෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩකයකු ලෙසට රවි රත්නායක හැඳින්විය හැකිය. 80 දශකයේ ශ්‍රී ලංකා ජාතික පිලේ ප්‍රධානම තුන් ඉරියව් හපන් ක්‍රීඩකයා වූයේත් රවීය. කලක් ටෙස්ට් ඉනිමක ශ්‍රී ලංකා හොඳම පන්දු යැවීමත් ඔහු සතු විය. මහේෂ් ගුණතිලක ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් කඩුලු රකින්නාය. පියල් විජේතුංග, රුවන් කල්පගේ සහ සජිත් ප්‍රනාන්දු පුහුණුකරුවන් ලෙසට ප්‍රකට වූහ.
නිරෝෂන් දික්වැල්ල සහ ළහිරු කුමාර ඉදිරියේදී ශ්‍රී ලංකා ජාතික පිලේ සුපිරිතම තරු බවට පත්වන ලකුණු දැනටමත් පෙන්වමින් සිටිති. සචිත් පතිරණ මේ වන විට තුන් ඉරියව් හපනෙක් ලෙසට ජාතික පිලට ක්‍රීඩා කරයි.










