උදාරතර සහෝදර බැඳීමක් අරමුණු කරගත්... රාජකීය ශාන්ත තෝමස් නිල් මහා සටන | සිළුමිණ

උදාරතර සහෝදර බැඳීමක් අරමුණු කරගත්... රාජකීය ශාන්ත තෝමස් නිල් මහා සටන

ණතීරුවේ සටන මොනතරම් උණුසුම් වුවද තියුණු වුවද, එකී සටනේදී රාජකීය – ශාන්ත තෝමස් සිසුකැල එකම සහෝදර බැම්මකින් බැඳී සිටින බව ලොවට කියාපෑමේ උදාරතර අරමුණ පෙරදැරි කරගෙන 138 වැනි නිල් මහා සටනට දෙපිලේ ක්‍රීඩකයන් විසි දෙදෙනා 9 - 10 - 11 යන තෙදිනේ එස්. එස්. සී. පිටියේ රොද බඳිනු ඇත.

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයට පමණක් දෙවැනි වන මේ දෙවිදුහල් අතර පවත්වන නිල් මහා සටන විද්‍යාලාන්තර දෙකක් අතර පවත්වන ඉපැරැණිම තරගයද වෙයි. එපමණක්ද නොව, ලෝක යුද්ධ දෙකකට පවා දණ නොගැසූ එකම ක්‍රිකට් තරගය ලෙසද මෙය ඉතිහාසයට එක්වෙයි.

1879 දී රාජකීය – ශාන්ත තෝමස් මහා තරගය ආරම්භක වසර ලෙස සැලකුවද, මෙකී තරගයට දෙපිලේම ගුරු සිසු දෙපිරිසම ක්‍රීඩා කළ බැවින්, එකී තරගය රාජකීය - ශාන්ත තෝමස් නිල තරගය ලෙස නොසලකා හැර තිබේ.

මේ අනුව රාජකීය – ශාන්ත තෝමස් ප්‍රථම නිල් මහා තරගය ලෙස දෙපිලම සලකන්නේ 1880 පැවැති තරගයයි. එදා පටන් මේ පැවැත්වෙන 138 වැනි තරගය දක්වා ම ක්‍රීඩා කරන්නේ දෙපිලේ ක්‍රීඩකයන් (සිසුන්) පමණි.

එතෙක් මෙතෙක් දෙපිල අතර, තරග 137 ක් පවත්වා ඇති අතර, එහිදී රාජකීය තරග 35 ක් සහ ශාන්ත තෝමස් තරග 34 ක් ජය ගෙන තිබේ.

පසුගිය වසරේ ගීෂාත් පණ්ඩිතරත්නගේ නායකත්වයෙන් යුත් රාජකීය කණ්ඩායම ජය ගත් අතර, පරාජිත ශාන්ත තෝමස් කණ්ඩායම සචිත ජයතිලකගේ නායකත්වයෙන් තරග කළේය. ඊට පෙර 2013 දී ඩේවින් පද්මනාදන්ගේ නායකත්වයෙන්ද රාජකීය ජය ගෙන තිබේ.

එම තරගයේ ශාන්ත තෝමස් කණ්ඩායමේ නායකත්වය දරා ඇත්තේ ජාවෙඩ් බොන්සෝ විසිනි. ශාන්ත තෝමස් කණ්ඩායම අවසන් වරට ජය ගෙන ඇත්තේ මීට වසර දහයකට පෙර 2007 දී අෂාන් පීරිස්ගේ නායකත්වය යටතේය. එම තරගයේ රාජකීය කණ්ඩායමේ නායකත්වය දරා ඇත්තේ හරුන් මවුජුඩ් විසිනි.

නිල් මහා සටනේ ජයග්‍රාහකයන්ට සේනානායක අභියෝග ශුරතාව හිමි වේ.

මේ දෙපිල විසින් ලාංකේය ක්‍රිකට් බිමට දායාද කළ විශිෂ්ටයන් රැසකි.

අඛන්ඩව හිමිකරගත් සේනානායක අභියෝග ශූරතාව මෙවරත් තමන් සතුකර ගැනීමේ අටියෙන් හේලිත විතානගේ ප්‍රමුඛ රාජකීයෝ සිංහල පිටියේ රොද බඳිනවිට වසර දහයකින් තමනට ජයපැන් බීමට නොහැකි වූ නිල් මහා සටනේ ජය සොයා රොමේෂ් නල්ලපෙරුම ප්‍රමුඛ ශාන්ත තෝමස් ක්‍රීඩකයන් සිය ප්‍රතිවාදින් මුණ ගැසෙනු ඇත.

ලෝ ප්‍රකට පුහුණුකරුවකු වන ඩේව් වට්මෝර් මෙවර ශාන්ත තෝමස් කණ්ඩායමට එක්ව සිටීමද විශේෂත්වයකි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

වට්මෝර්ගේ පැමිණීම අපට ශක්තියක්

රොමේෂ් විමල්ෂ නල්ලපෙරුම -ශා. තෝමස් නායක

මේ තරග වාරයේ තරග 15 දී හතරක් දිනුවා. තවත් තරග හතරක මුල් ඉනිමේ ජය හිමිකරගෙන තියෙනවා.

වර්ණ හිමි ක්‍රීඩකයන් තුනක් සහ නවකයන් අටදෙනෙක් එක්ක තමයි මේ තරග වාරයට ඉදිරිපත් වුණේ. තරුණ සවියකින් තමයි අපි මේ තරගවාරයට ඉදිරිපත් වෙන්නේ.

අපි අවසන්වරට 2007 දී මහා තරගය දිනලා තියෙන්නේ. අවුරුදු දහයකින් මහා තරගයක් දිනලා නෑ. ඒ නිසා මේපාර වෙනසක් කරන්න බලනවා.

මගේ දෙවැනි වසර, හැම තරගයක්ම අපි හොඳට තරග කළා. අවසන් වරට සිල්වෙස්තර තරගය අපි දිනුවා. ඒ ජයග්‍රහණය අපිට ලොකු ශක්තියක්. මහා තරගය පවා අපි සාමාන්‍ය තරගයක් විදියට හිතලා යන්නේ. මහා තරගය කියලා අනවශ්‍ය පීඩනයක් ඔලුවට ගන්නේ නෑ.

ඩේව් වට්මෝර් සර් පැමිණීමත් එක්ක අපි හුඟක් ඉහළට ආවා. ඒ ගැන පාසලට වගේම පුහුණුකරු දිනේෂ් කුමාරසිංහටත් ස්තුතිවන්ත වෙන්න ඕනා. වට්මෝර් සර්ගේ අත්දැකීම් එක්ක අපිට ගොඩක් දුර යන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

මම පිතිකරුවෙක් විදියට කණ්ඩායමට එකතු වෙන්නේ. මේ තරගවාරයේ ලකුණු හත්සියයකට ආසන්න ගණනක් රැස්කරලා තියෙනවා.

 

සටන වට්මෝර් එක්ක නෙවෙයි

හේලිත විතානගේ - රාජකීය නායක

මේ තරග වාරයේ රාජකීය විද්‍යාලය තරග 14 කට ක්‍රීඩා කරලා, මුල් ඉනිමේ තරග අටක් දිනුවා. ආනන්ද, රිච්මන්ඩ් සහ වේල්ස් කුමර විද්‍යාල තරග අපිට ලොකු අභියෝගයක් වුණා. මේ තරග අතරින් වේල්ස් කුමර තරගය පරාජය වුණා.

මේ හැම අත්දැකීමක් එක්කම මහා තරගයට හොඳ සූදානමකින් එකතු වෙනවා. දැනට තරගවල වැඩිම ලකුණු ලාභියා විදියට මම ලකුණු අටසිය පනහකට ආසන්න සංඛ්‍යාවක් රැස් කරලා තියෙනවා. කවිඳු, හත්සිය ගණනක් සහ හිමේෂ් ලකුණු හයසිය ගණනකට ආසන්න ලකුණු සංඛ්‍යාවක් රැස් කරලා තියෙනවා.

 මමයි හිමේෂයි මහා තරගයකට එක්වන තුන්වැනි වතාව.

ගිය අවුරුද්දේ අපි බිග් මැච් එක අවුරුදු තුනකට පස්සේ දිනුවා. ඒ, ගීෂාත් පණ්ඩිතරත්නගේ නායකත්වය යටතේ පසිඳු ශතකයක් රැස් කළා. හිමේෂ් කඩුලු පහක් බිඳ හෙළුවා.

ප්‍රතිවාදීන්ගේ ඕනෑම අභියෝගයක් අපි බාරගන්න ලෑස්තියි. වට්මෝර් ප්‍රතිවාදීන්ගේ පුහුණුකරුවා වුණා කියලා අපි වැටෙන්නේ නෑ.

 කවුරු පුහුණුකරුවා වුණත් තරගය තියෙන්නේ පුහුණුකරුවන් අතර නෙවෙයි, ක්‍රීඩකයන් අතරයි. අපිට හොඳ සමබර ටීම් එකක් ඉන්නවා. අපි ප්‍රතිවාදීන්ට හොඳ සටනක් දෙනවා.

අපි කිසිම කෙනෙකුගේ නම් ඔලුවේ තියාගෙන තරග කරන්නේ නෑ. අපි අපේ දක්ෂතා ක්‍රිකට් පිටිය මැදට ගෙනියනවා. එතැනයි සටන තියෙන්නේ. ඒ සටන සමබර කරගෙන ක්‍රීඩා කරන එක තමයි අපේ මූලික අරමුණ සහ ඉලක්කය.

 

 

Comments