
ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගය මාර්තු 04 - 05 දා එස්. එස්. සී. පිටියේදී පැවැත්වේ. සුලෝහිත සංග්‍රාමය ලෙස ප්‍රකට මෙකී තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 88 වන වරටය. මෙවර ආනන්ද කණ්ඩායම කවිෂ්ක අංජුලගේ නායකත්වය යටතේ පිටියට පිවිසෙන අතර, නාලන්ද කණ්ඩායම දසුන් ආලෝක සෙනෙවිරත්නගේ නායකත්වය යටතේ පිටියට පිවිසෙයි. පසුගිය වසරේ පැවැති මහා තරගයද ජය පරාජයෙන් තොරව අවසන් විය.
ආනන්දයට 12 යි නාලන්දට 6 යි
පළමු ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගය 1924 පවත්වා තිබෙන අතර ආනන්ද කණ්ඩායම ආර්. එස්. රාජකරුණාගේ නායකත්වය යටතේ සහ නාලන්ද කණ්ඩායම බී. එස්. පෙරේරාගේ නායකත්වය යටතේ තරගකර තිබේ. එකී තරගය ජය පරාජයෙන් තොරව අවසන්ව තිබේ.
මේ තරග ඉතිහාසයේ පළමු ජය හිමිකර ගෙන ඇත්තේ නාලන්ද කණ්ඩායමයි. ඒ 1925 පැවැති දෙවැනි තරගයේදීය. බී. එස්. පෙරේරා නාලන්ද කණ්ඩායමේ නායකත්වය දරා තිබෙන අතර, එන්. එම්. පෙරේරා ආනන්ද කණ්ඩායමේ නායකත්වය දරා තිබේ.
ආනන්ද කණ්ඩායම හාපුරා කියා මහා තරගයක් ජය ගෙන ඇත්තේ 1926 පැවැති තෙවැනි තරගයේදීය. ජේ. බී. ජයවර්ධන එහිදී නායකයා ලෙස කටයුතු කර තිබේ. ඒ අනුව එතෙක් මෙතෙක් පැවැති තරග 87 දී ආනන්ද කණ්ඩායම තරග 12 ක් ජය ගෙන තිබෙන අතර නාලන්ද කණ්ඩායම ජය ගෙන ඇත්තේ තරග හයකි. නාලන්ද කණ්ඩායම 1953 දී අවසන් වරට ඩබ්. ඩබ්. සිල්වාගේ නායකත්වය යටතේ ජය ගෙන ඇති අතර ආනන්ද කණ්ඩායම අවසන්වරට 2003 දී ජය ගෙන ඇත්තේ සංජය ගංගොඩවිලගේ නායකත්වය යටතේය. දෙවැනි ලෝක යුද සමයේ 1942 - 44 සහ 48 දී මහා තරගය පවත්වා නැත.
පිය - පුතු
මෙකී තරග ඉතිහාසයේ හතරවතාවක් නාලන්ද කණ්ඩායම වෙනුවෙන් පිය පුතුන් මහා තරගයක නායකත්වය දරා තිබේ. 1929 දී නෙල්සන් කරුණාරත්න සහ 1978 දී සුරංජිත් කරුණාරත්න හාපුරා කියා මෙකී ඉතිහාසයට එක්ව ඇති අතර, 1971 දී බන්දුල වර්ණපුර, 2004 දී මධුර වර්ණපුර සහ 2008 දී මාධව වර්ණපුර අවසන් වරට මේ තරග ඉතිහාසයට එක්ව ඇති පිය පුතුන්ය. ඉතිහාසයට එක්වූ ආනන්ද පිය-පුතු යුගලක් හෝ ඇතුළත් නොවීමද විශේෂත්වයකි.
සහෝදරයන් මහා තරගයක නායකත්වය දැරූ අවස්ථා හතක් මෙකී තරග ඉතිහාසයේ හමුවේ. 1949 දී නෙල්සන් පෙරේරා, 1960 දී ගාමිණි ජයවික්‍රම පෙරේරා සහ 1962 දී අශෝක පෙරේරා නාලන්ද කණ්ඩායම වෙනුවෙන් හාපුරා කියා නායකත්වය දැරූ සහෝදරයන් ලෙස වාර්තා වේ. අවසන් වරට ද නාලන්ද කණ්ඩායමේ මධුර වර්ණපුර 2004 දී සහ මාධව වර්ණපුර 2008 දී නාලන්ද කණ්ඩායම වෙනුවෙන් නායකත්ය දරා තිබේ. ආනන්ද කණ්ඩායම වෙනුවෙන් 1968 සුනිල්, 1970 මිත්‍ර සහ 1975 දී සිදත් වෙත්තමුණි සහෝදරයන් නායකත්වය දරා තිබේ.
කණ්ඩායම් දෙකටම සහෝදරයන් ක්‍රීඩා කළ අවස්ථා පහක්ද මෙකී තරග ඉතිහාසයේ හමුවෙයි. 1924 නාලන්ද කණ්ඩායමට එෆ්. අමරසූරිය ක්‍රීඩා කර තිබෙන අතර, බී. අමරසූරිය 1929 දී ආනන්ද කණ්ඩායමට ක්‍රීඩා කර තිබේ. අවසන් වරට මෙසේ දෙපිලටම ක්‍රීඩා කළ සහෝදරයන් වන්නේ මතීෂ පෙරේරා 2008 දී ආනන්ද කණ්ඩායමට සහ අෂාන් ප්‍රියංජන පෙරේරා 2007 - 08 දී නාලන්ද කණ්ඩායමටද ක්‍රීඩා කර තිබේ.
මෙකී තරග ඉතිහාසයේ ශතක 24 ක් වාර්තා වී තිබේ. මුල්ම ශතකලාභියා නාලන්ද කණ්ඩායමේ පී. එම්. ජයතිලකයි. ජයතිලක 1929 දී ලකුණු 111 ක් රැස් කර තිබේ. අවසන් ශතකලාභියා දිනේෂ් චන්දිමාල්ය. ආනන්ද පිතිකරුවකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව 1999 දී තිළිණ කණ්ඩම්බි රැස් කළ ලකුණු 144 යි. නාලන්ද පිතිකරුවකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව 1997 දී ශාන්ත කලවිටිගොඩ නොදැවී රැස් කළ ලකුණු 149 යි.
කවිෂ්ක අංජුල නායකයා - ආනන්ද විද්‍යාලය
මේ තරගවාරයට හොඳ සමබර කණ්ඩායමක් තමයි ක්‍රීඩා කරන්නේ. අපි ලීග් තරගාවලියේ දැනට දෙවැනි ස්ථානයේ ඉන්නේ. මේ තරගවාරය හොඳට අවසන් කරලා මහා තරගයට උපරිම සූදානමකින් එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා.
තුන් ඉරියව් ක්‍රීඩකයකු විදියට කණ්ඩායමට එකතු වෙන්නේ. මේ තරගවාරයේ තරග 13 ට ලකුණු 750ක් අරගෙන තියෙනවා. කඩුලු 20 ක් බිඳහෙළලා තියෙනවා. මේ ලකුණු සංඛ්‍යාවට ශතකයක් සහ අර්ධ ශතක හතක් තියෙනවා. වේල්ස් කුමර විද්‍යාලයට එරෙහිව ලකුණු 135 ක් රැස් කළා. මේ තරග වාරයේ අපේ හොඳම ඉනිම.
අම්බලන්ගොඩ දේවානන්ද ඉස්කෝලෙන් අධ්‍යාපනය හදාරලා නවයට වසරේදී ආනන්දයට එන්නේ. අවුරුදු 15 න් පහළ ඉඳ
ලා ආනන්ද විද්‍යාලයට ක්‍රීඩා කරනවා. මේ මගේ හතරවැනි අවුරුද්ද. මහා තරගය ඉතාමත් හොඳට අවසන් කරන්න තමයි අපි ටීම් එකක් විදියටම බලන්නේ. අයියා රුවින්ද ශාමේන්ගේ ආභාෂයෙන් තමයි ක්‍රිකට්වලට යොමුවුණේ.
දසුන් ආලෝක සෙනෙවිරත්න නායකයා - නාලන්ද විද්‍යාලය
නාලන්ද කණ්ඩායමට ක්‍රීඩා කරන හතරවැනි අවුරුද්ද. පසුගිය වසරේ වගේම මේ අවුරුද්දේ නායකත්වය දරනවා. ගිය අවුරුද්දේ අපි පළමු ඉනිමේ පරාද වුණා. සමස්තයක් විදියට තරගය ජය පරාජයක් නැතුව අවසන් වුණේ. සීමිත ඕවර තරග අපි පරාදයි.
මේ අවුරුද්දේ අපි හුඟක් අඩුපාඩු හදාගෙන තරග හතරකුත්, මුල් ඉනිමේ පහක් දිනා ගෙන තියෙනවා. අපේ ටීම් එකේ ලොකු වෙනස්කම් වුණේ නෑ. මේ අවුරුද්දේ නවකයෝ වැඩියි.
මේ තරගාවලියේ අපේ කණ්ඩායම සමස්තයක් විදියට හොඳට තරග කළා. පස්දෙනෙක් විතර විශේෂයෙන් කැපී පෙනෙන විදියට දස්කම් අතර ඉන්නවා.
මම පිතිකරුවකු විදියට තමයි කණ්ඩායමට එකතු වුණේ. ඒ වුණාට සුපුරුදු පරිදි දස්කම් අතරට එන්න බැරිවුණා. ලකුණු හාරසිය පනහකට ආසන්න ප්‍රමාණයක් ලබාගත්තා.
අම්මා - තාත්තාගේ උනන්දුවත් එක්ක තමයි මගේ ක්‍රිකට් පසුබිම ගොඩනැඟුණේ. පොඩි කාලේ ඉඳලම මමත් ක්‍රිකට්වලට හුඟක් කැමැතියි.
මෙවර මහා තරගය හොඳට කරලා දිනන්න තමයි උත්සහ කරන්නේ. අපොස උසස් පෙළ විභාගය පාස්. බේස්බොල්, පිහිනුම්, මලල ක්‍රීඩා, බාස්කට්බෝල් ආදි ක්‍රීඩා රැසකටම එකතුවුණා. ක්‍රිකට් වලින් ඉදිරියට එනකොට අනිත් ක්‍රීඩා අතහරින්න වුණා.
මේ තරගාවලියේ වේල්ස් කුමර තරගය තමයි ලොකු තරගයක් තිබුණේ. අපි හුඟක් කාලයකින් පිට තරගයක් දිනලා තිබුණෙත් නෑ. වේල්ස් කුමර කණ්ඩායමත් ප්‍රබල කණ්ඩායමක්.