සංස්කෘතික සමරූපීකරණය | සිළුමිණ

සංස්කෘතික සමරූපීකරණය

කලින් කලට සාහිත්‍යයේ විවිධ ප්‍රවණතා, හැදෑරීම්, ක්‍රමවේද පැමිණෙයි. සමහර ප්‍රවණතා බොහෝ කලක් තිස්සේ නිර්මාණ කෙරෙහි සුවිශද බලපෑමක් කොට විචාරකයන්ගේ සදය-නිර්දය විවේචනයන්ට ලක් ව යටපත් වෙයි; නැවත මතු වෙයි. කෙසේ වුව ද සාහිත්‍යය ගැන උනන්දුවක් දක්වන සියල්ලෝ මේ මතවාද, ප්‍රවණතා ගැන ද සිය විචාරාක්ෂිය යොමු කරති. සාහිත්‍ය ප්‍රවණතා ගැන කෙරෙන මේ ගැඹුරු කියැවීම ශාස්ත්‍රාභිලාෂී ඔබට නව මාවතක් විවර කරනු ඇතැ යි අපි විශ්වාස කරන්නෙමු.

සංස්කෘතික ගෝලීයකරණයෙන් ඇතිවූ තවත් ස්වරූපයක් වන්නේ සමරූපීකරණයයි. මෙම ස්වරූපය මඟින් සිදුවන්නේ භෞතික ද්‍රව්‍යයන් පමණක් නොව සිරිත්විරිත්, අදහස් හා වටිනාකම් වැනි විශාල සංස්කෘතික සංකේත අංශයන් ගණනාවක ජනප්‍රිය ව්‍යාප්ත කිරීම මඟින් සංස්කෘතීන්ගේ විවිධත්වය නැති කිරීම තුළින් එක ලක්ෂණයක් යුත් සංස්කෘතියක් බිහි කිරීමය. “එම ක්‍රියාවලිය මඟින් සිදුවන්නේ බාහිර ප්‍රබල සංස්කෘතියක් මඟින් දේශීය සංස්කෘතීන් ගිල ගැනීමක් ලෙස ඕතොතරි නම් කලා විචාරකයා එය අරුත් ගන්වයි. ගෝලීය සංස්කෘතියෙහි මහත් සාකච්ඡාවට භාජනය වූ ලක්ෂණය මෙය ලෙසත් බොහෝ විචාරකයෝ දක්වති. න්‍යායාත්මකව විග්‍රහ කරන විට සියලු සංස්කෘතික බාධාවන් කඩා බිඳ දමා ඒකීය සංස්කෘතියක් බිහි කිරීමක් ලෙස එම කටයුත්ත විස්තර වෙයි.

මෙම ක්‍රියාවලියේ බලපෑම නිසා, ගෝලීය සංස්කෘතික කර්මාන්ත හා බහුජාතීය මාධ්‍ය මඟින් ජාතික අනන්‍යතාවයන් හා සංස්කෘතින් විනාශ විය හැකි යැයි කියැවේ. මෙම ක්‍රියාවලිය විස්තර කෙරෙන්නේ බටහිර සංස්කෘතිය මඟින් අනෙක් සංස්කෘතින් පාලනය කිරීම හා විනාශ කිරීම යන සන්දර්භය යටතේය. බටහිර (ඇමෙරිකානු) ධනවාදී සංස්කෘතිය මඟින් සිදු කෙරෙන සමරූපීකරණ ක්‍රියාවලිය, මැක්ඩොනලකරණය, කොකෝලාකරණය, මෙන්ම සංස්කෘතික අධිරාජ්‍යවාදය හා නව යටත්විජිතවාදය යන වචනවලින් ද විස්තර කෙරේ. මෙම ක්‍රියාවලියට බොහෝ දේශීය සංස්කෘතීන්ගෙන් බාධා ඇතිවේ. එසේ වුවද මෙම ක්‍රියාවලිය පිළිබඳව විවේචනාත්මක වන බොහෝ උගතුන් මෙහිදී ඇමෙරිකානු සංස්කෘතිය සමඟ බහුජාතික සංස්ථා ධනවාදයෙහි ගැළපීමක් සිදුවී ඇති බව ද පෙන්වා දෙද්දී විවිධ සංස්කෘතීන් තුළ ඇති මූලික අංග හුවමාරු වීමක් ලෙස සමහර උගත්තු දක්වති. මෙම තර්කය සනාථ කිරීම සඳහා බටහිර සංස්කෘතියට බටහිර නොවන සංස්කෘතීන්ගේ බලපෑම මතුකර දක්වන ඔව්හු ලෝක සංස්කෘතිය, බටහිර නොවන (ලතින් ඇමෙරිකාවේ ටෙලිනවකථා, ජපානයේ ඇතිමේ සහ ඉන්දියාවේ බොලිවුඩ් පුරයෙහි) රූපවාහිනී හා සිනමා (ඉස්ලාම් හා බුදුදහම වැනි) ආගම්, ඇඳුම් පැලඳුම් හා ආහාර මඟින් බටහිර සංස්කෘතියට ඇතිකර ඇති පමණ බලපෑමක් බටහිර සංස්කෘතිය මඟින් වෙනත් කිසිදු සංස්කෘතියකට සිදුකර නොමැති බව නිදසුන් කොට දක්වති.

මෙම තත්ත්වය පැහැදිලි කරන තිර්ජුන් අප්පදුරේ වැනි විචාරකයන් කියා සිටින්නේ ගෝලීය අන්තර් ක්‍රියාකාරිත්වය තුළ අද ඇතිවී තිබෙන ප්‍රධානතම අර්බුදය වන්නේ සංස්කෘතික සමරූපකරණය හා විෂමරූපීකරණය අතර දිනෙන් දින උග්‍ර වන ආතතිය බව පෙන්වා දෙති.

සමරූපීකරණය පිළිබඳව තර්කනයේදී ප්‍රධාන ගැටලු දෙකක් මතු වී තිබේ. ඒවානම්,

සිදුවන්නේ ද? නැත්ද? නැතහොත් යහපත් ද? නැත්ද? යන්නයි.

මේ පිළිබඳ විමසන ජෝන් ටොමිලින්සන් නම් කලා විචාරකයා “සංස්කෘතික විවිධත්වය නැතිවීම පිළිබඳව කම්පා විය යුතු නැති බවත් ගෝලීයකරණය මඟින් “මම තත්ත්වය උදාවී ඇති බව”ත් පවසයි. කෙසේ වෙතත් මෙමඟින් අයහපතක් නොවන බව පවසන ඔහු සංස්කෘතික විවිධත්වයේ යහපත් අංග එමඟින් ඔප්නැංවෙන බව පවසයි.

මෙයට වෙනස් විකල්ප මතයක් දරන අප්පදුරේ “සමරූපීකරණය ඇමෙරිකානුකරණය හෝ පාරිභෝගිකරණය ලෙසින් සමහරු තර්ක කරනවා. එහෙත් මෙලෙස තර්ක කරන පුද්ගලයන් අමතක කරන ප්‍රධාන කරුණක් තිබෙනවා. එනම් දැන් බිහිවන නව මහ නගර මඟින් ඇතිකරන නව සමාජ බලවේගය ස්වදේශකරණය ලෙස හඳුන්වන්නට හැකියාව තිබෙනවා.

“මෙම ස්වදේශීකරණයෙහි සැබෑ ස්වරූපය හඳුනා ගැනීමට සොයා ගැනීම් තවත් රාශියක් සිදුකළ යුතුයි. එසේ වුවත් නිදසුන් ලෙස ජාවා දූපත්වලත් ශ්‍රී ලංකාවේත් සිදුවී ඇති ස්වදේශීකරණයත් ඇමෙරිකානුකරණය විකල්පයක් ලෙස මතුවී පවතිනවා” ඔහු කීය.

සමරූපීකරණයට බොහෝ විවේචන එල්ල වුවද, අධ්‍යාපන වැනි ක්ෂේත්‍රවලදී එමඟින් මහත් පලදායක සේවාවක් සිදුවන බව බොහෝ විචාරකයෝ පවසති. විශාල ජනකායකට එක් ආකාරයක අධ්‍යාපනයක් දීම වැනි කරුණුවලින් එය පැහැදිලි වේ.

Comments