පොදෙනුත් ගසා කෑ ජල මණ්ඩලේ වතුර හොරු | Page 3 | සිළුමිණ

පොදෙනුත් ගසා කෑ ජල මණ්ඩලේ වතුර හොරු

 

*ව්‍යාපෘතියට 4% ඉතිරි 96% සුපිරි සුඛ විහරණයට

*ජල නළ එළීම වෙනුවට ලක්ෂ 10ක ජංගම දුරකථන අරන්

*ගිවිසුම් අස්සන් කරන්නත් කලින් උප-කොන්ත්‍රාත්කරුට මුදල් ගෙවලා

*මණ්ඩලයත් උප-කොන්ත්‍රාත් වැඩ කරලා

පාසලේ සමාජ අධ්‍යයනය පාඩමේදී අපට උගන්වා ඇත්තේ මිනිසාගේ මූලික අවශ්‍යතා අතර මුල් තැනක් ගන්නේ ජලය, ආහාර, ඇඳුම් හා නිවාස බවයි. ඒ අවශ්‍යතා අතර ජලය මුල් තැනටම පැමිණ ඇති බව මේ අනුව අපට පෙනෙනවා. ජලයට මේ තරම් වටිනාකමක් ලැබෙන්නේ ඇයි? ආහාර නැතිව දින ගණනාවක් වුව සිටින්නට හැකි වුවත් ජලය නැතිව දිනක් පවා සිටිය නොහැකියි. විජලනයෙන් ඒ තැනැත්තා මිය යෑම පවා සිදු වන්න පුළුවන්. පානීය අවශ්‍යතාවට පමණක් නොව, නෑම රෙදි සේදීම ඇතුළු අනෙකුත් සියලු අවශ්‍යතා සඳහා ජලය අත්‍යවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ නිසා ඕනෑම රටක් ජලයට මුල් තැනක් දී කටයුතු කරනවා.

ඇතැම් රටවල පානීය ජලය බෝතල් මඟින්ම ලබා දෙන්නේ ජනතාවට පිරිසුදු ජලයම සැපයිය යුතු නිසයි. අපේ රටේද නළ ජලය ලබා දීමට පියවර ගෙන ඇතත් ඒ නාගරික පන්තියේ සුළු පිරිසකට පමණයි. හැමදාම තැළෙන්නේ පොඩි වෙන්නේ පොඩි මිනිහා නිසා බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට වැව් ජලය හැරෙන්නට තිබුණේ අහස් දිය පමණයි.

කොහොම වුණත් අර්ධ නාගරික ප්‍රදේශවල ජනතාවත් දැඩි පීඩනයකට පත්ව සිටියා. ඈත දුෂ්කර ප්‍රදේශවලට ජල සම්පාදනය කිරීම පිණිස මහා පරිමාණ ජල ව්‍යාපෘති ක්‍රියාත්මක වෙද්දී ජල සම්පාදන මණ්ඩලයට මීට වසර කිහිපයකට පෙර සිටම අර්ධ නාගරික ප්‍රදේශවල ජනතාවට නළ ජල පහසුකම් සැලසීමට ලෝක බැංකුව හා දේශීය බැංකු ඇතුළු මූල්‍ය ආයතන අනුග්‍රහයෙන් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා.

එහෙත් ජනතාව බලාපොරොත්තු වූ පරිදි මේ ජල සම්පාදන යෝජනා ක්‍රියාත්මක වුණේ නැහැ. තමන්ට ජලය ලැබෙන බව පැවසුවත් වසර ගණනාවකින් ඒ බලාපොරොත්තු ඉටු නොවූ නිසා ජනතාව ඒ සම්බන්ධව සොයා බලන්නට වුණා. විශේෂයෙන් ශ්‍රී ලංකාවෙන් වැඩි කොටසක් ආවරණය වන පරිදි යෝජනා වූ මේ ජල ව්‍යාපෘති නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සම්බන්ධව අග්‍රාමාත්‍ය කාර්යාලයට පවා පෙත්සම් ගලා එන්න වුණා. මේ සම්බන්ධව වැඩි අවධානයෙන් සොයා බලන්න වූයේ එතැන් සිටයි. දැන් බළලුන් මල්ලෙන් එළියට එන්නට පටන්ගෙන ඇත.

ජාතික ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරන ලද බොහෝ ජල ව්‍යාපෘතිවලින් ජනතාවට ජලය සපයනවා වෙනුවට ජනතාවට කොකා පෙන්වා මඬිය තර කරගන්න කටයුතු කර ඇති බවට දැන් කරුණු වාර්තා වෙමින් තිබෙනවා.

වි‍ශේෂ ජල ව්‍යාපෘති 15ක්

අම්පාර දිස්ත්‍රික්කයේ බක්මිටියාව ගමේ ජනතාව බොන්නට වතුර පොදක් නැතිව වැලි හාරමින් ජලය සොයන සේයාරූ පවා අපට පසුගිය දිනවල දැකගන්න ලැබුණා. ජනතාව එවන් අපා දුක් විඳිද්දී ජනතාවට සෙත පිණිස ක්‍රියාත්මක කිරීමට යෝජිත වූ ජල ව්‍යාපෘතිවලින් ගසාකෑවා නම් ඔවුන්ට දිය යුතු දඬුවම කුමක්ද යන ප්‍රශ්නයද ඉතිරිව තිබෙනවා.

මේ ගසාකෑම් සිදුව ඇතැයි පැවසෙන ජල ව්‍යාපෘති අතර අම්පාර 3 ජල ව්‍යාපෘතියක්ද වනවා. ජනතාව වැලි හාරා වතුර සොයද්දී තමන් නයිට් ක්ලබ් යන්න සුපිරි රථ ගන්න මේ ජනතා මුදල් ගසාකෑවා නම් ඔවුන් ගැන දෛවයම බලාගන්නවා ඇත.

දැනට වාර්තා වී ඇති පරිදි ප්‍රධාන වශයෙන් ජල යෝජනා ක්‍රම 15ක් දිවයින පුරා ක්‍රියාත්මක වී ඇති අතර, මේ ව්‍යාපෘති අතුරින් රැසක්ම විශාල ලෙස මුදල් අවභාවිත කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

විශේෂයෙන්ම ඇස්තමේන්තුගත වියදම්වලට වඩා අතිරේක ලෙස අතිවිශාල ලෙසින් වියදම් කිරීම සම්බන්ධව මේ වන විට විගණන විමසුම් පවා පැමිණ තිබෙනවා.

වැඩි ඇස්තමේන්තුවට සාධාරණ හේතු නෑ

මෙහිදී විශේෂ වශයෙන්ම කරළියට පැමිණ ඇති ව්‍යාපෘති කිහිපයක් කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ඒ අතර ජාතික ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලය විසින් ගම්පහ, අත්තනගල්ල, මිනුවන්ගොඩ සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ක්‍රියාත්මක කිරීමට යෝජනා වූ ජල ව්‍යාපෘති රැසකි.

එසේම කොළඹ නගර ජල සම්පාදන අදියර 1 යෝජනා ක්‍රමයද මෙහිලා මුදල් අවභාවිත කරල ලද තවත් ව්‍යාපෘතියක් ලෙස මේ වන විට කරළියට පැමිණෙමින් තිබෙනවා.

කෙසේ හෝ මේ ව්‍යාපෘති 15 සඳහා රුපියල් මිලියන 51,597ක් (රු. 51297,287,344) වෙන් කර තිබෙනවා. එයින් ව්‍යාපෘති 4ක් සඳහා අත්තිකාරම් වශයෙන් රුපියල් මිලියන 2027ක් (රු. 2027,172,077) ගෙවා තිබෙනවා.

මේ අතුරින් දුෂ්කර ප්‍රදේශවලට ජලය සැපයීම සඳහා වන ව්‍යාපෘතියක් වන අම්පාර ජල සම්පාදන අදියර 3 යටතේ ජනතාවට සේවය ඉටු කළාද යන පැනය අපට පමණක් නොව මේ කතාව කියවන ඕනෑම අයකුට මතු වන්න පුළුවන්.

විශේෂයෙන්ම අම්පාර ජල සම්පාදන 3 ව්‍යාපෘතිය සහ කොළඹ නගර ජලසම්පාදන අදියර 1 යටතේ ගනුදෙනු කිරීමේදී ජල සම්පත් මණ්ඩලයේ චක්‍රලේඛ, Rate Book, වෙළෙඳපොළ මිල ගණන් ආදිය පරීක්ෂා කර බැලීමේදී වැඩිපුර ඇස්තමේන්තු කර ඇති මුදල් සාධාරණීකරණය කිරීමට නොහැකි බව පෙනී යනවා.

අම්පාර ජලසම්පාදන අදියර 3 ව්‍යාපෘතිය සඳහා කොන්ත්‍රාත්තුව දී ඇත්තේ 'සන් පවර් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ්' ආයතනයටයි. ඒ කොන්ත්‍රාත් අංක P&P/D&B/LBP/Ampara/2013/01 යටතේයි. කොන්ත්‍රාත්තුව නිම කළ යුතු කාලය මාස 15ක් ලෙස දක්වා තිබෙනවා. එහි ඉංජිනේරු ඇස්තමේන්තු වටිනාකම වන්නේ රුපියල් මිලියන 3000කි. එහෙත් කොන්ත්‍රාත් වටිනාකම වී ඇත්තේ රුපියල් මිලියන 684කි (රු. 6848,060,750.00).

ජල නළ එළීම දෙගුණයකින් වැඩි වෙලා

මෙය කෙසේ සිදු වුණිද යන ප්‍රශ්නය එක් පැත්තකින් අපට ඉතිරිව තිබෙනවා. ඇස්තමේන්තු වටිනාකමට වඩා යම් වැඩි වීමක් තිබෙන්න පුළුවන්. එහෙත් එමෙන් දෙගුණයකටත් අධික වටිනාකමක් කොන්ත්‍රාත් වටිනාකම වූයේ කෙසේද? කෙසේ වුවත් මෙහිලා සිදුව සැක සහිත ගනුදෙනු දූෂණ වංචා දැන් එළියට එමින් තිබෙනවා.

විශේෂයෙන්ම අම්පාර ජල යෝජනා ක්‍රමය අනුව නළ එළීම කළ යුත්තේ දික් මීටර් 527096ක් සඳහා වුවත්, කොන්ත්‍රාත්තුවේ සඳහන් වන්නේ මීටර් 1119330ක දුරක් සඳහා නළ එළනු ලබන බවයි. ඒ අනුව ජල නළ එළනු ලබන ප්‍රමාණයට වඩා 100%කටත් අධික තවත් දුර ප්‍රමාණයක් ගෙවීම් සඳහා ඉදිරිපත්ව තිබෙනවා. ඒ දුර මීටර් 592234ක් ලෙසයි දැනගන්න ඇත්තේ. ඒ දුරටද නළ ජලය එළුවා නම් අද බක්මිටියාවේ ජනතාවට වැව් පතුල හාරා බොන්නට වතුර ගන්න සිදු වන්නේ නැහැ.

එසේම අම්පාර යෝජනා ක්‍රමයේ දී නිල නිවෙසක් සාදන්නට රුපියල් මිලියන 310කට ආසන්න මුදලක් (රු. 309774665.00) වෙන් කර තිබෙන නමුත් වෙළෙඳපොළ වටිනාකම අනුව එම තත්ත්වයේ නිල නිවෙසක් සඳහා වටිනාකම වන්නේ රුපියල් මිලියන 124ක් (රුපියල් 124750410.00) බව පැවසෙනවා. එයද පෙර මෙන්ම අධික වැඩි වීමකි. ප්‍රතිශතයක් ලෙස කියනවා නම් දෙගුණයක් නොව, සියයට 250ක් මිල අධික වීමකි.

මේ මිල ගණන්ද සුළු පටු නොවන අතර, මිලියන කෝටි ගණන් බවද පෙන්වා දිය යුතු වනවා. මීට අමතරව නිලධාරීන් කිහිප දෙනකුට ජංගම දුරකතන මිල දී ගැනීමටද අතිවිශාල මුදලක් වෙන් කරගෙන තිබෙනවා. ඒ මුදල රුපියල් 1548000.00ක් බවයි වාර්තා වෙන්නේ. මෙසේ අධික මුදලක් දුරකතන සඳහා වෙන් කර ඇත්තේ ජල සම්පත් මණ්ඩලයේ ක්‍රියාත්මක 2012.02.09 දිනැති චක්‍ර ලේඛ අංක AGM/DDC/Document Circulr/02 යටතේ ජංගම දුරකතනයකට වැය කළ හැකි උපරිම මුදල රුපියල් 25000.00ක් බවට පෙන්වා දී තිබියදීය. කෙසේ වුවත් මේ ජංගම දුරකතන මගඩියෙන්ද රුපියල් මිලියනකට ආසන්න මුදලක් වැඩිපුර පෙන්වා දී ඇති බව වාර්තා වෙනවා (රු. 948000.00).

මේ අප කතා කළේ එක් ව්‍යාපෘතියකදී සිදු කරන ලද කෙරුම් කිහිපයක් ගැන පමණයි. සෙසු ව්‍යාපෘතිවලින් සිදු කර ඇත්තේද මේ හා සමානම කෙරුවාවන්ය.

විශේෂයෙන්ම කොළඹ නගර ජලසම්පාදන අදියර 1 ක්‍රියාත්මක කිරීමට 'වී.වී. කරුණාරත්න ඇන්ඩ් කොම්පැනි' සමාගමට කොන්ත්‍රාත්තුව බාර දී ඇති අතර රුපියල් 1501010332.00ක් වැඩි පුර ඇස්තමේන්තු කර ඇති අතර, එහිදී කිසිසේත්ම සාධාරණය කළ නොහැකි ලෙසින් රුපියල් 478325000.00ක මුදලක් පෙන්නුම් කර ඇති බවට පෙත්සම් ලැබී ඇත.

මේ ව්‍යාපෘති සඳහා ලෝක බැංකු ආධාරවලට අමතරව දේශීය බැංකු වන ලංකා බැංකුව, එන්ඩීබී හා ඩීඑෆ් සීසී බැංකු මඟින් වසර 15ක කාලයක් සඳහා ගෙවීමට ණය ලබා ගෙන ඇත.

අම්පාර ජල ව්‍යාපෘති 3 සහ කොළඹ ජල සම්පාදන ව්‍යාපෘති 01 ට අමතරව ව ගම්පහ, අත්තනගල්ල, මිනුවන්ගොඩ, මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට යෝජනා වූ ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමය සම්බන්ධවද මේ වන විට විගණන විමසුමක් පැමිණ ඇත.

2016 වසරේ ජනවාරි 06 වැනිදායින් යුත් අංක WSS/A/NWSDB/2016/AQ-02 දරන මේ විගණන විමසුම මඟින් විමසා ඇත්තේද අධික වශයෙන් ඇස්තමේන්තුවලට වඩා වෙන් කරන ලද මුදල් පිළිබඳවයි.

එහිදී ඇමරිකානු ඩොලර් මිලියන 172ක් ඇස්මේන්තුගත කර ඇති අතර (ආසන්න වශයෙන් රු. මිලියන 25800) කොන්ත්‍රාත් වටිනාකම ලෙස දක්වා ඇත්තේ ඇමරිකන් ඩොලර් මිලියන 250කි. එනම් ආසන්න වශයෙන් රුපියල් මිලියන 37500 කි. මේ අනුව රුපියල් මිලියන 11700 ක් පමණ කොන්ත්‍රාත් ඇස්තමේන්තුව වැඩිවී ඇති බව පෙනේ. මේ සම්බන්ධව විගණකාධිපති විමසුමෙන් කරුණු විමසා තිබෙනවා

එසේම ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලය මේ කොන්ත්‍රාත්තුව 'චයිනා මැෂිනරි ඉංජිනියරින් කෝපරේෂන්' සමාගමට පැවරීමට අනුමැතිය ඉල්ලා තිබුණා.

එහෙත් උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය හෙවත් සෙමා ආයතනය මේ අමාත්‍ය මණ්ඩල සංදේශය පිළිබදව කරුණු දක්වමින් එදා පවසා ඇත්තේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ව්‍යාපෘති අංක 1 සිදු කළ 'චයිනා මැෂිනරි ඉංජිනියරින් කෝපරේෂන්' සමාගමේ ක්‍රියා පිළිවෙළ සම්බන්ධව යළිත් සොයා බලන ලෙසයි. එම සමාගමේ ඉඳි කිරීමක් වන නොරොච්චෝල බලාගාරය නිසා විදුලිබල මණ්ඩලය උග්‍ර අර්බුදයකට මුහුණ පා ඇති බවද සෙමා ආයතනය විසින් කරුණු දක්වා තිබෙනවා. එම නිසා විදුලිබල මණ්ඩලය මුහුණ පා ඇති අපහසුතා සැලකිල්ලට ගෙන අදාළ සමාගමට කොන්ත්‍රාත්තුව ලබා දීම සම්බන්ධව යළිත් වරක් සිතා බලන ලෙස දන්වා තිබෙනවා.

මෙසේ විශේෂිත කර කරුණු දක්වා ඇතත් ජාතික ජල සම්පාදන හා ජල සම්පත් මණ්ඩලය ඒ සම්බන්ධව අවධානයක් යොමු කර නැති බව අපට පැහැදිලියි.

එපමණක් නොව, නිවැරැදි ක්‍රමවේදයක් අනුගමනය කරමින් විනිවිදබවකින් කොන්ත්‍රාත්කරු තෝරා නොගත් බවටයි මේ වන විට කරුණු වාර්තා වී තිබෙන්නේ. විශේෂයෙන්ම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයා ගැනීමටත් පෙරම 2013 වසරේ මැයි මස 15 වැනිදා කඩිමුඩියේ කොන්ත්‍රාත්කරු සමඟ ගිවිසුම් අස්සන් කර තිබෙනවා. එයද සැකයට භාජන වීම ඉතා සාධාරණය.

මේ සම්බන්ධයෙන්ද විගණන විමසුමෙන් විමසා තිබෙනවා. මෙහිදී විශේෂ කරුණ වන්නේ චයිනා එක්සීම් බැංකුවෙන් මුදල් සපයාගැනීමට අදහස් කර තිබුණද විගණන දිනය වන විටත් ඒ සඳහා වන ගිවිසුම් අස්සන් කර නැති බව වාර්තා වීමයි. මෙය කොන්ත්‍රාත් බාරදීම හා සම්බන්ධව විශේෂ අවස්ථාවක් ලෙසයි හඳුන්වා දිය හැක්කේ.

එපමණක් නොව, අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් තොරව බාහිර ගෙවීම් රැසක්ම සිදු කර ඇති බවටත් මේ වන විට කරුණු වාර්තා වී තිබෙනවා. මෙහි පුදුමය වන්නේ මුදල් ලබා දී ඇත්තේ ජල සම්පාදන ව්‍යාපෘතිවලට වුවත් එයින් 96%ක්ම තම සුඛ විහරණයට අදාළ නිලධාරීන් හෝ මේ සම්බන්ධ පුද්ගලයන් විසින් යොදාගනු ලැබ තිබීමයි.

මේ සඳහා හොඳම උදාහරණය වන්නේ 2014 වර්ෂයේ ලබා දුන් රුපියල් මිලියන 100න් රු. 4455920.00ක් පමණක් ජල සම්පාදන ව්‍යාපෘති සඳහා වැය කර, රු. 95544080.00ක් පරිබාහිර වියදම් සඳහා යොදාගැනීමට කටයුතු කිරීමයි.

මේ අපරාධවලට නීතියට පෙර ස්වභාවධර්මයා විසින් දඬුවම් දෙනු ඇතැයි ඇත්තෙන්ම අපට සිතාගැන්මට පුළුවන්. එසේම අදාළ සමාගමට බාර දුන් මේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවෙන් උප-කොන්ත්‍රාත්තුවක් යළිත් ජලාපවාහන හා ජල සම්පත් මණ්ඩලයටම පවරා දී තිබෙනවා. එයින්ද අදාළ සමාගම අයුතු ලාභයක් උපයා ඇති බව සිතාගැන්මට පුළුවන්.

මිලියන 64ක් ඒ සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට ගෙවා ඇතත් උප-කොන්ත්‍රාත්තුවක් ලෙස එලෙස මුදල් ගෙවීමේදී ගිවිසුම් අස්සන් කිරීමට පෙර මුදල් ගෙවා ඇති බව වාර්තා වෙනවා. කිසිදු සමාගමක් එසේ පූර්ව මුදල් ගෙවීමක් සිදු කරන්නේ නැහැ. මේ අනුව මේ ව්‍යාපෘතීන්ට අයත් බොහෝ ගනුදෙනු සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව අමුතුම ආකාරයකට සිදුව ඇති බවයි පෙනී යන්නේ. ඒ එකදු ක්‍රමවේදයක් හෝ අනුමතය රජයේ ක්‍රමවේදයන්ට අයත් නොවන බව පැහැදිලියි.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ මේ ඒකාබද්ධ ව්‍යාපෘතියට ලබා දුන් රු. 2044350.00ක් වටිනා පයිප්ප තොරගයක් නිට්ටඹුව ජලාපවාහන හා ජල සම්පත් මණ්ඩලයට අයත් ගබඩාවක තිබී හමු වුණා. ඒ, 2015 වසරේ සැප්තැම්බර් 30 වැනිදායි. එසේම මේ ව්‍යාපෘතියේ වැටුප් ලෙසින් ගෙවන ලද රුපියල් 5630570.00ක් විගණනයට හසුව නැති බවත් විගණකාධිපති වාර්තාවේ දැක්වෙනවා. මේ වැටුප් ගෙවීමේ ක්‍රමවේදයේ නිරවද්‍යතාවක් නොමැති බවයි එයින් වාර්තා වන්නේ.

මේ අප හෙළි කෙළේ ජල ව්‍යාපෘති සම්බන්ධ කරුණු කිහිපයක් පමණයි. දීර්ඝ විස්තරාත්මකව සති ගණනාවක් ඒ ගැන වෙන් වශයෙන් කරුණු දක්වන්නට පුළුවන්. එහෙත් සොරුන් හෝ වංචාකරුවන්ගෙන් පරිස්සම් වීම මෙන්ම ඔවුන් ගැන රටට හෙළි කිරීමේ මාධ්‍යයේ වගකීම පමණක් අප ඉටු කළා.

මඳක් සිතා බලන්න, අද වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල ජනතාවද වතුර නැතිව අපා දුක් විඳිනවා. කොළඹ රැකියා පිණිස පැමිණෙන බොහෝ දෙනා තම කාර්යාලවලට ඇඳුම් රැගෙන එමින් දිය නාගෙන යාමටද පුරුදුව සිටින්නේ මේ ජලය නොමැතිකම නිසාය. ඔවුන්ට දිනකට එක් අයකුට ලැබෙන්නේ ලීටර් 6කි. ඒ ලීටර් 6ද පරිස්සමින් පරිහරණය කළ යුතු වනවා. බවුසර් මඟින් මේ ජලය සැපයීම මේ දිනවල කරන්නේ ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලද ප්‍රදේශ කිහිපයක වීම මෙහි තවත් අරුමයක් වනවා.

මේ ජනතාවගේ අපා දුක්ය. බක්මිටියාවේ තවමත් වැව් පතුල් හාරනවා. එහෙත් අපේ නිලධාරීන් ජලයේ මුවාවෙන් සුර සැප විඳිනවා වන්න පුළුවන. ගැටලුව වන්නේ ඒ ඔවුන් සුර සැප විඳින්නේ ඔවුන්ගේ මුදලින් නොවීමයි. දහඩිය මහන්සියෙන් හරි හම්බ කරගත් මුදලින්ද නොවේ; අම්පාර ඇතුළු ප්‍රදේශවල දහඩිය වගුරුවමින් හරි හම්බ කරන ගැමියන්ගේ කර මතිනි; ඔවුන්ට දිය පොදක් ලබා දෙන්නට ලැබුණු මුදලිනි.

මේ අවභාවිත කරන ලද මුදල්ද එකතු ඛලා නම් අපට විශාල ව්‍යාපෘති රැසක්ම ක්‍රියාවට නංවන්නට තිබුණා. නමුත් එවැන්නක් සිදුවන බවක් නම් පෙනෙන්නට නම් නැහැ. මේ දිනවල වැස්ස නැත. එහෙත් මේ ලිපිය කියවූ අසාධාරණයට ලක් වූ වැසියන් 'වැහි නැති යමක්' මේ ගසා කැ පුද්ගලයන්ට ලබා දෙන්නැයි ඉල්ලන බව නම් සැබෑවමක්මය.

 

Comments