දැදිගම පුංචි මහත්තයාෙග් කතා | Page 2 | සිළුමිණ

දැදිගම පුංචි මහත්තයාෙග් කතා

දැදිගම ආසනයේ පිටිසරබද ගමකට විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරිණි. එම ගමේ බොහෝ දෙනා විරුද්ධ පාක්ෂිකයෝ වූහ. විදුලිය විවෘත කිරීමේ උලෙළ සංවිධාන කිරීම සඳහා ඇමැති කාර්ය මණ්ඩලයේ කීප දෙනෙක් එහි ගියහ. සිදු වූයේ සිහිනයකින් හෝ සිතා ගන්නට බැරි වූ දෙයකි. මොවුන් ඉදිරියට පැමිණි ගම්වැසියෝ කීප දෙනෙක් අපිට පුංචි මහත්තයගේ විදුලිය ඕනැ නෑ අපි අපේ ආණ්ඩුවක් ආපු දවසක ලයිට් ගන්නම් යැයි කීහ. නිලධාරිහු මුහුණට මුහුණ බලා ගත්හ. ගම්වාසින්ට කරුණු පහදා දෙන්නට උත්සාහ කළද ඵලක් නැත. ඔව්හු එතරම්ම පක්ෂ දේශපාලනයෙන් දෑස් අන්ධ කැරගෙන සිටිති.

සිදුවූ සිද්ධිය පිළිබඳ ඇමැතිතුමා දැනුවත් කිරීමෙන් පසුව විදුලිය ව්‍යාපෘතිය විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සංවිධාන කෙරිණි. ඒ සඳහා චාම් උත්සවයක් පැවැත්වීමටත් සංවිධායකයෝ තීන්දු කළහ. නියමිත දින එළිඹියේ ය. එහි පැමිණි ඇමැතිවරයා විදුලි ව්‍යාපෘතිය විවෘත කළේ ය. අනතුරුව පැවැතියේ චාම් උත්සව සභාවයි. මේ උත්සව සභාව ඇමතූ ඇමැතිවරයා මෙසේ ද කීවේ ය.

මිත්‍රවරුනි, ලංකාවේ සෑම ගමකට ම විදුලිය ලබාදීමේ අපේ රජයේ වැඩපිළිවෙළ යටතේ මේ ගමටත් විදුලිය ලබාදීමට අපට හැකියාව ලැබුණා. ඒ පිළිබඳ මා සතුටට පත්වෙනවා. සමහර ගම්වල ජනතාව මට ඇවිත් කරදර කරනවා අපේ ගමට ලයිට් දෙන්න ප්‍රමාද ඇයි කියා. හරියට විජය රජ්ජුරුවන්ගේ කාලේ ඉඳල ලයිට් තිබිලා මේ ඊයේ පෙරේදා කැපුවා වගේ. මම ඒ අයට කියනවා විජය රජ්ජුරුවන්ගේ කාලේ ඉඳලා ඉවසුවා නම් තව මාස කීපයක් ඉවසන්න කියලා.

මිත්‍රවරුනි, සමහර උදවියට ලයිට් දුන්නා ම පුංචි මහත්තයාගේ ලයිට් එපා කියනවලු. මම ඒ අයට කියන්න කැමතියි පුංචි මහත්තයා නිල් වුණාට අපි දෙන විදුලියෙන් පත්තු වෙන්නේ නිල් පාට බල්බ් විතරක් නොවේ. කොළපාට රතුපාට හෝ ඕනෑ ම පාටක බල්බ් පත්තු කැර ගත හැකියි. තමන් කැමැති තමන් කැමැති පාටින් ම පමණක් බල්බ් පත්තු කැර ගත හැකියි ගේ පුරාමත් වත්ත පුරාමත් දින තුන්සිය හැට පහේ ම එසේ පත්තු කරගෙන සිටියාට අපට ප්‍රශ්නයක් නැති බවත් කිව යුතුයි.

 

Comments