කාන්තා ජගත් ක්‍රිකට් කිරුළට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි | සිළුමිණ

කාන්තා ජගත් ක්‍රිකට් කිරුළට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි

ප්‍රශාන්ත ඇල්පිටිය

කාන්තා එක්දින ජාත්‍යන්තර 2017 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන ජූනි මස 24 සිට ජූලි 23 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. එහි සත්කාරකත්වය ක්‍රිකට් උපන් රට වන එංගලන්තය විසින් මෙවර දරනු ලබයි.

ඒ සඳහා රටවල් 08 ක් මෙවර සහභාගි වේ. ඒ අතරින් එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් මීට පෙර සුදුසුකම් ලබා සිටියේය.

සෙසු රටවල් සතර තෝරා ගැනීම සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් පසුගිය දිනවලදී පැවැත්වූයේ ශ්‍රී ලංකාවේදීය. ඒ සඳහා රටවල් දහයක් සහභාගි විය. එහි අවසන් තරගය පෙබරවාරි මස 21 වැනිදා පැවැති අතර එහිදී ශූරතාව හිමිකර ගැනීමට ඉන්දියාව සමත් විය. ඒ අවසන් තරගයේදී දකුණු අප්‍රිකාව කඩුල්ලකින් පරාජය කරමිනි.

ඒ අනුව මෙම දෙරටට අමතරව ශ්‍රී ලංකාව සහ පාකිස්තානයත් මේ තරගාවලියේදී දැක්වූ දස්කම් මත ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ඉන්දියාව මෙම තරගාවලියේදී ඔවුන් සහභාගි වූ සියලුම තරග ජය ගැනීමට සමත් විය. මේ අතර දකුණු අප්‍රිකාව පරාජයට පත් වූ තරග දෙකම ඉන්දියාව හමුවේ විය.

ශ්‍රී ලංකාවත් පරාජයට පත් වූයේ තරග දෙකක් පමණි. ඒ මුල් වටයේදී ඉන්දියාවට සහ සුපර් සික්ස් වටයේදී දකුණු අප්‍රිකාවටය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරිතම තරුව වන ශෂිකලා සිරිවර්ධන නොමැතිව මෙසේ දස්කම් දැක්වීම අගය කළ යුතුය. එහිදී නායිකාව වූ ඉනෝකා රණවීර කණ්ඩායම මැනවින් මෙහෙයවමින් ශ්‍රී ලංකාවේ ඉලක්කය වූ ලෝක කුසලාන වරම හිමිකර ගැනීම කරා පිල රැගෙන යාමට සමත් වූවාය.

තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කාන්තා පිල.

 

 

ඉනෝකා රණවීර (නායිකාව), ඉනෝෂි ප්‍රියදර්ශනී, නිපුණි හංසිකා, චමරි අතපත්තු,

එෂානි ලොකුසූරියගේ, සුගන්ධිකා කුමාරි,

චමරි පොල්ගම්පොල, හර්ෂිතා මාධවී, හෂිනි පෙරේරා, උදේශිකා ප්‍රබෝධනි,

මල්ෂා ශෙහානි, ඩිලානි මනෝදර,ප්‍රසාදනි වීරක්කොඩි, ශ්‍රීපාලි වීරක්කොඩි.

 

 

 

මෙම තරගාවලිය ඇරැඹීමට පෙර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු වූ හේමන්ත දේවප්‍රිය මහතා මෙසේ අදහස් දැක්වීය. "ශ්‍රී ලංකාව මීළඟ ලෝක කුසලානයට සුදුසුකම් ලබයි කියලා විශ්වාසයි. ඉන්දියාව තමයි අපේ කාණ්ඩයේ සිටින අමාරුම පිල.

අපි අවම වශයෙන් තරග තුනක්වත් ජය ගන්න ඕනෑ ඊළඟ වටයට සුදුසුකම් ලබා ගන්නට නම්. අපේ රටේම තරගාවලිය පැවැත්වීම වාසියක් තමයි.

ඒ වගේම එහි අවාසියකුත් තිබෙනවා. ඒ අපි හොඳට කරයි යන බලාපොරොත්තුව නිසා පීඩනයකුත් තිබීම."

මුල් වටය

කෙසේ හෝ එම බලාපොරොත්තුව ඉටුකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. මෙම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ මුල් වටයේ තරග පැවැත්වූයේ ඒ සහ බී කාණ්ඩයන් දෙකක් අනුවය. 'ඒ' කාණ්ඩයට ශ්‍රී ලංකාව, ඉන්දියාව, අයර්ලන්තය, සිම්බාබ්වේ සහ තායිලන්තය අයත් විය. 'බී' කාණ්ඩයට දකුණු අප්‍රිකාව, පාකිස්තානය, බංග්ලාදේශය, ස්කොට්ලන්තය සහ පැපුවා නිව් ගිනියා අයත් විය.

මෙම මුල් වටයේදී ඒ ඒ කාණ්ඩයන්හි මුල් ස්ථාන හිමිකර ගත් රටවල් තුන සුපර් සික්ස් වටයට සුදුසුකම් ලැබීය. ඒ අනුව ඉන්දියාව, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, පාකිස්තානය. බංග්ලාදේශය සහ අයර්ලන්තය ඊළඟ වටයට තේරිණි.
 

 

සුපර් සික්ස් වටය

සුපර් සික්ස් වටයේ මුල් ස්ථාන සතර හිිමිකර ගත් රටවල් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේය. එමෙන්ම මුල් ස්ථාන දෙක හිමිකර ගත් රටවල් අතර අවසන් තරගයක් පවත්වා ශූරතාවට කුසලානයක් පිරිනැමීය. තවද මුල් වටයේදී තරග කළ කණ්ඩායම් මෙම වටයේදී තරග කළේ නැත. මුල් වටයේ ප්‍රතිඵලයන් මෙම වටයට අදාළ විය.

  

 
 
 
 

Comments