
ලාංකේය රග්බි පිටියේ පැරැණිතම රග්බි තරගාවලිය වන ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටු දැකීමේ තරගාවලියේ අවසන් මහා තරගය අද මහනුවරදී පැවැත්වේ.
අවසන් පූර්ව තරගවටය සඳහා නාවික හමුදාව - හැව්ලොක්ස් කණ්ඩායම සමඟ තරග කරන අතර පිට පිට පසුගිය දෙවසරේදීම ශූරයන් වූ මහනුවර පසුගිය වසරේ අනුශූරයන් වූ සී. ආර්. සහ එෆ්. සී. සමඟ තරග කරයි. මේ තරග දෙකෙන් ජය ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට පිවිසෙයි.
මෙවර තරගාවලිය ආරම්භ වූයේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලින්ය. එහිදී සී. ආර්. සහ ගුවන් හමුදාව අතර තරගයෙන් 36 - 33 ක තියුණු ජයක් හිමිකර ගැනීමට පසුගිය වසරේ ක්ලිෆර්ඩ් කුසලාන අනුශූරයන් වූ සී. ආර්. කණ්ඩායම සමත් විය.
පසුගිය වසරේ ශූරයන් වූ මහනුවර කණ්ඩායම අර්ධ අවසන් පූර්ව තරගයේදී තරග වැදුණේ සී. එච්. සහ එෆ්. සී. කණ්ඩායම සමඟිිනි. එහිදී 121 - 3 ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට මහනුවර සමත් විය. තෙවැනි අවසන් පූර්ව තරගයේදී 35 - 25 ක් ලෙස නාවික හමුදාව විසින් යුද හමුදාව පරාජය කළේය. සිවුවැනි අවසන් පූර්ව තරගයේදී මෙවර ලීග් රග්බි තරගාවලියේ අනුශූරයන් වූ හැව්ලොක්ස් 46 ට 28 ක් ලෙස පොලිස් කණ්ඩායම පරාජය කළේය.
1911 දී ආරම්භ වූ ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගාවලිය 1950 දී අන්තර් සමාජ තරගාවලියක් ලෙස පවත්වා තිබේ. එහි මුල්ම ජය හිමිකර ගෙන තිබෙන්නේ හැව්ලොක්ස් කණ්ඩායමයි. ඉන් පසු අසූව දශකයේ මැද භාගයේ මෙකී තරගාවලිය පිළිමළුන් පිටු දැකීමේ තරගාවලියක් ලෙස පවත්වා ඇති අතර, එහිදී පොලිස් කණ්ඩායම හැව්ලොක්ස් කණ්ඩායම පරාජය කරමින් ජය හිමිකරගෙන තිබේ.
ක්ලිෆර්ඩ් කුසලානය වැඩිම වතාවක් හිමිකර ගෙන ඇති මහනුවර කණ්ඩායම හාපුරා කියා මෙහි ජය හිමි කර ගෙන ඇත්තේ 1992 දීය. 1995 සිට 2005 දක්වාද, 2007 සිට 2012 දක්වාද අඛණ්ඩව මහනුවර ජය ගෙන තිබේ. මේ අතර මහනුවරට මෙහි ජය අහිමිව ගොස් ඇත්තේ 2006 (සී. ආර්.) සහ 2014 (නාවික) දීය. 1998 සහ 2013 වසර වලදී මෙම තරගාවලිය අත්හිටුවා තිබේ.
මේ අනුව මහනුවර 19 වතාවක්, සී. ආර්. 14 වතාවක් සහ හැව්ලොක්ස් 13 වතාවක් වශයෙන් වැඩිම වාර ගණනක් ක්ලිෆර්ඩ් කුසලානය දිනා ගෙන තිබේ.