
සැනසුම
දුකෙන් තැවුණා වියළි
තුරු ලිය
වේදනා දුක දරා
මිලින වී හිරු සරතැසින් දැඩි
තව තවත් වැලපුණා
සුළං කෝඩෙට ඇඹරි ඇඹරී
මැළ ලපත් බිම පුරා
වලාහක දෙවි කුමාරිය එනු මැනවි
සැනසුම දෙවා
පියසේන එම්. පතිරාජ
යුගයක අරුමැයි
සොඳුරු මිනිසා නුඹම වේ
ගල් කටුව දෑඟිලි තුඩින් ගෙන
නෙළුෑ කැටයම් ඉසුරුමුනියේ
නුඹේ දා බිඳු සුළඟට ද මුසු වී
ගම් දනව් පුරා පැතිරේ
තෙළි තුඩක මැවෙනා සිහින පොද
සිත්තම් කළා නුඹ සීගිරි ගලේ
සඳකඩ පහණ ළඟ නුඹේ පියවර
මැවේ මා හදේ සිතුවමක් සේ
නැඟෙන හිරු කැන් හෙටත් රහසේ
වැව් පලස දෙස පෑ සෙනෙහෙන්
සතුටු වනු ඇත විහග පිරිවර
සිඹින දිය රැලි ඉවුර සේ
මංජුල සෙනෙවිරත්න
වතුසුද්ද මල
සිහිනයේ තුරු හිස මතට
මල් පලදරා ඵල රස නොදී
පලාගිය ඒ වසන්තය ළඟ
වැලපෙනා නුඹ වසන්තී...!
අවලාද කියමින් ගස වටේ යන
සුළඟකින් වුව නොසෙල්වී
හිත හදාගෙන නුඹ නාඩ ඉඳපන්
මක් කරන්නද? වසන්තී...!
ගතු කියන සුදු කෙස් රොදක් ළඟ
හූල්ලනවා සසල වී
වතු සුද්ද මල් පුදසුනට යනවා
පල නොදැරුවත් වසන්තී...!
චාමිකා මුණසිංහ
විඳිති ගංගාවක්
පුලිනතලාවක් හා
පිනි රැඳුණු තණ බිමක් ගැන
කතා නොකරමු මින් පසු
මා කියාදුන්
සිහිනය ගැනත්
ආයෙමත් නො දොඩමු
එහෙම වුණොත්
දුක හටගනී
දුකට හේතුව දැනෙයි
එවිට අප
අපට ම ගොළු වෙයි
ජයසේකර මලවිආරච්චි
තීන්දුව අදයිනේ
දික්කසාදෙට ඔන්න
බුලත් කෙළ පාරක්ය රතුම රතු
වල්ගෙ නැති හූනෙකුගෙ හිසට වට
කැසිකිළියෙ දිය සෙවල බිත්තියක
හපොයි ස්ප්‍රේ කරපු කුණු හරුප
තීන්දුව අදයි දික්කසාදෙට
බාන්වැල්ගැට වතුර ඈ ළයට
කාකයෝ හොට මදිති පිළිම හිස
ගෝදම්බ රොටී වගෙයි වලාකුළු
ගොඩපෙරකදෝරු හිස දිස්නයට
ගිනි කණා වැටිණ වැහිලිහිණි ඇස
ත්‍රීවිලර ඇකයෙ උණහපුළු පුතු
උරණ සැමියා වැටිණ මූඩියක
ගොජදමන බොයිලේරු උණුහුමක
තැම්බිලා ලේ පනින තේ කහට
හදවතකි නන කැඩුණ කුඩේ යට
හිමාලය හොල්ලමින් හූුල්ලන
අළුපුහුල දෙපළු කළ පිහි පහර
සැමන් ටින් නුරාවය බලු කටක
මහල්ලෙක් ලෙඩෙක් මළකඳක් බඳු
මිනිසෙකිය පෙරනිමිති කරට ගත්
හඳෙන් පළුවක් කැපී දියට වට
කටර් අඬුවක සිරව මුරිච්චිය
එකම සිල්පර උඩින් පීලි මත
රූ දෙකකි මීදුමට සින්න වුණ
කුමාර හෙට්ටිආරච්චි
සිත නිවන සිතුවිලි
තම තම නැණ පමණ නිසියුරු හැඳින දැන
සම මෙත් සිතින් පරහට සෙත කළද දන
සුළු මොහොතකින් එදහම් අමතකව යන
ගුණදම් නොදත් සහ නොතකයි කෙළෙහි ගුණ
උකහා නොගෙන සුබ සිතුවිලි අරුත් ගෙන
මැසිවිලි මිසක කොඳ සදහම් දහම් දැන
පහ වී සිතින් පින්බර ගුණ රුවන් මිණ
මතු වී තියේ අවගුණ දුරුජනන් මන
කිසිවිට නොපිහිටන ලොව පිරිසිඳ නුවණ
හරිමඟ නොයන නොමඟට නිති ඇද වැටෙන
නිසි දහමක් නොමැති අය අප’තර සිටින
පින් මඳ සේය සියොලඟ පව් මළ රැඳුණ
ඉසිකෝ මදමාන ලොදහම වෙතැයි කියා
අනෙකෙකු පෙලා වැරදිම තැන් රකින නියා
සුසිරිත මකා දුසිරිත පෙර මගෙහි තියා
මිරිඟුව පසුපසම දිවයයි පහස සොයා
අනත සැපත නොමියන බව සිරස දරා
දිගත සසල දුක හමුවන දිවිය පුරා
පවද පිනද හරි හැටියට නොගෙන පෙරා
නිබඳ දහම නොරැෙඳ් සිත නිවන තුරා
දයාවංශ අබේකෝන්
කිවිඳියගේ සොහොන
ඉමිහිරි පැතුම් සුවහසක්
ළයට තුරුලු කර ගත් කිවිඳිය
නිදන්නී මෙහි
ඇගේ සුනිමල සිහින පැතුම්
ඉගිළ ගොස් ඇත
ඉහළ අනන්තාවකාශයේ මුදුනට
මුළු විශ්වයම අරා
ඒකාත්මිකව
එකම ජීව මණ්ඩලයක්ව
සිනා සෙයි
ඇයගේ ඉටු නොවූ පැතුම්
තුරු ලිය ගොමු අතර
කුසුම් යායක් වී
කුරුලු කූජනයෙන්
බමර ගුම් නදින් ගැයෙන්නේ
ඇයට ලියා ගන්නට නොහැකි වූ
සිතුවිලි සේනාවයි
මහා වර්ෂාවන් වී
ගලා හැලෙන්නේ
හදේ තෙතමනයයි
චන්ද්‍රාණී වික්‍රමසිංහ
ගඟ දිගේ හිත මගේ
යන දිය දහරින් රළ නැංගාවේ
එන සැඩ පහරිනි ගඟ රිංගූවේ
පෙණ බුබුළින් සපිරුණු ගංගාවේ
මොනවද දිය දම ඔබ හැංගූවේ
මින් රළ දිය පීනා යෙති එතෙරට
ඉන් පෙණ කැටි රූටා එති මෙතෙරට
ඉන්නට බැරි හින්දා මැද දෙතෙරට
යන්න ගියා රළ රැළි සැඩ පහරට
උත්තල බෑවුමෙ මංකඩ ඉඳලා
අත් වැල සහ ඉණි දඬු වැට හදලා
අත් පසුරෙන් මේ පාරුව පැදලා
ගත් තොත් ඇති ගඟ දෙතෙරම බැඳලා
ගඟ එක්කයි ‘පාරුව’ පොර බැදුවේ
්‍මග නොදැනයි හබලෙන් වැර යෙදුවේ
දඟ මතු කර කර බාදක හැදුවේ
දිග ගමනක් හින්දද? දිය බිඳුවේ
දෑලේ හිනැහෙන බෝවිටි පඳුරූ
බාලේ මල් පිපී දවසක සොඳුරූ
ආලේ ඉවරව දිය කඳ ඉඳුරූ
නෑලේ හිත දැන් ගඟ ළඟ අඳුරූ
මා දං ඉපලේ කූඩු හැදෙන්නේ
නෑ දැං ඉවුරේ සේරු රැඳෙන්නේ
මේ ගංගාවේ පාරු පැදෙන්නේ
මා හින්දයි ඔබ තාම නොදන්නේ
ජයසිරි රුවන්පතිරණ
ප්‍රේමයේ කැඩපතයි
අහස දෙස බලන්නෙමි
විස්මයෙන් ගල් ගැසී
පොළොව දෙස බලන්නෙමි
මුව අයා පුදුම වී
මේ අහස - මේ පොළොව
මොන තරම් විස්මිත ද?
මොනතරම් ලස්සනද?
අතින් ඇඳි සිතුවමක් තරමටම
සියල්ලම අපූරුයි සුන්දරයි
මැවුම් කරුගේ අතින් ‘මැවිල්ල’ ට
කිසි දොසක් නොසිදු වූ බව සැබැයි
පාන්දර පතිත වන පිනි වැස්ස
මහ පොළොව උරාගෙන දරාගෙන
වියළි බිම සරු කරයි
වැහිදාට සුදු පබළු වැනි බින්දු
විදුලි රේඛා මැදින් ඇද හැෙලයි
මැවුම්කරුගේ හිතේ තෙතමනය
මුදු ගතිය තැවරිලා
හැම ගතම හැම ගතම හැම වැලම
අලුතින් ම පණ ලබයි
ආදම්ට ඒවට මැව් පොළොව
දෙවිඳු අදටත් අපට දී තිබෙයි
ඒදන් උයන සේ විසිතුරු
සරු සාර කෙත් වතු අපට දී
ස්වර්ගයේ ස්වර්ගවල තෙදබලැති ‘මැවුම්කරු’
පුදුම වූ හස්තයෙන් හසුරුවන
මුළු මහත්, විශ්වයම
ප්‍රේමයේ කැඩපතයි
චින්තා බුලත්සිංහල
අහසටත් පිස්සු
බොර වෙමින් දිය පහර වැහිවතුර වැගිරෙනා
පියසි පමනක් පෙනෙන තුරු මුදුන් අතරිනා
අනාථ වු දරු කැලත කුසගින්න අත වනා
ඇදහැලෙන මහ වැස්ස මහ පොළොව හඬවනා
අහසටත් පව් කරන නරන් අමතක වෙනා
අහිංසක දරු පැටව් ගුරු ගෙදර යන එනා
අකුණු සැර පුපුරවා උන් මෙලොව හරමිනා
අව්රැල්ල තිබියදී අහස් දිය උතුරනා
කඳ පෙඟී නාය ගොස් පණ පිටින් මියැදෙනා
පිරිපතින් බරව යන දුගී දන වැලපෙනා
අකුරු පොත් සන්තකේ මඩ වතුරෙ පාවෙනා
ගම් දනව් යට කරන් ගං වේලි ඉතිරෙනා
දිවා කල ගිනි උදුන ඉරු රැසින් කරවෙනා
ය'නෙන දන දුකට දා මුගුරු වැගිරෙනා
රෝ බියෙන් පිරි දනන් රෝහලේ පිරෙමිනා
දුගී දන සැප නොලැබ අයසටම බිලිවෙනා
තැනින් තැන පාට වැහි වට වෙලා බලමිනා
රතෙන් -කොළ- කහපාට වැහි වතුර එක් වෙනා
පුදුමයට පත් දනන් අත නිකට තබමිනා
අහසටත් පිස්සුදැයි අහසින්ම අසමිනා
ජයන්තා රුක්මණි සිරිවර්ධන
(සමනල මරණය කාව්‍ය සංග්රහයෙනි)
යුවතිපති
නෙක පලවැල පිරුණු ගස
ඇදගනුයෙ නෙක සිත්...
කොහේදෝ සිටි ලිය වැලක්
එතුණාය ඒ ගසේ...
ගස ද පල වැලින් බර
වැල ද නෙක මලින් පිරි...
ඇතුළතින් කුමන සිරි
දන්නේ ද කිසි කෙනෙක්...?
ගසේ රුහිරය උරා
හප කළා නපුරු වැල
කේඩෑරි වු ගසකි
එතැන දැන් තිබෙන්නේ...!
සරත් කුමාර වික්‍රමගේ
මතකය
හීන පොදි බැද ඈත ගිය නුඹ
තාම දකිනවා කුඹුක් ගහ ළඟ
සිනහ මල් පිපි පිපී හැඩවුණ
මතකයක ඔබ හිදී මා ළඟ
මාදම් බෝවිටියා පඳුරුවල සිනාව
අහක බලනවා මම කල වරද කිම
බට්ටිත්තන් කිචි බිචි නද දෙන අරණ
තාමත් මතක් කර දෙයි මගේ අතීතය
නිහඬ සිත නිවී ගිය සිනා සඳ
සුසුම් පුබුදා හිතම බර වුණ කල්පය
කාට කියන්නද මේ අසරණකම
මට මාවත් නැතිවී ගිය තරම
දිස්නා උදයංගනී
එතෙර කවිය
හෙට දිනේ මනාලියක් වන නුඹට
දැනෙන විට නුඹට තනියක්
කෑ ගාපන්න... හඬ පන්න
නොහෙළාපන්න කඳුළු බින්දුවක්
කෑ ගාපන්න මොර දී...
හෙට දිනේ මනාලිය වන්නට නුඹ
එන්නීය රෑ ආපසු කම්හලේ සිට
චිරාත් කාලයක් විඳි
දුක් සුසුම් සහ කඳුළුත් අරගෙන
මහ රෑ කළුවරේ...
නුඹේ කට හඬ
පිළිරැව් දෙන්න ඉඩ හැපන්න
නුඹේ ගී ගායනා කරපන්න..
විසල් අත් ඇති
රළු ඉඟැති, ගොරහැඩි මුවැති
දහ අට වියැති නුඹ
හෙට දිනේ මනාලිය
කිම් චී හා
(KIM CHI HA)
දකුණු කොරියානු පීඩිත පන්තියේ රාවය නැංවු ප්‍රමුඛ කවියා මොහුය. මුලදී මරණ දඬුවමට යටත් කර පසුව දිගු කලක් දකුණු කොරියාවේ සිර මැදිරියක සිරගත කරනු ලැබීය.
කොරියානු ජන ජීවිතයේ දුක් වේදනා ඔහුගේ කවියේ ආත්මය විය. ඔහු තම ජනතාවගේ දුක් වේදනා ප්‍රකාශ කිරීම සඳහා තෝරා ගත්තේ කවියයි. මෙහිදී ඔහු තම සාම්ප්‍රදායික සාහිත්‍ය කලා හා නාට්‍යයේ ආභාසය ලබා ගත්තේ ය. කිම් චී හා කවියා ගී ප්‍රබන්ධකයකු හා නාට්‍ය රචකයකු ද වේ.
ධනවාදී අර්ථ ක්‍රමයක් සහිත දකුණු කොරියාවේ දුප්පතුන්ගේ පන්තිය වු පීඩිත පන්තියේ ශෝකාන්තය කියා පාන්නට කවියා තෝරා ගත් මාතෘකාව වස්තු බීජය ඉතා උචිතය. සාමාන්‍යයෙන් ඕනෑම තරුණියක් මනාලියක් වීමේ දී ඒ සඳහා සුදානමක් , පේවීමක් කරන බවද ඒ සඳහා ඇතැම් විට සති මාස ගණන් කාලයක් ගනු ඇත. රැකියාවක් කරණ තරුණියක් නම් අඩු වශයෙන් දින කිහිපයක් වත් ඒ සඳහා සුදානම් වීමට කකාලය අරගනි. එනමුදු මේ කොරියානු තරුණියට එසේ නිවාඩු ගන්නට නොහැකිය.හෙට උදයේ මනාලියක වීමට සිටින ඇයට අද රැයේත් පැය කිහිපයක් වැඩකර මහ කරුවලේ ආපසු ගෙදර එන්නට සිදු වී තිබේ.
ඇය සැබැවින්ම මනාලියක කී පමණින් අප සිතෙහි මැවෙන්නේ සුන්දර අඟපසඟ සහිත ලලනා ලාලිත්‍ය සහිත තරුණියක නොවේ. ඉඟ රළුය. පෙම්වතියන්ගේ මුහුණේ ඇති ප්‍රසන්න හැඩකාර බව ඇගේ රුව තුළින් දැකිය නොහැකිය . ඇය ප්‍රසන්න පෙනුමෙන් තොරය. ඇගේ අත්පා ගොරහැඩිය. ඉදින් මුකුළු පෙම් හිනා ඇගෙන් දැකිය හැකිද? වෙහෙසි වැඩකරන ජීවිතේ දුක් සුසුම් උහුලන ඇගෙන් හෙට දිනයේ නැඹුල් මනාලියකගේ කෙළිලොල් සිනහවන් දැකිය හැකිද? හෙට දිනයේ මනාලියක වන ඇගේ ස්වාභාවය එසේ නම් රටේ සාමාන්‍ය ජනයාගේ ජීවිතය කෙබඳු විය හැකිද? හෙට මනාලියක් ලියමින් කවියා නගන්නේ ඒ ප්රශ්නයයි.
පරිවර්තනය සහ සටහන
කරුණාතිලක හඳුන්පතිරණ