
අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි
අද අප කතා කරන්නේ කේන්තිය එහෙමත් නැත්නම් කෝපය ගැනයි.
කෝපය කියන්නේ මිනිස් මනසේ ඇතිවන හැඟීමක්. ඒ හැඟීම සංස්කරණයකින් තොරව පිට කරන අවස්ථාවක් විදිහට කෝපය හඳුන්වන්න පුළුවන්. ඒක හටගන්නේ අවිද්‍යාව එහෙමත් නැත්නම් නොදන්නාකම, අනවබෝධය නිසයි. ඒ අනුව කෝපය අකුසල සිතිවිල්ලක්. ඒක භෞතිකව දකින්න ලැබෙන්නේ නැහැ. කෝපය දකින්නේ අසන්නා.
• හැසිරෙන විදිහෙන් පෙනෙනවා
කෝපය මානසික සිතිවිල්ලක් වුණත් කෝපාවිෂ්ට පුද්ගලයා බැලූ බැල්මට හඳුනා ගන්න පුළුවන්. ඔහුගේ බාහිර ක්‍රියාකාරකම්වලින් කතා කරන හැසිරෙන විදිහෙන් ඒ බව පැහැදිලි වෙනවා. බොහෝවිට කෝපය පිට වන්නේ ළඟම ඉන්න කෙනා මඟින්.
කෝපය සතරාකාරයි. සමහරුන්ගේ හිතේ කෝපය තියෙනවා වචනවල නැහැ. සමහරුන්ගේ වචනවල කෝපය තියෙනවා හිතේ නැහැ. ඇතැමුන්ගේ කෝපය හිතෙත් තියෙනවා. වචනවලත් තියෙනවා ඇතැමුන්ගේ කෝපය හිතෙත් නැහැ. වචනවලත් නැහැ.
• නොදන්නකමට කෝපවීම
සමහරුන් කෝප ගන්නේ තමන්ගේ දන්නාකම පෙන්වන්නයි. ඒත් ඒකෙන් ඔවුන්ගේ නොදන්නාකම හෙළි වෙනවා. සමහරුන් කෝප ගන්නවා බලපුළුවන්කාරකම පෙන්වන්න. කෝපාවිෂ්ට කෙනෙකුගේ මනසේ ක්‍රියාකාරිත්වය කෝපය විසින් වෙනස් කරනු ලබනවා. මනස නියම පාලනයෙන් මිදෙනවා. හරියට ඇල්කොහොල්වලට මත් වුණා වගෙයි. අනවශ්‍ය දේ කටින් එළියට පනිනවා. කියැවෙනවා. ඒවා පාලනය කරගන්න බැරි වෙනවා.
• කෝප වුණොත් පහළට වැටෙනවා
කෝපය ඇතැම් අයට දැනෙනවා සමහරුන්ට දැනෙන්නේ නැහැ. ඒක භයානකයි. කෙනෙක් කෝප වූ සැණින් තත්ත්වයෙන් පහළට වැටෙනවා. කවුරුත් ගණන් ගන්නේ නැහැ. කෝපවීම හදවත් රෝගවලට අත වැනීමක්. එය දිගුකාලීනව අප කායිකවත් මානසිකවත් පීඩාවේ හෙළනවා.
ඉක්මන් කෝපය ඇතිවීම නිසා තමාට ම තමා එපා වීමේ අවදානමක් පවා තියෙනවා. ඉච්ඡාභංගත්වය ඇති වී මානසික ආතතිය පවා හට ගත හැකියි. ස්නායු ආබාධ මෙන් ම ලේ අපිරිසුදු වීම ද සිදුවිය හැකියි. කෝපය ඇතිවීම මඟින් හානි වන්නෙ තමාට ම යි.
• බෙහෙත් නැති ලෙඩක්
පූර්ණ පෞරුෂයක් ඇති කෙනා කෝපය රෝගයක් බව පිළිගන්නවා. ඇත්තට ම මේක
බෙහෙත් නැති ලෙඩක්. සංසාරගතව එන කර්ම රෝගයක්. ඇතැම් පවුලක අම්මාට හරියට කේන්ති යනවා. බැලුවාම දුවත් එහෙමයි. බොහෝවිට තරහව ක්‍රෝධයකට හැරිලා පසුව එය වෛරයකට පෙළෙනවා. ඒකම බද්ධ වෛරය දක්වා සංසාරෙන් සංසාරයට යනවා. ඒ නිසා කෝපය මුල් අවස්ථාවේ ම සංසිඳවා ගැනීම වටිනවා.
• කෝපය කල් දමන්න
කෝපය පාලනයට ඇති හොඳ ම විසඳුම කෝප සිතිවිලි ක්‍රියාත්මක කිරීම කල් දැමීමයි. කෝපයෙන් ගත් තීරණ ගැන තෙවරක් හිතන්න. තීන්දුව ගත්තේ කෝපයෙන්. ඒත් එය ක්‍රියාත්මක කරන්නේ පසුවයි. කෝපය පහව ගිය පසුබිමකයි. එවිට මුල් තීරණය කිසිදා ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්. ඒ වාගේ ම ආනාපානා සතිය වැනි භාවනාවක් වඩන්න හුරු වන්න.
• ඔබ කෝප ගන්න එපා
තමාට කෝපය ඇති වුයේ යම් පුද්ගලයකු නිසා නම් ඉක්මනින් එතැනින් ඉවත්වන්න. එසේ ම කෙනෙක් කෝපයෙන් ඔබට බණිනවා නම් නිහඬ වන්න. බණින්නේ වැරැද්දක් කරලා නම් වැරැද්දක් කළ නිසා මා බැණුම් අහනවා නේදැයි සිතන්න. වැරැද්දක් නැතිව බණිනවා නම් තමන් වැරැද්දක් නොකළ බව දන්නා නිසා ඉවසා සිටින්න. කෙනෙක් කෝප වූ විට ඔබත් කෝප ගන්න එපා. එය අනුවණකමක්.
• මනසට දැනුම් දෙන්න
ඔබ කෝප සහිත කෙනෙක් බව මනසට දැනුම් දී තිබීමත් වැදගත්. ඒ පිළිබඳ මනස නිතර දැනුවත් කර තබන්න. 'මට තරහා ගියා' යැයි රිද්මයකට තුන්වරක් මෙනෙහි කරන්න. 'මා ඇයි කෝපය ගන්නේ' යැයි තමාගෙන් ම අසන්න. ඊට පිළිතුරු දෙන්නට උත්සාහ ගත්විට ඔබට දැනේවි කෝපය කියන්නේ ඇත්තට ම අනවශ්‍ය ඒ වගේ ම පාපී සිතිවිල්ලක් පමණක් කියලා.
තෙරුවන් සරණයි