
ප්‍රශාන්ත ඇල්පිටිය
ඒ 1995 රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයයි. එහිදී තරගය පැවැත්වූයේ සත්කාරක දකුණු අප්‍රිකාව සහ නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායම් අතරය. එවර ලෝක ශූරතාව හිමිකර ගනු ඇතැයි බොහෝ දෙනාගේ බලාපොරොත්තුව වූයේ ඕල් බ්ලැක්ස්ලාය.
ඒ සඳහා බලපෑ මූලිකම හේතුව වූයේ සුපිරි ක්‍රීඩක ජෝනා ලෝමුය. හෙතෙම මුළු තරගාවලිය පුරාවටම විශිෂ්ට දස්කම් දක්වමින් සිටියේය. එම නිසා දකුණු අප්‍රිකාවට අනපේක්ෂිත ජයක් ලබා ගැනීමට නම් අනිවාර්යයෙන්ම ලෝමු දස්කම් අතරට පැමිණීම නතර කළ යුතු විය.
එම භාරදූර කාර්යය පැවරුණේ ස්ක්‍රම් හාෆ් (ඉජපභථ ඩ්චතට) ක්‍රීඩක යුස්ට් වැන් ඩර් වෙස්තයිසන් හටය. එය ඉතා විශිෂ්ට අයුරකින් ඉටු කිරීමට වෙස්තයිසන් සමත් විය. එහි ප්‍රතිඵලය දකුණු අප්‍රිකාව ලකුණු 15 - 12 ක ඉතා තියුණු ජයක් අත්කර ගැනීමයි.
එසේ ප්‍රථම වරට දකුණු අප්‍රිකාවට කණ්ඩායම් ක්‍රීඩාවකින් ලෝක ශූරතාව හිමිකර ගැනීමට විශාල දායකත්වයක් ලබා දුන් වෙස්තයිසන් නොබෝදා මෙලොවින් සමුගත්තේය. එවිට ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණි. සිය ජීවිතයේ අවසන් වසර කිහිපය ඔහු ගත කළේ රෝද පුටුවකය. ඊට හේතුව වූයේ හෙතෙම චාලක නියුරෝන රෝගයෙන් (ර්ධබධප ව්ඥභපධදඥ ච්ඪඵඥචඵඥ) පීඩා විඳීමයි.
"යුස්ට් වෙස්තයිසන් ඉතාම පුදුමාකාර පුද්ගලයෙක්. ක්‍රීඩා කරන විට වගේම ඉන් පිටතදීත් ඔහු ඒ බව මනාව ඔප්පු කළා. මෙතරම් අඩු වයසකදී ඔහුගේ සමු ගැනීම විශාල පාඩුවක්." 1995 ලෝක රග්බි ශූර දකුණු අප්‍රිකානු නායක ෆ්‍රෑන්කොයිස් පිනාර් පැවසීය.
එම රග්බි ජයග්‍රහණය දකුණු අප්‍රිකාවේ ඉදිරි සහජීවන ක්‍රියාවලිය ඇති කිරීම සඳහාත් විශාල ලෙස බලපෑවේය. වර්ණභේදවාදය නිමා වීමෙන් අනතුරුව එරටේ පවත්වන ලද ප්‍රථම ප්‍රධානතම ක්‍රීඩා තරගාවලිය වූයේත් එම 1995 ලෝක කුසලාන තරගාවලියයි. ඒ වන විටත් එරටේ රග්බි ක්‍රීඩාව ප්‍රචලිතව තිබුණේ සුදු ජාතිකයින් අතරය.
එය කෙතරම් ද යත් එම 1995 ලෝක ශූර කණ්ඩාමට එකඳු කළු ජාතික ක්‍රීඩකයෙක් හෝ ඇතුළත්ව සිටියේ නැත. එසේ වුවත් එරටේ ඒ වන විට ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා ලෙසට තේරී සිටි නෙල්සන් මැන්ඩෙලා ජාතික රග්බි කණ්ඩායමේ කමිසයකින් සැරසී ක්‍රීඩාංගණයටම ගොස් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ව දිරිමත් කළේය. එම සිදුවීම ඉතා විශේෂිත විය. "අපේ ජයග්‍රහණයට එයත් බලපෑවා" පිනාර් පසුකළෙක පැවසීය.
එම විශේෂ සිදුවීම පාදක කරගෙන සුප්‍රකට හොලිවුඩ් චිත්‍රපටි නළුවෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වන අමෙරිකානු ජාතික ක්ලින්ට් ඊස්ට්වුඩ් ධ්ව්ඍධ්ඛ්ඊඋඉ නමින් චිත්‍රපටියක් ද නිර්මාණය කළේය.
ඉහත 1995 රග්බි ලෝක ශූර ක්‍රීඩකයන්ට දකුණු අප්‍රිකාවේ විශාල ජනප්‍රියතාවයක් හිමි විය. ඒ අතරින් ජනප්‍රියතාවය අනුව ඉදිරියෙන්ම සිටි ක්‍රීඩකයෙක් වූයේ වෙස්තයිසන්ය. හෙතෙම සුවිශේෂී ක්‍රීඩකයෙකි.
සාමාන්‍යයෙන් රග්බි ක්‍රීඩාවේදී සෙසු ක්‍රීඩකයන් සමඟ සසඳන විට ස්ක්‍රම් හාෆ් ක්‍රීඩකයන් සිරුරින් කුඩා පුද්ගලයෝය. තරගයකදී ඔවුන්ගේ කාර්යභාරය වනුයේ පසුපෙළ (ආරක්ෂක) සහ ඉදිරිපෙළ අතර සම්බන්ධතාවය පවත්වාගෙන යන පුරුකක් ලෙසට ක්‍රියා කිරීමයි.
වෙස්තයිසන් කුඩා ක්‍රීඩකයෙක් නොවීය. ඔහුගේ උස අඩි 6 අඟල් 2 කි. ඔහු වේගවත්ය. එමෙන්ම ආරක්ෂක සහ ආක්‍රමණයටත් දක්ෂයෙක් විය. ජාත්‍යන්තර රග්බි ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයෙක් ලෙසට ඔහු සැළකෙන්නේද ඒ නිසාය.
1971 වසරේ පෙබරවාරි මස 20 වැනි දින ඔහු උපත ලැබීය. මෙම වසරේ පෙබරවාරි මස 06 වැනිදා මෙලොවින් සමු ගත්තේය. හෙතෙම ජාත්‍යන්තරව තරග කළේ 1993 වසරේ සිට 2003 වසර දක්වාය.
එහිදී තරග 111 කදී ජාතික පිල නියෝජනය කළේය. 1999 සිට 2003 දක්වා නායකත්වයත් දැරීය. රැස් කරගත් මුළු ලකුණු ගණන 190 කි. ඊට ට්‍රයි දිනුම් 38 කි.
එය කලක් ජාතික වර්තාවකි. රග්බි ලෝක කුසලාන තරගාවලි ත්‍රිත්වයකට (1995, 99, 03) ක්‍රීඩා කළ ප්‍රථම දකුණු අප්‍රිකානුවාත් ඔහු වේ. එමෙන්ම එරටේ ජාතික කණ්ඩායම වෙනුවෙන් තරග සියයකට ක්‍රීඩා කළ ප්‍රථමයාත් ඔහු වේ.
1999 ලෝක කුසලාන තරගාවලියේ තෙවැනි ස්ථානයත් හිමි වූයේ දකුණු අප්‍රිකාවටයි. ඒ වගේම කලක් වැඩිම ටෙස්ට් තරග ගණනකට (89) ක්‍රීඩා කළ අප්‍රිකානු ක්‍රීඩකයාත් විය.
හෙතෙම ප්‍රිටෝරියා විශ්ව විද්‍යාලයේ වාණිජ උපාධිලාභියෙකි. එමෙන්ම ව්‍යාපාරිකයෙකි. ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව රූපවාහිනි ක්‍රීඩා විචාරකයෙක් වශයෙනුත් කටයුතු කළේය. ලොව ශ්‍රේෂ්ඨතම රග්බි ක්‍රීඩකයන් අතරටත් ඔහුව තෝරා ගත්තේය.
වෙස්තයිසන් චාලක නියුරෝන රෝගයෙන් පීඩා විඳින බවට මුල්වරට අනාවරණය වූයේ 2011 වසරේදීය. එහිදී ඔහුට ජීවත්වීම සඳහා වෛද්‍යවරුන් විසින් දන්වා තිබු කාලය වූයේ වසර 02 සිට 05 දක්වාය.
මෙය දුලබ රෝගයකි. එහි ප්‍රතිඵලය වන්නේ ක්‍රම ක්‍රමයෙන් ස්නායු පද්ධතියට සහ එහි අත්‍යවශ්‍ය පේශී ක්‍රියාකාරකම්වලට හානි සිදුවීමයි. ඒ අනුව ඇවිදීම, කථා කිරීම සහ හුස්ම ගැනීම පවා අඩාල වේ. 2013 වසරේ සිට වෙස්තයිසන්ට සිදුවූයේ රෝද පුටුවක ගත කිරීමයි.
එසේ වුවත් එය ඔහු බාධාවක් කර ගත්තේ නැත. ඒ බ්9 නැමැති පදනම පිහිටුවමිනි. එමඟින් මෙම රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සිදුවිය. එමෙන්ම මුදල් රැස් කරමින් අසරණ රෝගී ජනතාවට උදව් උපකාර කරනු ලැබීය.
"මට තේරෙනවා සෑම දවසක්ම මගේ අවසන් දිනය කියලා. මම මරණය කරා ක්‍රම ක්‍රමයෙන් ළංවෙනවා. මගේ ජීවිතයේ උසස් වගේම පහළට වැටුණු අවස්ථාත් තිබුණා. තවදුරටත් එහෙම නැහැ.
මම දැඩිව විශ්වාස කරනවා මගේ ජීවිතයේ විශාල අරමුණක් ඇතිවුණා කියලා. එය කරා යාමට උත්සාහ කිරීමට මට හැකිවුණා. ඒ ගැන මට හරිම සතුටුයි." මිය යාමට පෙර වෙස්තයිසන් වරක් එසේ පැවසීය.
හෙතෙම මිය යන විට සිය දෙවන බිරිය වූ එමොර් විටෝනේගෙන් ද වෙන් වී සිටියේය. මේ යුවළට ජෝර්ඩන් පුත්‍රයාත් කයිලි දුවත් සිටියහ. එමොර් 44 හැවිරිදි හිටපු ජොහැනස්බර්ග් රූප සුන්දරියකි. එමෙන්ම ගායිකාවක් ලෙසට දැන් කටයුතු කරන්නීය.