
ප්‍රශාන්ත ඇල්පිටිය
එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙසට ජෝ රූට් පත් කර තිබේ. 26 හැවිරිදි රූට් දකුණත් පිතිකරුවෙකි. ඒ අනුව එංගලන්තයේ 80 වැනි ටෙස්ට් නායකයාත් ඔහු වේ.
ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හඳුන්වා දෙනු ලැබුවේ එංගලන්තයයි. පසුගිය දිනවල ඔවුන්ගේ ජාතික කණ්ඩායමේ ඇබෑර්තුවක් තිබුණි. ඒ ටෙස්ට් නායකත්වයටයි. ඒ මීට දින කිහිපයකට පෙර වසර කිහිපයක්ම ටෙස්ට් නායකත්වය දැරූ ඇලස්ටෙයාර් කුක් ඉවත්වීම නිසයි.
එංගලන්තය අවසන් වරට ටෙස්ට් තරගමාලාවකට සහභාගි වූයේ 2016 වසර අග ඉන්දියාවේදිය. එහිදී කුක්ගේ නායකත්වය මත එංගලන්තය තරගමාලාව 4 - 0 ක් ලෙසට පරාජයට පත් විය.
"නව නායකයෙක් යටතේ එංගලන්තයට ඉදිරියට යාමට දැන් කාලය පැමිණ තිබෙනවා. ඒ සඳහා සුදුසු නායකයෙක් පත් කිරීමට කාලය අවශ්‍ය බැවින් ඉවත් වීමට මම තීරණය කළා. එසේ වුවත් තවදුරටත් ක්‍රීඩකයෙක් ලෙසට මගේ දායකත්වය ජාතික කණ්ඩායමට ලබා දෙනවා." කුක් නායකත්වයෙන් ඉවත් වීම පිළිබඳව එසේ පැවසීය.
32 හැවිරිදි කුක් වමත් ආරම්භක පිතිකරුවෙකි. ඔහු මේ වන විට ජාත්‍යන්තරව ක්‍රීඩා කරන්නේ ටෙස්ට් තරගවලදී පමණකි. එමෙන්ම එංගලන්ත ටෙස්ට් ජාතික වාර්තා ත්‍රිත්වයකත් ඔහු හිමිකරුවාය.
කුක් එංගලන්තයේ වැඩිම ටෙස්ට් ලකුණු ලාභියාය. ඒ තරග 140 කදී ලකුණු 11,057 කි. එමෙන්ම ඔහු එරටේ වැඩිම ටෙස්ට් ශතකලාභියාය. ඊට ශතක 30 කි. තවද වැඩිම ටෙස්ට් තරග ගණනක එංගලන්ත නායකයාය. ඒ තරග 59 කදීය.
කුක්ගේ නායකත්වය මත එංගලන්තයට මීට පෙර ඉන්දියාවේදී සහ දකුණු අපි‍්‍රකාවේදී ටෙස්ට් තරගමාලා ජය ගැනීමට හැකිවිය. එමෙන්ම 2013 සහ 2015 වසරවලදී ඔස්ට්‍රේලියාව හමුවේ අළු බඳුන ටෙස්ට් තරගමාලාද එංගලන්තය ජය ගත්තේය.
කුක් ජාත්‍යන්තරව තරග කරන්නේ 2006 වසරේ සිටය. 2010 වසරේදී හෙතෙම ප්‍රථම වරට එංගලන්ත නායකත්වයට පත් විය. පසුව 2012 සිට 2017 වසර දක්වා නිත්‍ය නායකයා වූයේය. 2011 වසරේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි. සි. සී.) වසරේ ටෙස්ට් ක්‍රීඩකයා වූයේත් කුක්ය. එමෙන්ම 2015 අයි. සී. සී. ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයටත් ඔහුව තෝරා ගත්තේය.
එංගලන්තය මෙම වසරේදී දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමඟ ටෙස්ට් තරගමාලාවන්ට සහභාගි වීමට නියමිතය. එමෙන්ම වසර අගදී අළු බඳුන තරගමාලාවට සහභාගි වන්නේ ඔස්ට්‍රේලියාවේදීය.
වත්මන් එංගලන්ත එක්දින ජාත්‍යන්තර සහ පන්දු ඕවර 20 ජාත්‍යන්තර කණ්ඩායම්වල නායකත්වය දරනු ලබන්නේ ඔයින් මෝර්ගන්ය. හෙතෙම කලක් අයර්ලන්ත කණ්ඩායමට ක්‍රීඩා කළ අයිරිෂ් ජාතිකයෙකි.