
කුලරත්න ආරියවංශ
වසර පනහකට පමණ වික්ටර් රත්නායක සංගීත දිවිය විමර්ශනශීලීව අද දවසේ අවලෝකනය කරන මා හට ඔහු පෙනෙන්නේ ගායකයකු හෝ සංගීතඥයකු වශයෙන් පමණක් නොව සංගීත චින්තකයකු වශයෙනි. ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, පණ්ඩිත් අමරදේව යන මේ රටේ සංගීත චින්තකයන් තිදෙනා ළඟට එක්වන ඊළඟ පුරුක වන්නේ වික්ටර් රත්නායකයන් යයි සිතමි. ස්වකීය සංගීත කුසලතාවට අමතරව මේ රටේ සංගීතයේ ඉදිරි කාර්යභාරයක් පිළිබඳව සවිඥානක දැක්මක් තිබූ සංගීතඥයන්ගෙන් ප්‍රමුඛතම සංගීතඥයා ලෙසයි මා ඔහු කියවාගන්නේ. ඔහුගේ සංගීත චින්තනය විප්ලවකාරීය. අලුත් දේ කිරීමේ හා තිබෙන ක්‍රමය අතික්‍රමණය කර නවෝත්පාදන නිර්මාණ ක්‍රමයක් ඔහු අනුගමනය කළේ.
ඒ යුගයේ ඔහු සතු තාරුණ්‍යයේ ජවය හා උතුරා යන නිර්මාණ කෞශල්‍යය ඇසුරින් සිංහල සංගීතයේ විප්ලවීය වෙනසක් සිදු කිරීමට ඔහුට හැකියාව ලැබිණි.
පණ්ඩිත් අමරදේවයන් එතුමා උගත් උත්තර භාරතීය රාගධාරී සංගීත ඥානය සමඟ දේශීය ජන සංගීතය ද මුසු කර ශ්‍රී ලංකාවට සිංහල ගීත කලාවක් ස්ථාපිත කිරීමට උත්සාහ කරන අවස්ථාවකයි වික්ටර් රත්නායකයන්ගේ ආගමනය සිදුවන්නේ. එවක පණ්ඩිත් අමරදේවයන්ගේ ගීත කලාවට ඇලුම් කළේ එක්තරා විදග්ධ රසික පිරිසක්. බහුතරය ආසක්ත වී සිටියේ ඒ වන විට ගුවන්විදුලියෙන් හා චිත්‍රපටයෙන් පැතිරී ජනප්‍රිය වූ හින්දි අනුකාරක ගීතවලට ය. ඒ තත්ත්වය තුළ අමරදේව ගීත කලාවෙන් දුරස් වූ රසික පිරිස හට විදග්ධ රසික පිරිස හා එක්වීමට පාලම තනන්නේ වික්ටර් රත්නායක නම් සංගීත චින්තකයායි.
වික්ටර් රත්නායකයන් ගායනය සඳහා ගීත තෝරා ගැනීමේදී පදමාලාවන්ගේ ප්‍රමිතියක් පවත්වා ගත්තා. ඔහුගේ ගීත අතර අවර ගණයේ ගී පදමාලා දක්නට නැත. එහෙත් ඒ යුගයේ හින්දි අනුකාරක ගීත රසිකයන් හා විදග්ධ රසිකයන් යන ඉවුරු දෙක යා කිරීම සඳහා ගීතවල යම් සමබරතාවක් ද පවත්වාගෙන ගියා. ඔහුගේ අවධානය යොමු වූයේ ජනතාවට සමීප විය හැකි හරවත් පදමාලාවන්ටය. කුමන පද මාලාවක් වූවත් එහි වාච්‍යාර්ථය අතික්‍රමනය කර තමන්ගේ සංගීත නිර්මාණ කෞශල්‍යය භාවිත කරමින් පදමාලාවේ අජීවී වදන්වලට සජීවී බවක් ආරෝපණය කිරීමට තනු නිර්මාණයේදීත් සංගීත සංයෝජනයේදීත් ගායනයේදීත් ඔහු සමත් වුණා. ඔහු පදරුත්වල භාවමය හැඟීම්වලින් රසික හද කම්පනය කරන ලෙස සංගීත භාවිතාව යොදාගත්තෙක්.
හැත්තෑව දශකයේ ඔහුගේ ගීත බිහිවන අවධියේ මූලික වශයෙන් ගීතය ජනගත වූයේ ගුවන්විදුලියෙනි. ගුවන්විදුලි මැදිරියේ ගීත පටිගත කිරීමේදී තිබුණේ සීමිත වාද්‍ය සම්ප්‍රදායකි. ඒ තබ්ලාව, බටනලාව, වයලීනය, සිතාරය වැනි වාද්‍ය භාණ්ඩ ය. එමෙන් ම අමරදේවයන්ගේ වැනි එවක සුභාවිත ගීතය උත්තර භාරතීය රාගාශ්‍රිත විය. වික්ටර් රත්නායකයන් මේ ක්‍රමය උඩුයටිකුරු කරන්නේය. ඔහු උත්තර භාරතීය රාගාශ්‍රිත ගීත රටාව වෙනස් කර ජන සංගීතය, බටහිර සංගීතය හා කර්ණාටක සංගීතය වැනි සෑම සංගීත සම්ප්‍රදායකම සාධනීය ලක්ෂණ ඇසුරු කරන්නෙකි. අමරදේවයන් වරෙක පවසනවා, වික්ටර් රත්නායකයන්ගේ ගීතවල තිබෙන රාග ලක්ෂණ තිබෙන්නේ සැඟවී බව. ඔහු රාගයන්ට එතරම් වහල් නොවී ස්වීයත්වය අපේක්ෂා කළා. එබැවින් ඒ සඳහා අවශ්‍ය වන වාද්‍ය භාණ්ඩ ද භාවිත කළා. බටහිර සංගීත වාද්‍ය භාණ්ඩ වන ඕබෝ, ක්ලැරිනට්, ජෑස්, හවායන් ගිටාර්, ඩ්‍රම්ස් වැනි සංගීත වාද්‍ය භාණ්ඩ මුලින්ම ගුවන්විදුලියට ගෙන එන්නේ ඔහුයි.
එවකට ගැටවර වියේ සිටි අප ඔහුගේ ඒ සංගීතයෙන් උන්මාදයට පත් වුණා. “සිහිල් සුළං රැල්ලේ” වැනි ගීතයක ගායනයට ඇතුළතින් වාදනය වන අන්තර් වාදන නාද සංකලනවල සංධ්වනි ලක්ෂණ එහා මෙහා යන බවක් දැනුණා. ඈත හිමේ කඳු අතරින් පාවී එන සිහිල් සුළං රැලි අපට දැනෙන ආකාරයක් ඔහුගේ ගායනයේ හා සංගීතයේ ගැබ් වුණා.
‘කුරුල්ලන්ට ගී ගයන්න’ වැනි ගීතයක ඔහු රබාන භාවිත කළා. “අපි ඔක්කොම රජවරු” ගීතයට තම්මැට්ටම, “ඒදණ්ඩෙන් පිය මනිනු එපා” ගීතයට පහතරට බෙරය, මුතු වරුසාවට තෙමිලා ගීතයට උඩැක්කිය, “පොඩි කුමාරි හාමිනේ” ගීතයට ඩොලක්කිය හා සර්පිනාව පමණක් භාවිත කළා. “දෛවයෝගයකින්” ගීතයට ගිටාරය පමණයි. පාරු ගී ආශ්‍රයෙන් නිර්මාණය කළ “තොටුපොළ අයිනේ” ගීතය මුළුමහත් රසික පරපුරක් අතර ජනප්‍රිය කරවන්නට ඔහු සමත් වුණා.
අපේ රටේ රසික ප්‍රජාව අතර ශාස්ත්‍රීය සංගීතය කොතරම් දුරස් ද කිවහොත් ගුවන්විදුලියේ ශාස්ත්‍රීය සංගීත වැඩසටහන් තරුණයන් ශ්‍රවණය කළේ නැහැ. එය සංගීත උගතුන්ට පමණක් සීමා වුණා. රට පුරා ලක්ෂ සංඛ්‍යාත රසික ප්‍රජාවක් වැලඳගත් වික්ටර් රත්නායකයන්ගේ ‘ස’ ප්‍රසංගයට යෞවන ගැටවරයන් පවා ආකර්ෂණය වුණා. ඔහු මේ කාරණය ඔවුන් අතරට ශාස්ත්‍රීය සංගීතය ගෙනයන්නට උපක්‍රමිකව භාවිත කළා. කේඩීකේ ධර්මවර්ධනයන් ලවා ලියවා ගත් “හෝපළු වනපෙත” ගීතය උත්තර භාරතීය සංගීතයේ භාගේශ්‍රී රාගය ඇසුරින් නිර්මාණය කර ශාස්ත්‍රීය සංගීතයේ මිහිර, බෙහෙතකට සීනි තවරා දෙනවා සේ සමස්ත රසික ප්‍රජාව වෙත ලබා දුන්නා.
එමෙන් ම ඔහු නූර්ති ගීතයටත් නැවත පණ උපද්දනවා. “මා ළඳ වත තාරපතී”, “ඇස ප්‍රීති කරන රූපා” යන ගීත ‘ස’ ප්‍රසංගයේ ගයන විට ප්‍රේක්ෂක රසික පර්ෂදයෙන් ලැබෙන්නේ ඉමහත් ප්‍රතිචාරයකි.
ඔහුගේ එවැනි අත්හදා බැලීම් සාධනීයය. ඕනෑම කෙනෙකුට වෙනස්කම් හා විප්ලව කළ හැකිය. එහෙත් ඒවා රසිකයන් බාර ගන්නවා ද? වික්ටර් රත්නායකයන්ගේ සෑම පර්යේෂණයකින් ම රසිකයා දැනුම්වත් වුණා. සිය රසිකත්වය ඉහළට ගෙන ගියා.
ඔහුගේ ගීතවල වස්තු විෂය පරාසය ඉතා පුළුල්ය. මොහිදීන් බෙග් ගායනවේදියා හැරුණුකොට වැඩිපුර ම බෞද්ධ ගීත ගායනා කළේ වික්ටර් රත්නායකයනුයි. “දෙව්රම් වෙහෙරේ”, “බුදු හාමුදුරුවො අපිත් දකින්නැති”, “නිවන් දුටු හිමි”, “කලා වැවේ දිය ගැඹරේ”, “අමා දහර දිය ගලා ගලා”, “සමිඳු පාමුල පිදෙන අයුරින්”, “සාගර ජලය මදි”, “සිත් සනහාලන මුතුවන් වරුසා” වැනි ගීත ඒ අතර වෙනවා.
ප්‍රේම ගීත රචනයේ විශිෂ්ටයා වන ප්‍රේමකීර්ති ද අල්විස් සූරීන් ලවා රචනා කරවාගන්නා ප්‍රේම ගීත රැසක් ඔහු ගායනා කරනවා. “අම්මා නැති මට” වැනි ගීයකින් සමාජ ප්‍රශ්නත්, “දුක්ගන්නාරාළයි නුඹ ලොකු අයියණ්ඩි” වැනි ගීයකින් සහෝදර ප්‍රේමයත්, “බනින්නෙපා පොඩි දෝණිට”, “සිරිමා බෝ මැඬ”, “නිය පෙළ සිඳලයි” හා “මවු වෙස්සන්තර දේවිය වාගේ” වැනි ගීතවලින් දරුවන් පිළිබඳවත්,
“යශෝධරා වේවා”, “සොඳුර නුඹ මට මව් වෙයන්” වැනි ගීතවලින් බිරින්දෑවරු පිළිබඳවත් “මෝහෙන් මුළා වෙලා”, “ළිඳෙන් වතුර බීලා” වැනි ගීතවලින් සමාජ විවරණත්, “පාත ඉඳන් අපි ආවේ” වැනි ගීයකින් සමාජ විෂමතාව පිළිබඳවත් යන පුළුල් පරාසයක් වස්තු විෂයන් ඔහු ඇසුරු කරනවා. එමෙන් ම ඔහු සෑම ගීත රචකයකු සමඟ ම කටයුතු කළා. ඒ අතර ‘පිනිබර මලක් වගේ’, ‘සිනා දොළක් වන්’, ‘ගුරු පාර දිගේ’ වැනි ගීත ඔහු වෙනුවෙන් ලියන්න මටත් අවස්ථාවක් ලැබුණා.
මගේ විශ්වාසය අනුව වික්ටර් රත්නායකයන්ගේ ගායක භූමිකාවට එහා ගිය සංගීත සේවාවක් සංගීතඥ භූමිකාවෙන් ඉටු වුණා. ඒ යුගයේ වික්ටර් රත්නායකයන්ගේ ජ්‍යෙෂ්ඨයන් පවා ඔහුගෙන් ගී තනු නිර්මාණය කරවා ගන්නවා. අමරදේවයන්ට “කුමරියක පා සලඹ සැලුණා”, “බමර පැටික්කි”, “කෙහෙලිය නළලේ අංජන තිලකේ” වැනි ගීතත් නන්දා මාලිනියට “මට මවු පදවිය”, “රන් මුවා පොළෝ තලේ”, “අරුණාලෝකය අතරින්”, “දෙනෝදාහක් නුවන් අතරේ” වැනි ගීතත්, චිත්‍රා සෝමපාල ගායනවේදිනියට “සීගිරියේ කැටපත් පවුරේ”, මිල්ටන් පෙරේරා ගායනවේදියාට “දෙතුන් වතාවක් ඔබ ඇමතූවෙමි”, සුජාතා අත්තනායක ශිල්පිනියට “දෙතැනක තිබුණත් එක මල්”, “ඉරට උඩින් ගිය ගිරවට”, එම්. එස්. ප්‍රනාන්දු ගායනවේදියාට “උපන් හද වියේ” ජෝතිපාලයන්ට “රාජ කිරුළු පළන්දාපු” වැනි ගීත තනු නිර්මාණය කළා. එමෙන් ම ඔහුගේ පරපුර නියෝජනය කරන සෝමතිලක ජයමහ සූරීන්ට “අපි ආයෙත් හමු නොවුණානම්” වැනි ගීත ද මිල්ටන් මල්ලවාරච්චි ශුරින්ට “සුන්දරත්වයෙන් පිරි”, “දිනෙක රන්සළු පලඳා”, “උපුල් කොපුල්” වැනි ගීත ද නිර්මාණය කරනවා. මිල්ටන් මල්ලවාරච්චි ගායන රටාව වික්ටර් රත්නායකයන්ගේ තනු නිර්මාණවලින් වෙනත් ම රටාවකට පරිවර්තනය වෙනවා.
එමෙන් ම සුනිල් එදිරිසිංහයන් ගායන ක්ෂේත්‍රයට පිවිසෙන “සඳකඩ පහණක” ගීතය සංගීතවත් කරන්නේත් බන්දුල විජේවීරයන් ක්ෂේත්‍රයට පිවිසෙන “කුලගෙදරින්”, “හිත හීලෑ නෑ” වැනි ගීත සංගීතවත් කරන්නේත් වික්ටර් රත්නායකයන් ය.
අබේවර්ධන බාලසූරිය ගායනවේදියාට “පියාණනී මා”, “ගංගා”, “තොටිල්ෙල ලී වැටෙන් එහා” වැනි ගීතත් නෙරංජලා සරෝජනී ගායනවේදිනියට “ලොව නිසසල වී” එඩ්වඩ් ජයකොඩි ශූරින්ට “බැරි බර හින්දයි” නීලා වික්‍රමසිංහ ශිල්පිනියට “සූසැට බරණින්” ගීතයත් වැනි ගීත දහස් ගණනක් ඔහු අතින් සංගීතවත් වුණා. වික්ටර් රත්නායකයන් තමන් අතින් රචනා වූ රමණීය ගී තනුවක් නිර්ලෝභීව වෙනත් අය වෙත දීමේ අද්විතීය පෞරුෂයකින් හෙබි පිරුණ මිනිසෙකු වුණා.
ශ්‍රීමති තිලකරත්න ගායනවේදිනියගේ “හිරු ගෙනැවිල්ලා”, “ආත්ම ගණනක සිතුවිලි අතරේ”, “කල්පනා රැහැනින් මිදී” “අනන්තයට මා ඉගිෙළන” වැනි ගීත වගේම ෆ්‍රෙඩී සිල්වා නම් වූ ගායන ශිල්පියාගේ “පාං කිරිත්තා තක්කිට තරිකිට” “දිය යට විස්කම්”, ‘ගිනි බෝල කාරයා’, ‘හඳ මාමා උඩින් යතේ’, ‘එනකොට එනවා හිනා වෙවී’ වැනි ගීතත් නිර්මාණය කරමින් ඔවුන් ගායන ක්ෂේත්‍රයට අවතීර්ණ කරනවා.
ඔහු ගායකයාගේ අනන්‍යතාවට හා ප්‍රතිරූපයට ද ගැළපෙන ආකාරයෙන් ගී තනු නිර්මාණය කරනවා. අමරදේවයන්ට “කුමරියක පා සලඹ” නිර්මාණය කරන අතර ෆ්‍රෙඩී සිල්වාණන්ට “කුණ්ඩුමනි” ගීතය නිර්මාණය කරනවා. “කුණ්ඩුමනී” වැනි ගීතයක දක්ෂිණ භාරතීය කර්ණාටක සංගීතය කර්ණ රසායන ලෙස මනාව භාවිත කර තිබෙනවා. අද වන විට රසිකත්වය මුහුකුරා ගිය රසික ප්‍රජාවක් සිටිනවානම් එහි පුරෝගාමියා වන්නේ වික්ටර් රත්නායකයනුයි. ඊට හේතුව පසු පරම්පරාව ඔහුගේ මඟ ගෙන නිර්මාණ සිදු කිරීමයි. රෝහණ වීරසිංහයන් පවා පවසන්නේ වික්ටර් රත්නායකයන් තමන්ගේ නොනිල ගුරුවරයා බවයි.
චිත්‍රපට සංගීතයට ද පිවිසෙන ඔහු ඒ තුළ ද සිය ප්‍රතිභාන්විත සංගීත භාවිතයෙන් දස්කම් දක්වනවා. මාතර ආච්චි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරන ඔහු “සඳකඩ පහණක” ගීතය මෙන් ම “දේදුණු රන් පාටින්” නම් වූ වෙනම ආරක සාදයක ගැයෙන ගීයකුත් සංගීතවත් කරනවා. “සරුංගලේ” චිත්‍රපටයේ “ඉසුරු දෙවිඳු උමයංගන” ගීතය දේශීය සංගීතය හා කර්ණාටක සංගීතය ඇසුරින් නිර්මාණය කරන අතර ඒ චිත්‍රපටයේ ම “උපන් හද වියේ” නමින් බයිලා කලාවට අයත් නිර්මාණයක් කරනවා.
හුලවාලි චිත්‍රපටයේ “කුඩා ගමේ මද්දහනේ” ගීතය මඟින් ධාරා කියන චරිතයේ ඇතුළාන්තය නිරූපණය කරන අතර ඒ චිත්‍රපටයේ ම ‘කුල ගෙදරින් දුම්බර කඳු වැටියේ’ ගීතය සංගීතවත් කරනවා. එමෙන්ම ඔහු හොඳම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට හිමි ජනාධිපති සම්මානය සුනිල් ආරියරත්නයන්ගේ ‘සිරිබෝ අයියා’ චිත්‍රපටයට හිමි කරගන්නා අතර ඒ චිත්‍රපටයේ ම කවි ගායනාවක් ඉදිරිපත් කරන අමරදේවයන් හා නන්දා මාලිනිය හොඳම චිත්‍රපට ගායනයට හිමි සම්මානය හිමි කරගන්නවා.
සැබෑ චින්තකයකුගේ ගතිලක්ෂණ ප්‍රකට කරන, තෝරා බේරාගෙන වචන පවසන, බහුශ්‍රැත භාවයකින් හෙබි, වසර හැත්තෑ පහක් වන විටත් මෙතරම් ජනප්‍රියත්වයක් ඒකීයව පවත්වාගෙන යන සක්‍රීය ගායකයෙක් - වික්ටර් රත්නායකයන් හැර ලෝකයේ වෙනකෙක් නැති බව සහතික ය.