
සංගීතය යනු සියලු කලාංගයන් අතරින් වඩාත් ආකර්ෂණය දිනා ගත් කලාංගය යැයි කීම අතිශයෝක්තියක් නොවේ. එවැනි මාහැඟි කලාවක වෙසෙස් නිපුණයකු වීම පහසු කාර්යයක් නොවේ. සියලු ජන ආකර්ෂණය දිනා ගත් ගාන්ධර්වයකු වීමෙන් ම ඔහු කවරෙක් දැ යි අපට පැහැදිලි කරනු ඇත. ඒ නිසා ආචාර්ය වික්ටර් රත්නායකයන් වෙනුවෙන් නිකුත් වන විමර්ශන අතිරේකයකට අදහස් එකතු කිරීමට ලැබීම ද භාග්‍යයකි.
ආචාර්ය වික්ටර් රත්නායකයන් සැබවින් ම රටට අයිති ජාතික සම්පතකි. රටේ ජාතික සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ සේවා සපයන සමාගම වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හඬ සන්නිවේදනයේ ද පුරෝගාමියා වෙයි. ආචාර්ය වික්ටර් රත්නායකයෝ ජාතික ලකුණ හෙළ ගී මඟේ සටහන් කළ ජාතික හඬ පෞරුෂයක උරුමක්කරුවෙක් වෙති. ඒ නිසා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට ආචාර්ය වික්ටර් රත්නායකයන් සමඟ ඇත්තේ සමීප නෑකමකි.
තව ද පෞද්ගලික ව යමක් සටහන් කරන්නට මා ඉදිරිපත් වෙන්නේ මා ඔහුගේ ප්‍රබල රසිකයකු ලෙසිනි. ප්‍රේමකීර්ති ද අල්විස්, මඬවල එස් රත්නායක, සුනිල් ආරියරත්න වැනි විශිෂ්ට ගේය පද රචකයන් ලියූ සංකල්පනාවන් වඩාත් ඔපවත් කරමින් රසික ජනමන පුබුදු කළ එතුමන් ගුවන් විදුලියේ ස්වර්ණමය යුගයේ අප හදවත් ආනන්දනීය හැඟීමෙන් පුරවාලීය. එතැනින්ද නොනැවතී සිනමා සංගීතයේදී සම්මානනීය වෙමින් තිරයට ගැළපෙන මීයැසිය ද හැඩ ගැන්වූ ආකාරය අප රසිකයන් සේ බලා සිටි යුගය මට සිහිපත් වේ.
හැත්තෑපස් වන ජන්ම දිනය සමරන මේ මොහොතේ ද ආචාර්ය වික්ටර් රත්නායකයන් සිදු කරන්නේ ඒ හඬ යළි යළිත් ජීවමාන කරමින් අප නැවතත් ඒ මිහිරි අතීතයට කැඳවාගෙන යෑමයි.
ආචාර්ය වික්ටර් රත්නායකයෙනි, ඔබට දීර්ඝායු වේවා!
කුමාරසිංහ සිරිසේන
සභාපති
ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය
ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ ප්‍රධාන විධායක නිලධාරීතුමාගේ පණිවිඩය
කලාව සහ කලාකරුවා සමාජය නිවැරදි කරමින් ඉදිරියට ගමන් කරවයි. නව සිතිවිලිවලට පණ දෙමින් මිනිස් හදවත තුළ නව රසාත්මක හැඟීම් ඇති කිරීම සඳහා කලාකරුවා සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරයි. කලාව සහ කලාකරුවා මිනිසුන්ට සතුටින් ජීවත් වන පරිසරයක් නිර්මාණය කිරීමට ද දායක වෙයි. එවන් උදාර සමාජ මෙහෙවරකට පණ දුන් ශ්‍රේෂ්ඨ කලාකරුවකු ලෙස ආචාර්ය වික්ටර් රත්නායකයන් හැඳින්විය හැකිය.
කාව්‍යාත්මක සිතිවිලි වාදීය භාෂාවක් බවට පත් කළ වික්ටර් රත්නායකයෝ, රටට නිරන්තරයෙන් අභිමානයක් එක් කළ කලාකරුෙවක් වෙති. දීර්ඝ කාලයක් විදේශීය රටවල සේවය කළ මා ඇතුළු බහුතරයකට වික්ටර් රත්නායකයන් රටේ අනන්‍යතාවක් ලෙස නිරතුරුව හඳුනා ගැනීම පහසු විය. ආචාර්ය උපාධිය ප්‍රදානය කරන විට, විවිධ සම්මානවලින් පිදුම් ලබන විට ඒ හැඟීම තව තවත් වර්ධනය වූවා පමණක් නොව, ස්ථාවර ව තහවරු වන්නට ද විය. ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ 75 වන ජන්ම දිනයට සමගාමී ව පැවැත්වෙන 'වජ්‍ර ප්‍රභා' ප්‍රසංගයට එක් වී ගෞරවාභිමාන පිදීමට අවස්ථාව උදාවන්නේ එවැනි අතීත ගෞරව මතක සමඟින් වීම මා හට ගෙන එන්නේ නොමඳ සතුටකි.
එතුමන්ට දිගාසිරි පතමි!
දිලීප විජේසුන්දර
සමූහ ප්‍රධාන විධායක නිලධාරී
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම