මගේ නිල නොලත් ගුරුදේවයා වික්ටර් රත්නායකයනුයි | සිළුමිණ

මගේ නිල නොලත් ගුරුදේවයා වික්ටර් රත්නායකයනුයි

ප්‍රවීණ සංගීතඥ රෝහණ වීරසිංහ

මා රජයේ සංගීත විද්‍යාලයට ඇතුළත් වන්නේ 1969 වසරේදී ය. කලක් ගතවෙද්දී ඉහළ පන්තියේ උන් සෝමපාල රත්නායක හා මා අතර ඇති වන්නේ සොඳුරු මිතුදමකි. එකල තරුණ වියේ සිටි අප සියලු දෙනාගේ හදවතේ ලැගුම් ගෙන සිටි වික්ටර් රත්නායක නම් ගායකයාණන් මුණ ගැසීමේ භාග්‍ය මා ලබන්නේ ද ඒ අපේ සොඳුරු මිතුදමේ ප්‍රතිඵලයක මහිමයෙනි.

වරක් මා ඇතුළු ජනප්‍රිය ශිල්පීන් කිහිපදෙනකුගේ ම එකමුතුවෙන් ප්‍රසංගයක් සංවිධානය වූ මොහොත අද මෙන් මගේ මතකයේ ලියැවී තිබේ. නුවරඑළියේ පැවැති ඒ ප්‍රසංගයට වික්ටර් රත්නායකයන් ද සහභාගි කර ගැනීමට මට හැකි වූයේ මා මිත්‍ර සෝමපාල රත්නායක නිසා ම ය. ඒ හමුවේදී ඔහු හා කතාබහ කිරීමට මට ඉඩහසර ලැබිණි. ඔහු හා ඇසුර වඩාත් සමීප වන්නේ ඊට පසුව උදා වූ එක් අවස්ථාවකදී ය. ඒ අවස්ථාව උදා වන්නේ ද සෝමපාල රත්නායකගේ හඳුන්වා දීම දිනෙන් දින ම ඉදිරි ගමනක් කරා යොමු වීම මූලික කර ගනිමිනි. එනම් වික්ටර් රත්නායකයන්ගේ ගුවන්විදුලි වැඩසටහන්වලට ගයන ගීතවල අත්වැල් ගායක කණ්ඩායමට පිවිසීමට ලැබුණු සුහද ආරාධනයෙනි. ඒ අත්වැල් ගායක කණ්ඩායමේ මා සමඟ ලක්ෂ්මන් විජේසේකර, බන්දුල විජේවීර, ආනන්ද වීරසිරිත්, අනෙක් පාර්ශ්වයේ නිරංජලා සරෝජනී, නිර්මලා රණතුංග ආදි ශිල්පිනියන් ද සිටි බව මට මතක ය. එහිදී ඔහු ගැයූ සරල ගී අතර අද බොහෝ දෙනාගේ හදවතේ රැඳුණු ‘අපි ඔක්කොම රජවරු...’, ‘නිවන් දුටු හිමි’, ‘සඳ හිරු තරු පවතින තුරු’ ඇතුළු ගීත ගණනාවකට ම අප එදා අත්වැල් ඇල්ලු අයුරු මගේ මතකයේ ලියැවී තිබේ.

අත්වැල් ගායනයේදී සැලකිය යුතු සිදුවීමක් සිදු වන්නේ ‘මාතර ආච්චි’ සිනමාපටයේදී ය. එනම් මමත්, සුනිලුත් ගජ මිතුරන් බවට පත් වීමු. වික්ටර් රත්නායකයන්ගේ ප්‍රථම සංගීත අධ්‍යක්ෂණය වන එහි සුනිල් එදිරිසිංහ ගැයුවේ ‘සඳකඩපහණක කැටයම් ඔපලා...’ ගීතයයි. ඔහු එය ගයන විට අපි ‘රන්දේදුනු රන් පාටින්...’ ගීතයේ සමූහ ගායනයට සහභාගි වීමු. මේ පුහුණු වීම් අතරතුර මටත්, සුනිල්ටත් කතාබහ කිරීමට බොහෝ දේ තිබිණි. ඒ කතාබහ අවසානයේ අප අතර ගොඩනැඟුණේ නොබිඳෙන මිතුදමකි. ඔහුත් සමඟ අද දක්වා පැමිණි ගමනේ ආරම්භය සටහන් වන්නේ එලෙසිනි.

ඒ ඉදිරියට පිවිසි ගමනේදී මගේ මතකයේ රැඳුණු අනෙක් අවස්ථාව නම් ‘ස’ ප්‍රසංගයයි. එහි අත්වැල් ගී කණ්ඩායමට අප කිහිපදෙනාට අමතරව සුනිල් එදිරිසිංහත්, එඩ්වඩ් ජයකොඩිත් අයත් වූහ. ඒ ප්‍රසංගයේදී මගේ දක්ෂතාව මනා ලෙස වටහාගත් වික්ටර් රත්නායකයන් මට යම් කාර්යයක් පවරන්නේ මා පුදුමයට පත් කරමිනි. ඒ ඔහුගේ ස්වර ලිපි පිටපත් කිරීමේ කාර්යයයයි. ගීතයක් නිර්මාණය කරන සැමවිට ම සර්පිනාව අසල වාඩි වන ඔහු එය වයමින් භාවනාවකට සම වැදුණු තවුසකු සේ ස්වර මුමුනන අයුරු මා දෙනෙතේ මේ දැනුදු ඇඳී නෑඳී යන්නේ ඉබේ ම ය. ඔහු සමඟ ඒ අසල ම ඉඳ ගන්නා මම, ඔහු සෙමෙන් සෙමෙන් මුමුනන ස්වර අසා සිටින්නට පුරුදු වීමි. එලෙස ඔහුගේ මුහුණ දෙසත්, ස්ර්පිනාව වයන අයුරුත් බලා සිටින මට ඔහු යමක් කොඳුරනු ඇසෙයි.

“රෝහණ මේක ලියා ගන්න.”

ස්වරයක් ඇසූ පමණින් ලියා ගැනීමේ හැකියාව මට එකල වූ දක්ෂතාවකි. එලෙස ස්වර ලිපි සකස් කිරීම මඟින් සංගීතය ඉගෙන ගනිමින් සිටි මට ලැබුණේ අපූරු අධ්‍යාපනයකි, දැනුමකි, අත්දැකීමකි. එහිදි ගීතයක් නිම කිරීමේදී විවිධ ශ්‍රැති භාවිත කරන්නේ කෙසේදැයි, විවිධ ස්වර සංකලන ඉදිරිපත් කරන්නේ කෙසේදැයි, විවිධ ස්වර සංයෝජන ඉදිරිපත් කරන්නේ කෙසේදැයි මම අධ්‍යයනය කළෙමි. අද මා තනු නිර්මාණය කිරීමේ ලා යම් තැනක සිටින්නේ ද ඒ ඔහු නිසාම ය. ඒ ශක්තිය මට ලැබුණේ ඔහුගෙනි. ඒ මා ලැබූ ශක්තිය පිටුපස දැවැන්ත රුකක් සේ අරා සිටි නිල නොලත් ගුරුදේවයාණන් වූයේ ඔහු ම ය.

එකල ඔහු සුරතින් නිම වූ සෑම ගීතයකට ම එක්කෝ ස්වර ලිපි සකස් කරමින් හෝ අත්වැල් ගායනයෙන් හෝ මම සහභාගි වීමි. නැතිනම් සිතාරය වයන්නට හෝ මට ඉඩහසර උදා විණ. මේ සියලු දේ ඔස්සේ මා ලද දැනුම අපමණ ය. අත්දැකීම් ද බහුල ය. ඉතා ම මියුරු ලෙස ගීතයක තනුවක් සකස් කරන්නේ කෙලෙස දැයි, පදමාලාවක් හසුරවන්නේ කෙලෙසදැයි, ඊට සංගීත සංයෝජනය කරන්නේ කෙලෙසදැයි මා උගෙන ගත්තේ ඔහුගෙනි. ඒ කාරණා මා උගත් පාඨමාලාවලින් මට ඉගැන් වූයේ නැත. මේ නිසා ඒ සියලු දේ උගැන්මට, ගරුහරුකම් ලබා ගැන්මට අපට සිදු වූයේ එවැනි ප්‍රවීණ ගුරුතුමකුගේ සෙවණේ සැරිසරමිනි. එය උපරිම අයුරෙන් ලබා ගත්තේ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ සෙවණේ ඉඳිමින් බව මා පවසන්නේ ඉතා නිහතමානීව ම ය.

මා තනු නිර්මාපකයකු විදියට ඉදිරියට ගියේ ඒ ඔහු සකස්කර දුන් මඟ ඔස්සේ ය. ඔහු මෙන්ම තවත් ශ්‍රේෂ්ඨ ගුරුවරු රැසක් මා අසල සිටියහ. මහාචාර්ය සනත් නන්දසිරි, විශාරද එස්.ඩී.එස්. ජයසේකර ආදී ගුරුවරුන් මෙන්ම නිර්මාණශීලී සංගීත අධ්‍යක්ෂවරුන් විදියට ප්‍රේමසිරි කේමදාස, සෝමදාස ඇල්විටිගල, සරත් දසනායක, ෂෙල්ටන් ප්‍රේමරත්න, එම්. කේ. රොක්සාමි ආදි සංගීතඥයන් ඇසුරු කිරීම මා ලද භාග්‍යයකි.

පසු කාලයේදී එතුමා වෙනුවෙන් ගීතයක් නිර්මාණ කිරීමට ලැබුණු අවස්ථාව මගේ සිතේ කොනක තිබූ සිහිනයක් සැබෑ වීමකි. ඒ අවස්ථාව මා ලද්දේ ගුවන්විදුලියේ කළ විශේෂ වෙසක් වැඩසටහනකදී ය. වෙසක් සංගීත වැඩසටහනක් වූ මේ වැඩසටහනේ පිටපත රචනා කරන ලද්දේ ප්‍රවීණ ගේයපද රචකයකු වන කුමාරදාස සපුතන්ත්‍රි ය. ඒ වැඩසටහනේ සංගීත නිර්මාණය කිරීම මට පැවරිණි. ‘තිලොව දිනූ නිදුකාණෙනී...’ ගීතයට මට සංගීතය නිර්මාණය කිරීමට ලැබෙන්නේ එහිදී ය.

පසු කාලයේදී කැසට් පට කිහිපයකට ම සංගීතය නිර්මාණය කළ මම වික්ටර් රත්නායකයන් වෙනුවෙන් ද ගීත කිහිපයකට ම සංගීතය නිර්මාණ කළෙමි. ‘තනිවෙන්නට මගේ ලොවේ...’, ‘බණින්නෙපා පොඩි දෝණිට...’, ‘කුරුල්ලන්ට ගී හදන්න...’ වැනි ගීත සඳහා සංගීතය නිර්මාණය කර, එතුමන්ට පවසා මධුර ලෙස ගායනා කරවා මට ලබාගත් ආලෝකය අපමණ ය. එය මගේ ජීවිතය තිබෙනතුරු ම මට අමතක නොවන සටහනකි.

ආචාර්ය වික්ටර් රත්නායකයන්ට හැත්තෑපස් වසරක් පිරීමත්, වසර පනහක කාලයක් තිස්සේ ගීත ක්ෂේත්‍රයට කළ දැවැන්ත මෙහෙවරත් සුළුපටු නොවේ. ඔහු ඒ කළ දේවල් දෙස හැරී බලන විට, අපගේ සිතේ උපදින්නේ අප මෙතෙක් කලා ක්ෂේත්‍රයට කර ඇත්තේ අංශු මාත්‍රයක දෙයක් නොවේදැයි යන්න ය.

වර්ෂය වෙනස් වුවද ඔහුගේත්, මගේත් උපන් දිනය යෙදී තිබෙන්නේ එක ම දිනෙක ය. ඒ පෙබරවාරි 18 වැනිදා ය. අපගේ ඇසුර ආරම්භ කළ දිනයේ පටන් සෑම වර්ෂයක ම අප දෙදෙනා එකිනෙකාට සුබපතා ගන්නෙමු. එය දෛවෝපගත සිදුවීමකි.

Comments