සයිටම් සහ විල්පත්තුවෙන් මතු වූ ගොබල්ස් | Page 2 | සිළුමිණ

සයිටම් සහ විල්පත්තුවෙන් මතු වූ ගොබල්ස්

“ගොබල්ස් න්‍යාය” යනු ජනමාධ්‍යයේ ප්‍රසිද්ධ මාතෘකාවකි. මෙය උපත ලද්දේ දෙවැනි ලෝක සංග්‍රාමයේ දී ය. යුදෙව් ජනතාව මිහිපිටින් තුරන් කළ යුතු යැයි සිතූ ජර්මනියේ ආඥාදායක හිට්ලර් හැට ලක්ෂයක් ජනයා සමූල ඝාතනයට ලක් කළේ ය. අවුට්විට්ස් වැනි රහසිගත කඳවුරු උපයෝගී කර ගනිමින් කළ අපරාධ ලොවට වසන් කරන්නට ඔහුට හැකි විය. ඒ සඳහා ජර්මානුවන්ගේ ජනමනස සකස් කිරීමේ දී ඔහුගේ උපදේශකයකු වූ ගොබල්ස් නව අත්හදා බැලීමක් කළේ ය. එය සාර්ථක විය. එනම් එක ම බොරුව දිගින් දිගට ම මාධ්‍යයෙන් ප්‍රචාරයට පත් කළ විට ජනතාව එය සත්‍යයක් සේ පිළිගැනීම ය. මෙය අපරාධ වසන් කොට බොරුව සත්‍යය බවට පත් කිරීමේ අපූරු උපක්‍රමයක් බවට පත් විය. වර්තමානය වන තෙක් ම ලොව බොහෝ රටවල ප්‍රජා පීඩක පාලකයන් ගොබල්ස් න්‍යාය අනුගමනය කරනු දැක ගත හැකිය. මෙය නැවත සිහිපත් කිරීමට හේතු වූයේ වර්තමාන ලංකාවේ ජනමාධ්‍ය හැසිරීම හා ජන විරෝධයේ ස්වභාවය යි. අපේ රටේ ඉතිහාසයේ මුල් වරට ආණ්ඩුවේ මතය අධිපති මතය බවට පත් වනු වෙනුවට ආණ්ඩු විරෝධීන්ගේ මතය අධිපති මතය බවට පත් වෙමින් තිබේ. ඒ අනුව බහුජන මතය සකස් වන්නේ ආණ්ඩු විරෝධීන්ගේ මතය අනු ව ය. විල්පත්තුව බේරා ගැනීම සහ සයිටම් අහෝසි කිරීම පිළිබඳ සන්නිවේදනය සිදු වෙමින් පවතිනුයේ එයාකාරයෙනි. ඊට බලපෑ ප්‍රධාන හේතු කිහිපයක් තිබේ.

1. වත්මනෙහි ජනාධිපති සහ අගමැති මීට පෙර රට පාලනය කළ නායකයාගේ ආඥා දායක ස්වරූපයෙන් බැහැර වීම ඔස්සේ ඇති වූ නිදහස් වාතාවරණය.

2. හිටපු ජනපතිවරයා තර්ජනයෙන් හෝ තමන්ගේ අන්තේවාසිකයන් ලවා මිලට ගැනී­‍ෙමන්, හීලෑ මාධ්‍ය ආයතන පද්ධතියක් ගොඩ නඟා ගැනීම හා වත්මන් ආණ්ඩුව එම මාධ්‍යයන්ට ඇඟිලි නො ගැසීම.

3. පරාජිත දේශපාලන පාර්ශ්වය තමන්ට ගැතිකම් කරන මාධ්‍ය ඔස්සේ ගොබල්ස් න්‍යාය අනුගමනය කරමින් අසත්‍ය පුවත් සත්‍ය පුවත් බවට පත් කිරීම.

4. විරුද්ධ වාදීන්ගේ මාධ්‍ය ඔස්සේ තහවුරු කරන අසත්‍ය පුවත්වලට රජය ප්‍රතිචාර දැක්වීමේ අවුල් සහගත බව.

මේ කරුණු මඳක් සැලකිල්ලට ගනිමු. ජනවාරි 8 දා ජයග්‍රහණයෙන් පසු ව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ ජනපතිවරයා ව්‍යවස්ථාවෙන් ලැබී තිබූ බලතල අත් හැරියේ ය. මේ අනුව ජනාධිපතිගේ ආඥාවන්ට අනුව ජනමාධ්‍ය හැසිරවීමේ ප්‍රතිපත්තිය ද වෙනස් විය. ඝාතනයට හෝ මර්දනයට බියෙන් පෑන හැසිර වූ මාධ්‍ය මේ නිදහස් වාතාවරණය වල්බූරු නිදහසක් බවට පත් කර ගත්තේ ය. ත්‍රස්තවාදය නැවත නැඟිටීම, රට බෙදීම, රණවිරුවන් පාවාදීම, බුද්ධාගමට තැන අහිමි කිරීම, රාජ්‍ය දේපළ නොරටුන්ට විකිණීම යනාදී වශයෙන් භීතියක් නිර්මාණය කිරීමට මාධ්‍ය කටයුතු කළේ ය. ඒ වනාහි එතෙක් හුරුව තිබූ ගෝත්‍රික මාධ්‍ය සම්ප්‍රදාය ඉදිරියට යෑමකි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, පෙරටුගාමී පක්ෂය හා ජවිපෙ යනාදී පාර්ශ්ව කිහිපයක මතය රටේ බහුජන මතය බවට ඒත්තු ගන්වන සන්නිවේදනයක් සිදුකරන ලද්දේ මාධ්‍ය විසිනි. මේ කියන තේමා සියල්ල ම පසුගිය ආණ්ඩු පාලන සමයෙහි ජනමාධ්‍යයට මාතෘකා විය යුතු ව තිබූ නමුත් එය එසේ නොවී ය.

හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයෙහි තමන්ට පක්ෂපාතී නොවන මාධ්‍යවේදීන් අතුරුදහන් කිරීම, පහර දී අතපය කඩා දැමීම, මාධ්‍ය ආයතන ගිනි තැබීම, මාධ්‍ය ආයතන මිලට ගැනීම සහ තමන්ගේ නියෝග ක්‍රියාත්මක කරන සේ මාධ්‍ය බියට පත් කිරීම සිදු විය. ඒ අනුව සයිටම් ආයතනයට උදව් කළ මහින්ද රාජපක්ෂ රෙජීමයට එරෙහි ව මහාචාර්ය කාලෝ ෆොන්සේකා නියෝජනය කරන වෛද්‍ය සභාව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද කටේ කෙළ බිඳක් හෙළුවේ නැත. එපමණක් නොව මහචාර්ය ක‍ාලෝ මෙන් ම වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද රාජපක්ෂ රෙජීමය ආරක්ෂා කිරීම සඳහා පෙනී සිටිය හ. ජනමාධ්‍ය ඔවුන්ගේ අදහස්වලට වැඩි ඉඩක් දුන්නේ ය.

පවුලේ දේශපාලනය ඉදිරියේ බෙලහීන වූ ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන්ගේ කටවල් ද අගළු වැටී තිබිණ. වත්මනෙහි එම අගළු බිඳී ඔවුහු ද මාධ්‍ය වීරයන් වී සිටිති.

පරාජිත දේශපාලන පාර්ශ්වවල මතය අධිපති මතය බවට පත්වෙමින් පැවතීම ඉතිහාසයේ සරදමකි. ඊට හොඳ ම නිදසුන විල්පත්තු වන විනාශය යි. මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අනුගමනය කළේ ද ගොබල්ස් න්‍යාය යි. එනම් නැත්ත ඇත්ත කිරීම යි. විල්පත්තු ජාතික වනෝද්‍යානය පවතිනුයේ වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමෙන්තු‍ව යටතේ ය. විල්පත්තු වනෝද්‍යානය අවට ගම්මාන කිහිපයක පාරම්පරිකව ජීවත් වන මුස්ලිම් වැසියෝ සිටිති. යුද්ධය තීව්‍ර වූ ස‍මයෙහි ගම්බිම් හැර ගිය ඔවුන් නැවත තම ගම්බිම් සොයා පැමිණීම සිදු විය. ඒ වන විට අනුපවුල් ද සමඟ ජනගහනය වැඩි වී තිබිණ. මේ නිසා අමතර ඉඩම් ද අවශ්‍ය විය. එහෙත් දැනට හඳුනාගෙන ඇති පරිදි වනගහනයෙන් යම් ප්‍රමාණයක් එළිකර ඇත්තේ වනෝද්‍යානයෙහි පරිවාර කැලෑවල ය. වඩාත් ම වැදගත් කරුණ වන්නේ විල්පත්තු වන සංහාරයක් ගැන භික්ෂු කණ්ඩායම්වල ආශිර්වාදය ලැබූ රාජපක්ෂ පාලන සමයෙහි පාරම්පරික නොවන පිරිස් (සිංහල ජනතාව) සඳහා ද ඉඩම් ලබාදීමට කැලෑ එළි කිරීමය. එකල මේ කිසිවකු හට විල්පත්තු වන සංහාරයක් පෙනුණේ නැත. උද්ඝෝෂකයන් හට බලපා ඇති සැබෑ හේතුව නම් මෙහි පදිංචිකරුවන් මුස්ලිම් ජාතිකයන් වීම ය. සැඟවී සිටි සර්පයකු එළියට එන්නාක් මෙන් මෙහි දී ජාතික උරුමයන් රැක ගැනීමේ අභිලාෂයෙන් එළියට පැන ඇත්තේ සිංහල බෞද්ධ මහෝත්තමවාදය යි. මහින්ද රාජපක්ෂ දේශපාලනයේ ආත්මය ද එය යි. ආරක්ෂක හමුදාව ද අපකීර්තියට පත් කළ අලුත්ගම - දර්ගා ටවුන් මුස්ලිම් සංහාරයේ පදනම ද එය යි.

දෙමළ සහ මුස්ලිම් ජන වි‍රෝධය පැතිරවීම ඔස්සේ සිංහල බෞද්ධ අති බහුතරයේ ඡන්ද පදනමින් දිගට ම බලයේ සිටීම රාජපක්ෂ රෙජී‍මයේ අභිලාෂය විය. එහෙත් ශ්‍රී ලංකාවේ බහුතරවාදී ජන පදනම නොසලකා හැර කිසිදා දේශපාලන අධිකාරියකට සදාකල් බලයේ සිටිය නොහැකිය. මෙය අවබෝධ කර නොගත් රාජපක්ෂ කල්ලිය සැඟවී සිට ගල්පහර එල්ල කරන්නාක් මෙන් පන්සල් ගානේ යමින් අසත්‍ය වපුරති. ජන මනසෙහි භීතියක් මවති. මෙය අධිපති සන්නිවේදනය බවට පත් කිරීමට මාධ්‍ය ද කටයුතු කරති.

අවසානයේ සයිටම් ප්‍රශ්නය මෙන් ම විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් ද නිර්දේශ ලබා ගැනීම සඳහා කමිටු දෙකක් පත් කිරීමට ජනපතිවරයාට සිදු විය. අධිපති සන්නිවේදනෙයහි ප්‍රතිඵලය එය යි.

නිදහස් අධ්‍යාපනයේ මහිමයෙන් වෛද්‍ය වෘත්තියට ඇතුළු වී එහි ආචාර ධර්ම බිඳ හෙළමින් පෞද්ගලික වෛද්‍ය සේවය පවත්වාගෙන යන රජයේ වෛද්‍ය නිලධාරීන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව හඬ නැඟීම කුහකකමකි. එය තම වරප්‍රසාද සීමා වීමේ බිය පිළිබඳ ප්‍රශ්නයකි. එළුවාගේ ලොට තනය බිම වැටෙන තුරු බලා සිටින්නන් සිහිපත් කරන ඊනියා සමාජවාදීන් වන පෙරටුගාමීන් හා ජවිපෙ සතු සමාජවාදයේ පරණ ආයුධ කෙළින් කිරීමෙන් නූතන අධ්‍යාපන අවශ්‍යතා සපුරාලිය නොහේ. කුඩා දේශපාලන පක්ෂවලට අවශ්‍ය වන්නේ ආණ්ඩුවට පහරදීම සඳහා කුමන හෝ මාතෘකාවකි. අවසාන වශයෙන් බැලූ විට ඔවුහු ද ගොබල්ස් න්‍යායේ කෙරුමෝ වෙත්.

වත්මන් යහපාලන ආණ්ඩුව මුහුණ දෙන ගැටලු අතර අධිපති මාධ්‍යයෙන් එල්ල වන අභියෝගය නොසලකා හැරිය නොහැක්කකි. පසුගිය ආණ්ඩු පාලන සමයෙහි පාලකයන් සමඟ සම්බන්ධ වෙමින් කළු ආර්ථිකය හැසිර වූ පුද්ගලයෝ මාධ්‍ය ආයතන ද ආරම්භ කළ හ. යහපාලනය කළු ආර්ථිකයට තර්ජනයකි. එනිසා එය බිඳ දැමීම පිණිස හැකිතාක් යටිකූට්ටු වැඩ කිරීම පරාජිත දේශපාලන පාර්ශ්වවල අභිලාෂය යි. යහපාලන ආණ්ඩුවේ ගමන අඩාළ කිරීම සඳහා කළු ආර්ථිකයේ ඒජන්තවරු හැකිතාක් දහංගැට යොදති. එළියේ සිට පහර දීම සහ ඇතුළට රිංගා බොල් කිරීම යනු එබඳු උපක්‍රම දෙකකි.

තිඹිරියාගම බංඩාර
thimbiri@gmail.com

Comments