ඉදිරියේදී තවත් හාල් ටොන් ලක්ෂයක් මෙරටට ගෙන්වන බවත් දැනට හාල් ටොන් 50,000 ක් පමණ මෙරටට ගෙන්වා ඇති බවත් සහල් බදු මුදල් අඩු කර ඇති බවත් ඒ අනුව පිටරට සහල් අඩු මිලට වෙළෙඳ පොළට ලැබෙන විට සහල් මිල තවත් අඩුවනු ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි පැවසීය.
අගමැතිතුමා අවධාරණය කළේ ගොවියාටත් අසාධාරණයක් නොවන පරිදි පාරිභෝගිකයාට අඩු මිලට සහල් දෙන බවයි.
“2014 දි යල කන්නයේ එවකට තිබූ රජය වී ඇටයක්වත් මිලදී ගත්තේ නැහැ. ඒත් වත්මන් රජය 2014 - 2015 මහ කන්නයේ පමණක් මෙට්‍රික් ටොන් 160,000 ක්ද යල කන්නයේ වී මෙට්‍රික් ටොන් 175, 000 ක්ද මිලදී ගත්තා. 2016දි අපි සම්බා 41කට නාඩු 38ට මිලදී ගත්තා.
දැනට අපේ රටේ නියඟ තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා මෙරට මහ කන්නයේ අස්වැන්න සියයට 30 - 40 ක් තමයි බලාපොරොත්තු වෙන්න වෙන්න පුළුවන්.
මේ නිසා මුලින්ම රජය හාල් මෙට්‍රික් ටොන් 50,000 ක් මෙරටට ගෙන්වීමට කටයුතු කර තිබෙනවා. හාල් ගෙන්වීමට කලින් පනවා තිබූ සියයට 15 බද්ද අපි අහෝසි කළා.
ඒ අනුව 2017 ජනවාරි 7 සිට පෙබරවාරි 6 දක්වා නාඩු මෙට්‍රික් ටොන් 2003ක්ද කැකුළු හාල් මෙට්‍රික් ටොන් 24053ක් සම්බා මෙට්‍රික්ටොන් 23755ක්ද මෙරටට ගෙන්වා තිබෙනවා.
තවත් මෙට්‍රික් ටොන් 100 ක් ළඟදීම මෙරටට ආනයනය කරනවා. ඊට අමතරව නව සහල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් ඉදිරියේදි මෙරටට ගෙන්වීමට පෞද්ගලික අංශය කටයුතු කරනවා. ඒ අනුව ඉදිරියේදි සහල් මිල අඩුවෙයි.
මීට අමතරව වී අලෙවි මණ්ඩලය සතොසට වී මෙට්‍රික්ටොන් 30,000 ක් ලබා දීමටත් එම වී තොග සහල් බවට පත්කර වෙළෙඳ පොළට සැපයීමටත් කටයුතු කරනවා.”
ගොවියාට අසාධාරණයක් නොවන පරිදි සහල් මිල අවම සීමාවක පවත්වා ගනිමින් පාරිභෝගිකයන්ට උපරිම සහාය දැක්වීමට රජය උපරිම උත්සාහ දරන බවත් අගමැතිතුමා එහිදී පැවසීය.