
ප්‍රශාන්ත ඇල්පිටිය
රිටි පන්න ධීවර සහ අතුරේ යමින් රා මැදීම යනු පුරාතනයේ සිටම මෙරටේ පවතින කර්මාන්තයන් ද්විත්වයකි. දැන් මෙම ද්විත්ව කර්මාන්තයන් එක්කරමින් අපූරු ක්‍රීඩා තරගාවලියක් නිර්මාණය කර තිබේ. එය හැඳින්වෙන්නේ රෙඩ්බුල් ලෙවල් ලෙසටයි.
රෙඩ් බුල් ලෙවල් තරගාවලිය තෙවැනි වරටත් මේ මස 25 වැනිදා දකුණුලක සුන්දර මිරිස්ස මුහුදු තීරයේදී පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබේ.
මෙය ජවය, ශක්තිය, මානසික ඒකාග්‍රතාවය සහ කණ්ඩායම් හැඟීම් උරගා බැලීමට සකස් කරන ලද අභියෝගාත්මක තරගාවලියකි. මෙවර තරගාවලියට කණ්ඩායම් සියයක් පමණ සහභාගි වේ. ඒ කණ්ඩායමකට සතර බැගිනි. ඒ අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 400 කට වඩා මෙවර තරගාවලියට සහභාගි වෙති.
මීට පෙර මෙම රෙඩ් බුල් ලෙවල් තරගාවලිය 2015 සහ 2016 වසරවලදී බෙන්තොටදී පවත්වනු ලැබීය. මීට පෙර මෙම ශූරතාව ජයගත් බෙන්තොට කලාපය මෙම තරගාවලිය පිළිබඳ මෙසේ අදහස් දැක්විය. "මෙම තරගාවලිය නිර්මාණාත්මක මෙන්ම අභියෝගාත්මක එකක්. එමෙන්ම වෙන කිසිම දිනකටත් වඩා කණ්ඩායම් හැඟීමෙන් සාමූහිකව කටයුතු කිරීමේ අවශ්‍යතාව දැනෙනවා. පුද්ගලික අභියෝගාත්මක දක්ෂතා මැන බලා ගැනීමට නම් මෙම තරගාවලියට සහභාගි විය යුතුමයි."
"කණ්ඩායමක් ලෙස තරග වැදුණත් මුහුදු රළ වැදෙන විට රිටි මත සිට ගැනීමත්, කඹ අතර සමබරව ගමන් කිරීමත් ඉතා අභියෝගාත්මක වගේම සමබර වන ආකාරය තේරුම් ගැනීම ඉතාම අපහසුයි. එයට උපායශීලී විය යුතුයි. එය නම් ඉතාම විනෝදජනක අත්දැකීමක්."
මෙවර තරගාවලියට වෙන්කර තිබෙන මුළු ත්‍යාග මුදල රුපියල් 600,000 කි. මෙම වසරේ තරගකරුවන්ට සහ තරගකාරියන්ට රිටි 6 ක් ජය ගැනීමට සිදුවේ. එමෙන්ම තරග කාලය පදනම් කරගෙන පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට ඊළඟ වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් තෝරා ගනු ලබයි. මෙවැනි තරගාවලියන් සංචාරක ව්‍යාපාරයේ දියුණුවටත් යොදා ගත හැකිය.