54වන වතාවටත් සහෝදරයන්ගේ සංග්‍රාමය 24 - 25 සිංහල පිටියේදී | සිළුමිණ

54වන වතාවටත් සහෝදරයන්ගේ සංග්‍රාමය 24 - 25 සිංහල පිටියේදී

සේයාරුව - රංජිත් අසංක
සංජුල අබේවික්‍රම (ඉසිපතන විද්‍යාලය) කසුන් අබේරත්න (තර්ස්ටන් විද්‍යාලය)

පනස් හතරවැනි තර්ස්ටන් - ඉසිපතන විද්‍යාලීය මහා ක්‍රිකට් තරගය 24 සහ 25 යන දෙදින තුළ සිංහල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙවර තර්ස්ටන් කණ්ඩායම මහා තරග හතරකට ක්‍රීඩා කර තිබෙන පළපුරුදු ක්‍රීඩකයකු වන කසුන් ලක්රුවන් අබේරත්නගේ නායකත්වය යටතේ තරග බිමට පිවිසෙන අතර, ඉසිපතන කණ්ඩායම මහා තරග තුනකට ක්‍රීඩා කර තිබෙන අත්දැකීම් බහුල සංජුල අබේවික්‍රමගේ නායකත්වය යටතේ තරග කරයි.

දෙපිල අතර මෙතෙක් පැවැති මහා තරග 53 දී තර්ස්ටන් කණ්ඩායම තරග පහක් ජය ගෙන ඇති අතර, ඉසිපතන කණ්ඩායම තරග හතරක් ජය ගෙන තිබේ.

අවසන් වරට තර්ස්ටන් කණ්ඩායම 1992 දී සහ ඉසිපතන කණ්ඩායම 1999 දී මහා තරග ජය ගෙන තිබේ.

 

ඕනෑම අභියෝගයකට ඔට්ටුයි
>සංජුල අබේවික්‍රම ඉසිපතන විද්‍යාලය

මේ තරග වාරයේ අපි ටීම් එකක් විදියට තරග 14 කට ක්‍රීඩා කරලා ඒ සියල්ලම හොඳට අවසන් කළා. පසුගියදා අවසන් වූ දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19 න් පහළ ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංක ලකුණු නවසීයකට වඩා රැස් කරලා තියෙනවා. අයන, මම, හේෂාන් පිතිකරුවන් විදියට ලකුණු අතරට මේ තරග වාරයේදී ආවා. ළහිරු ඩිල්ෂාන් කඩුලු පනහකට වඩා දවා ගෙන තියෙනවා.

අයන සිරිවර්ධනයි - මමයි ශ්‍රී ලංකාවේ සංචාරය කළ දකුණු අප්‍රිකානු යොවුන් තරගාවලියට ක්‍රීඩා කළා.

අපි ක්‍රීඩකයන් විදියට තනි තනිව ගත්තත් ටීම් එකක් විදියට ගත්තත් ලොකු විශ්වාසයකින් මහා තරගයට එන්නේ. අපි මුලින්ම උත්සහ කරන්නේ පළමු ඉනිමේ ජයග්‍රහණයකට යන්න. ඊට පස්සේ තරගය යන විදියට සැලසුම් කරනවා. ප්‍රතිවාදීන්ගේ ඕනෑම අභියෝගයකට අපි හොඳම විදියට පිළිතුරු දෙන්න බලනවා. මගේ තාත්තත් අනුර අබේවික්‍රම 1984 මහා තරගයට  නායකත්වය සපයා තියෙනවා.


අපිත් හොඳ සූදානමකින්
>කසුන් අබේරත්න තර්ස්ටන් විද්‍යාලය

මේ තරග වාරයේදී තරග 13 කදී තරග 6 ක් සම්පූර්ණයෙන් ජය ගත්තා. මුල් ඉනිමේ ජයග්‍රහණ 6 ක් තියෙනවා. පිතිකරුවන් විදියට චරන, සවාන් ඉදිරියෙන් ඉන්නවා. නවීන් ගුණවර්ධන කඩුලු හැටකට වඩා දවා ගෙන තියෙනවා. චරනත් කඩුලු හතලිහකට වඩා දවාගෙන තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වනවා.

අපි මුල ඉඳලාම ටීම් එකක් විදියට හොඳට තරග කළා. ටීම් එකත් සමබරයි. ඒ නිසාම හොඳ ආත්ම විශ්වාසයකින් සහ සූදානමකින් ප්‍රතිවාදින්ට මුහුණ දෙන්න සැලසුම් කරනවා.

ලකුණු සහ කඩුලු අතර ඉන්න චරන, නවීන් සහ සවාන් ගැන ලොකු බලාපොරොත්තුවකින් අවසන් මහා තරගයට යනවා. 1992 ට පස්සේ අපි වෙනසක් හොයන මහා තරගයකට තමයි සූදානම් වෙන්නේ.

Comments