
පාසල් බිග් මැච් වසත්කාලය සුපුරුදු පරිදි තර්ස්ටන් - ඉසිපතන ගැටුමින් ආරම්භ වේ. බිග් මැච් කාලය උදාවන්නේ අංගොඩින් මෙහාය. මේ කාලය ලොකු පොඩි, කොල්ලෝ - කෙල්ලෝ - සිසුන් ආදි සිසුන් කියා වෙනසක් ද නැත. ඇත්තේ පිස්සුවකි. එකී පිස්සුවට වයස් භේද - ආගම් භේද - සුදු කළු, උස් මිටිකම් ද නැත. සියල්ලෝ නටති, ගයති, වයති. ඒ අතර වලිවලින් අඩුවක් නැත.
අවුරුද්දක් ගෙවී අලුත් අවුරුද්දක් උදාවන්නේම බිග්මැච් ජොලිය හදවතට තට්ටුවක් දමා ගෙනය. මෙකී තට්ටුව වනාහී බිග් මැච් පහනින් එළිය බලා ගන්නට දත කට මැදගෙන ඉන්නා අති බහුතරයකට අලුත් හුස්මකි. මීට පෙර ආදි සිසුන්ට පමණක් සීමා වූ ක්‍රිකට් තරග පසෙක ලා, තවත් බොහෝ අංශ මෙකී සංස්කෘතියට මේ වනවිට ඇතුළත් වී අවසන්ය. මේ සියලු දේ අතර හොඳ මෙන්ම නරකද යහමින්ම මුසුවී තිබේ.
දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වාම බිග් මැච් සංස්කෘතිය වෙනස් නැත. බිග් මැච් සංස්කෘතියට අනුව ගෙන්දගම් පොළොවේ හෝ දශක තුනක් යුද්ධයෙන බැටකෑ යාපනයේ ද වෙනසක් නැත.
හයේ එකක් ඇරෝ ලණුව උඩින් ඇරෝ
ගෙන්දම් පොළොවේ රෝයල් - තෝමියන් තරගයද,
කන්ද උඩරට කිංස්වුඩ් - ධර්මරාජ තරගයේද, ගාල්ල රිච්මන්ඩ් - මහින්ද තරගයේද මෙකී හඬෙහි වෙනසක් ද නැත.
සිය ප්‍රතිවාදියා සෑම විටම අනෙකාට පරිප්පුවාය. බෝලරයා වානරයා වන විට කීපරයා බෝක්කුවාය. විකට්ටුවේ සිට මීටර් 60 - 70 දුරින් ලණුව අද්දර පන්දු රකින්නන් පණුවන්ය. ක්‍රීඩාගාරයේ සෑම කොනකින් හඬ තලන පපරේ සද්දයට හතරේ සීමාවේ පන්දු රකින්නන්ගේ නැළවෙන්නේ පස්ස පැත්ත පමණි.
එකෙක් ගියත් තව එනවා
එසේ කෑගසන්නේ පරිප්පුවක් හමුවේ තම කඩුල්ලක් බිඳ වැටුණ විට දැනෙන වේදනාව නැතිකර ගන්නටය.
පැරැන්නොත් අපි
ලොව නොකඩවා පැවැත්වෙන පැරැණිම බිග් මැච් එක රෝයල් - තෝමියන්ය. ක්‍රිකට් උපන් එංගලන්තයේවත් නැති පාසල් ක්‍රිකට් ඉතිහාසයකට උරුමකම් කීමට ලාංකේයන් වශයෙන් අපට හැකිවන්නේ ඒ නිසාය. මෙකී ඓතිහාසික සිද්ධියට වසර එකසිය තිස් ගණනකි. මෙකී වසර එකසිය තිස් ගණනක අතීත උරුමය ගම් දනව් සිසාරා රාව ප්රතිරාව දෙයි.
විකසිත රජදහනක්
මෙකී සුන්දරත්වය විඳිය හැකි එකම තැන බිග්මැච් සැණකෙළිය පමණි. කොල්ලෝ කුරුට්ටෝ තම පාසල් කොඩියේ වර්ණය සිය නිල ඇඳුමට එකතු කරමින් නටන මේ සැණකෙළියට පාසල් බලධාරින් විරුද්ධත්වයක් එල්ල නොවන්නේ ඔවුන්ද මෙකි අසිරිය උපරිමයෙන් විඳින නිසාය.
බාලිකාවන්ට බැල්මක් නොදා විහිළුවක් - තහළුවක් නොකළොත් එය මෙකී සංස්කෘතියේ බලවත් අඩුවකි. ඒ නිසාම මෙකී සංස්කෘතිය තුළ අනංගයන් ගෙන් ද අඩු නැත. වැටකින් - තාප්පයකින් වෙන් කරන ලද බාලක - බාලිකාවන්ට කාලය ද හරි අපූරුය. රවන - ඔරොවන කෙනෙකුට ඇනුම් පදයක් කියන්නට ද මෙතරම් නිදහසක් වෙන කොයිද යැයි සිතන්නන්ගෙන්ද අඩු නැත.
පජාතයෝ සහ ගජයෝ
මෙකී බිග් මැච් සංස්කෘතියේ ඇතුවත්-නැතුවත් බැරි පිරිස ආදි සිසුන්ය. මොවුන් එකතුවෙන්නේ කුමටද යන්න විශේෂයෙන් සඳහන් කළ යුතු නොවේ. බිග් මැච් සංස්කෘතියේ ඇලී ගැලී සිටින්නාට තරගයේ තොරතුරු අදාළ නැත. මැච් එකේ තම විද්‍යාලයේ ලකුණු සංඛ්‍යාව හෝ තරගයට සිදුවූයේ කුමක්ද යන්න මොවුහු නොදනිති. කොටින්ම ග්‍රවුන්ඩ් එකෙන් එළියට යන විදිය ළඟම ඉන්න සගයාගෙන් ඇසුව ද පුදුම විය යුතු නොවේ. එපමණක්ද නැත. චැට් එකට සෙට් වෙලා විනාඩි පහක් කතා කළවිට පාසල වෙනුවෙන් ලේ ඇට මස් වුවද දන්දීමට සැරසෙති.
කෙරුමන්ගෙන් ද අඩු නැත.
පරිප්පුවන්ගේ කොඩියේ කොණක් අනෙකාගේ ඇඟ වැදීමත් මහා ජංජාලයකට මුල පිරීමට හේතු සාධකයකි. තම විද්‍යාලයේ ක්‍රීඩකයකු කඩුලු පහක් දවා ගැනීම, අර්ධ ශතකයක් රැස් කිරීම, ශතකයක් රැස් කිරීම, පාසලේ කොඩිය රැගෙන පිට්ටනිය මැදට ගොස් තම සගයාට සුබපතා කෙරුමකු වීමට දතකට මැද ගෙන සිටින පිරිසේද අඩුවක් නැත. කොටින්ම වලියක් නැති බිග් මැච්වලින් වැඩක් නැතිතරමට ඒ වලියද අද බිග්මැච් සංස්කෘතියේ අංගයක් වී තිබේ. මෙකී වලි අතරට පොලිසිය පැමිණීම ඔවුන්ට දිරවන්නේ නැත. වැරදිලාවත් පොලිසිය පැමිණ තගක් දැම්මොත් වලිකාරන් අතර මතුවන දයාව - සහෝදරත්වය - ප්‍රේමය විඳීමට නම් මෙවැනි වලියකට මැදිවී එකී අත්දැකීම විඳිය යුතුය.
ඇත්තටම එකී දයාව - සහෝදරත්වය - ප්‍රේමය බිග් මැච් එකක් පැවැත්වෙන සෑම අවස්ථාවකම පවත්වා ගෙන යාමට හැකි නම්, එයම ආඩම්බරවීමට පමණක් නොව, සාඩම්බර වීමට ද හේතුවකි.
නම්‍යශීලීභාවය
බිග් මැච් සංස්කෘතියේ නම්‍යශීලීභාවය ද අනිවාර්යය අංගයක් කර ගැනීමට කවුරු කවුරුත් සිතට ගන්නේ නම් බොහෝ ගැටලු අවම කරගැනීමට හැකිවනවා පමණක් නොව, තම පාසල් බිග් මැච් ඉතිහාසයට එක්වන කළු පැල්ලම් අවම කරගත හැකිය. බිග් මැච් එකක් යනු ක්‍රීඩකයන් 22 දෙදෙනකුගේ තරගයක් බව සිතට ගෙන කටයුතු කළ හැකි නම් අවම කරගත හැකි හානි ප්‍රමාණය විශාලය. විසි දෙදෙනකුගේ තරගයකට පිටියෙන් පිටත සිට කෙරෙන බලපෑම් මැදිහත්වීම් නතර කර ගැනීමට මේ සංස්කෘතිය වටා රොක්වන්නන්ට හැකි නම් පිටියේ මැද සිටින විනිසුරුවන් දෙදෙනා ප්රමුඛ ක්‍රීඩකයන් 13 දෙනාටම සහනයකි. එසේ නොවනතාක් කල් මේ සියලුම දෙනාට එය මානසික වදයකි.
බිග් මැච් උමතුව අර්ථවත්ව විඳීමට අපට ඇති මං බොහෝය. එකී සුන්දර මං අහුරුවා අසුන්දර දෑ ළං කර ගැනීම ඔබට සේම පාසලට ද අවනම්බුවකි. වැඩ්ඩෝ - නොවැඩ්ඩෝ - පජාතයෝ - අපතයෝ - වීරයෝ - කෙරුමෝ මේ සියලු දෙනා එක්වන බිග් මැච් සංස්කෘතියෙන් නිර්මාණයකර ගැනීමට මේ වසරේ සියලු දෙනා ඉටා ගන්නේ නම්, එය හෙට මෙකී සංස්කෘතිය ශක්තිමත් කිරීමට - පෝෂණය කිරීමට හේතුවක් වනු ඇත. එකී ගමනේ කොටස්කාරයකුවීමට ඔබ ඉටා ගන්නේ නම්, බිග් මැච් සංස්කෘතියේ සුන්දර මතකයක් ඔබට නිවසටම රැගෙන යාමට හැකිවනු ඇත.