පච්ච විලාසිතාවන්ගෙන් හැඩවුණු ක්‍රීඩා පිටිය | සිළුමිණ

පච්ච විලාසිතාවන්ගෙන් හැඩවුණු ක්‍රීඩා පිටිය

ප්‍රශාන්ත ඇල්පිටිය
අතීතයේදී මිනිසුන් පච්ච හෙවත් ටැටූ කොටනු ලැබුවේ හේතු දෙකක් මතය. ඒ නිරෝගී බවටත් දීර්ඝායුෂ ලැබීමටත් එය ඉවහල් වනු ඇතැයි යන්න ඔවුන්ගේ විශ්වාසය වූ බැවිනි.
වර්තමානයේදීත් විශාල පිරිසක් පච්චවලින් සිය ගත අලංකාර කර ගැනීම සිදු කරනු ලබති. ඒ වෙන හේතුවක් නිසා නොව විලාසිතාවක් වශයෙනි. පච්ච විලාසිතාවන්ට සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් අද යොමු වී තිබේ. ඊට සුපිරි ක්‍රීඩා තරු ද අයත්ය.
ක්‍රීඩා ලොවේ පච්ච විලාසිතාවන්ට යොමු වූ වැඩිම පිරිසක් සිටිනුයේ පාපන්දු ක්‍රීඩාවෙනි. ඒ අතරින් වඩාත් ප්‍රකටම ක්‍රීඩකයා වනුයේ එංගලන්තයේ ඩේවිඩ් බෙකම්ය. ඔහු සිය මුහුණ හැර සිරුරේ සෑම තැනකම පච්චයන්ගෙන් සරසාගෙන සිටියි.
ආර්ජන්ටිනාවේ ලයනල් මෙසි පච්ච විලාසිතාවන්ට යොමු වීමට තීරණය කළේ ගිය වසරේ සිටය.
පාපන්දු ක්‍රීඩාවත් සමඟ සසඳන විට ක්‍රිකට් ක්‍රීඩකයන් මෙම විලාසිතාවන්ට යොමු වීම අඩු මට්ටමක පවතියි.

එසේ වුවත් ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෝ කිහිපදෙනෙකුම පච්ච විලාසිතාවන්ට රුචිකත්වයක් දක්වති. ඊට නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැක්කලම්, ඔස්ට්‍රේලියාවේ මිචෙල් ජොන්සන්, ඉන්දියාවේ විරාත් කෝලි, එංගලන්තයේ බෙන් ස්ටෝක්ස්, දකුණු අප්‍රිකාවේ ඩේල් ස්ටේන් සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල ක්‍රිස් ගේල් ද අයත්ය.
පාපන්දු ක්‍රීඩාවට අමතරව කණ්ඩායම් ක්‍රීඩා අතරින් වැඩිම පිරිසක් මෙම විලාසිතාවන්ට යොමු වූ ක්‍රීඩාව වන්නේ රග්බිය.
ටෙනිස් ක්‍රීඩාවද පච්ච විලාසිතාවන්ට අඩුවෙන්ම යොමු වී තිබෙන ක්‍රීඩාවකි. එසේ වුවත් පච්ච විලාසිතා කරන ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද සිටිති. නමුත් ඔවුන් අතරට සුපිරිතම තරු අයත් නොවීම විශේෂත්වයකි.
මලල ක්‍රීඩා සහ පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ද මෙම විලාසිතාවන්ට යොමු වී සිටිති. නමුත් ඒ විශාල වශයෙන් නොවේ.

Comments