
ප්‍රශාන්ත ඇල්පිටිය
කුරුල්ලන් මෙන් ගුවනේ පියාසර කිරීමට බොහෝ දෙනා සිහින මවති. නමුත් මෙය තවදුරටත් සිහිනයක් නොවේ. සුළු වේලාවකට හෝ එම සිහිනය යථාර්ථයක් කර ගැනීමට දැන් අවස්ථා තිබේ. ඒ ත්‍රාසජනක එමෙන්ම ඉතා අපුරු ක්‍රීඩාවක් නිසාවෙනි. මෙය හැඳින්වෙන්නේ ස්කී ජම්පිං (ඉඬඪ බ්භථනඪදඨ) ලෙසටයි.
මෙම ක්‍රීඩාව ශීත සෘතු සමයේදී පැවැත්වේ. ජාත්‍යන්තර රූපවාහිනි සේවා සහ අන්තර්ජාලය හරහා මෙම ක්‍රීඩාවේ අපූර්වත්වය නැරඹීමට මෙරටේ ක්‍රීඩා ලෝලින්ටත් දැන් අවස්ථාව උදා වී තිබේ.
මෙහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ආරක්ෂිත හිස් වැසුමකින් සැරසී සිටිති.
එමෙන්ම හිම මත යාමට උපයෝගි කරගන්නා දිගු පතුරු යුගලයක් ද ඔවුනට අවශ්‍යය. පසුව විශේෂයෙන්ම සකස්කරන ලද ප්‍රපාතාකාර බෑවුමක ඉහළ සිට පහළට ලිස්සා යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉහළට පනිති. එහිදී ඔවුන් ගුවනේ පියාසර කරමින් එක්තරා දුර ප්‍රමාණයක් ගොස් බිමට පතිත වෙති. එහිදී තීරකවරුන් ඔවුනට ලකුණු ලබා දෙති.
මෙහිදී අවධානය යොමු වන්නේ වැඩිම දුර ප්‍රමාණයක් ලබා ගැනීමට හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරග විලාසයටයි.
මෙම ක්‍රීඩාව ලොවට හදුන්වා දෙනු ලැබුවේ නෝර්වේ රාජ්‍යයයි.
ප්‍රථම වරට තරගයක් පැවැත්වූයේ 1808 වසරේදී පමණය. මේ වන විට කාන්තා සහ පිරිමි කේවල මෙන්ම කණ්ඩායම් වශයෙනුත් මේ ක්‍රීඩාව පැවැත්වෙයි.
වත්මනදී නෝර්වේ, ඔස්ට්‍රියාව, ජර්මනිය, පින්ලන්තය, පෝලන්තය, ස්ලොවේනියාව සහ ජපානය වැනි රටවල මෙම ක්‍රීඩාව අතිශයින්ම ජනප්‍රියයි. එමෙන්ම ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලටත් ලෝක ශූරතාවලියකටත් මෙම ක්‍රීඩාව අයත් වේ.
ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලවලදී පිරිමි ප්‍රථම වරට මෙම ක්‍රීඩාවෙන් තරග කළේ 1924 වසරේදීය.
කාන්තාවන් පළමු වරට ඔලිම්පික් උළෙලකදී තරග කරන්නේ 2014 වසරේ සිටය.
ප්‍රථම වරට ලෝක ශූරතාවලියක් මෙම ක්‍රීඩාව සඳහා පැවැත්වූයේ 1925 වසරේදීය. කාන්තාවන් ලෝක ශූරතාවලියේදී තරග කරන්නේ 2009 වසරේ සිටය.
මෙම ක්‍රීඩාවේ විශිෂ්ටතම ශූරයා ලෙසට පිළිගනු ලබන්නේ පින්ලන්තයේ මැටී නිකනන්ය.
ශූරිය වන්නේ ජපානයේ සාරා ටකානාෂිය.
ස්කී ජම්පිං ක්‍රීඩාවේ වැඩිම දුර ප්‍රමාණයක් පනිමින් දැනට ලෝක වාර්තාවන්ට හිමිකම්පාන ක්‍රීඩක ක්‍රීඩිකා යුගලයක් සිටිති.
ඒ අනුව පිරිමි ලෝක වාර්තාවේ හිමිකරුවා වන්නේ නෝර්වේ රාජ්‍යයේ අන්ඩර්ස් ෆැනෙමෙල්ය. ඔහු ලෝක වාර්තාව (මීටර් 251.5) පිහිටු වූයේ 2015 වසරේදීය. කාන්තා ලෝක වාර්තාව වූ මීටර් 200 ඔස්ට්‍රියාවේ ඩැනියෙලා ඉරාස්ච්කෝ විසින් පිහිටු වූයේ 2003 වසරේදීය.










