
බටහිර ඉන්දීය කොදෙව්වන් ක්‍රිකට් ක්‍රීඩාවේදී එකට අත්වැල් බැඳ ගත්තද, විශේෂයෙන් මලල ක්‍රීඩා පිටියේ දී එසේ නොවේ. ඔවුන් එහිදී තරග බිමට පිවිසෙන්නේ වෙන් වෙන් වශයෙනි. ජැමෙයිකානු මීටර් 100ය4 දිවීමේ කණ්ඩායමේ කාටර්ට තහනම් උත්තේජක චෝදනාව එල්ල වී එකී උණුසුම මැකී යාමටත් මත්තෙන්, බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල්ට වසරක තරග තහනමක් පනවා තිබේ.
ඒ තහනම් උත්තේජක භාවිතය පිළිබඳ සොයා බලන පරීක්ෂණවලට තමා සිටින ස්ථානය නිවැරැදිව වාර්තා කිරීමට තෙවතාවක් ම අපොහොසත් වීම නිසාය.
ලෝක තහනම් උත්තේජක නිවාරණ නීතිය අනුව තෙවතාවක් පරීක්ෂණ මඟ හැරීම සැලකෙන්නේ එකී පරීක්ෂණය අසමත්වීමක් ලෙසය.
තහනම් උත්තේජක භාවිතය පිළිබඳ මෙරට ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ට පවා චෝදනා එල්ල වු අවස්ථා නැතුවාම නොවේ. මිලියන ගණන් ඖෂධ සහ විටමින් වර්ග සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කළද ඒවායින් කීයෙන් කී දෙනකු උපරිම ප්‍රයෝජන ගන්නවාදැයි නොදනිමු. ප්‍රශ්නය වන්නේ චෝදනාවක් එල්ල වූ සැණින් තම තමන්ගේ ඇඟ බේරා ගැනීමේ කලාවෙන් ඔබ්බට ගොස් යථාර්ථවාදී වැඩ පිළිවෙළකට අත නොගැසීමය.
වායු සමනය කළ කාමර තුළට වී කැරකැවෙන පුටුවල හිඳගෙන තහනම් උත්තේජක චෝදනාවක් එල්ල වූ සැණින් තැනින් තැන මාධ්‍ය සාකච්ඡා පවත්වමින් චෝදනාලාභීන්ට දෙහි කැපීමෙන් පලක් නැත.
තහනම් උත්තේජක වසංගතය නම් රකුසා, නීතියට මෙහා තබා විසඳාගත හැකි වැඩ පිළිවෙළකට යාමට කවුරු කවුරුත් දැනුවත් භාවයෙන් අත්වැල් බැඳගත යුතුය. ක්‍රීඩාව වෙනුවෙන් වසරකට වෙන් කරන සමස්ත මුදලින් කොටසක් හෝ මේ වසංගතයෙන් දැනුවත්වීමට වෙන් කිරීමට බලධාරින්ට නැණ නුවණ පහළවේවා!