සර්ව අශුභවාදියකු ලෙස හංවඩු ගැසුණු කැමු | සිළුමිණ

සර්ව අශුභවාදියකු ලෙස හංවඩු ගැසුණු කැමු

අදෘශ්‍යාර්ධය

ප්‍රංස - ඇල්ජීරියානු ලේඛක ඇල්බෙයා කැමූ වඩාත් ප්‍රකට වූයේ ඔහු අනුගමනය කළ විකාරරූපී ප්‍රබන්ධ ශෛලිය හේතුවෙනි. ‘පිටස්තරයා’ යනුවෙන් සිංහලයට ද නැඟී ඇති The Stranger (1942) හා මහමාරිය යනුවෙන් සිංහලයට නැඟුණු The Plague (1947) කැමුගේ විශිෂ්ටම කෘති ලෙස සැලකේ. 1913 නොවැම්බර් 7 වැනිදා ප්‍රංස යටත් විජිතයක්ව පැවැති ඇල්ජීරියාවේදී කැමු උපත ලැබීය. ඔහුගේ ජීවිත කාලය කෙටි එකකි. 1960 ජනවාරි 4 වැනිදා ප්‍රංසයේදී ඔහු මිය ගියේ රිය අනතුරකිනි. ජීවිතයෙන් සමුගැනීමට තුන් වසරකට පෙර එනම් 1957 දී සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය පිරිනැමුණේ ඔහු වෙත ය. රඩ්යාඩ් කිප්ලිංට පසු අඩු වයසින් නොබෙල් සාහිත්‍ය ත්‍යාගයට හිමිකම් කී ලේඛකයා ඔහු විය. කැමු නොබෙල් ත්‍යාගලාභියකු වූයේ අවුරුදු 44 දීය. කිප්ලිං 42 හැවිරිදි වියේදී ඉන් පිදුම් ලැබීය. වෘත්තීය ජීවිතය තුළ දී කැමු මුලින් ප්‍රචලිත වූයේ ජනමාධ්‍යවේදියකු වශයෙනි. ඔහුගේ විෂය පථය වූයේ දේශපාලනයයි. නිර්මාණකරුවකු ලෙස ඔහුගේ කෘතී පාඨක ප්‍රජාව අතරට පැමිණියේ 1940 ගණන්වලදීය.

කැමුගේ පියා පළමු ලෝක සංග්‍රාමයේදී මිය ගියේය. ඔහු හැදී වැඩුණේ මවගේ සෙවණේය. ඉගෙනීමෙහි දක්ෂයකු වූ කැමු ඇල්ජියර්ස් විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට වරම් ලැබු අතර ඔහුගේ විෂය ක්ෂේත්‍රය වූයේ දර්ශනයයි. විශ්වවිද්‍යාලයීය පාපන්දු කණ්ඩායමේ දැල රකින්නා වූයේ ද ඔහුය. එහෙත් ක්ෂය රෝගය ඔහුට පීඩා කරන්නට වූයෙන් කණ්ඩායමෙන් ඉවත් විය. ඔබ වඩා ප්‍රිය කරන්නේ රඟහලට ද පාපන්දු ක්‍රීඩාවටදැයි වරෙක ඔහුගෙන් ඇසු විට කැමු කීවේ ‘‘ආයෙ දෙකක් නෑ ෆුට්බෝල්!’’ යනුවෙනි.

කැමු දේශපාලනයට උනන්දුවක් දැක්වූයේ ශිෂ්‍ය අවදියේ පටන්මය. පළමුව කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් ඔහු ඊළඟට ඇල්ජිරියානු ජනතා පක්ෂයේ සාමාජිකයෙක් විය. ප්‍රංස යටත්විජිත ආධිපත්‍යයට එරෙහිව ඔහු ඇල්ජීරියානුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටියේය. පසුව ප්‍රංස අරාජිකවාදීන්ගේ ව්‍යාපාරය සමඟ ද ඔහු එක් විය.

දෙවන ලෝක සංග්‍රාමයේ ආරම්භයත් සමඟ ප්‍රංස හමුදා සමඟ එක්වූ කැමු ප්‍රංසය නාසි ආක්‍රමණයෙන් නිදහස් කරගැනීමට දායක විණි. ඔහුට සාත්‍රෙ හමුවන්නේ හමුදා සේවයේදීය. සටන් බිම සිටි කාල සීමාව අලළා ඔහු දේශපාලන තීරු ලිපියක් ලියූ අතර එය ප්‍රසිද්ධියට ද පත් කළේය. 1945 දී අමෙරිකාව හිරෝෂිමාවට පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ල කළ විට එය හෙළා දුටු මිත්‍ර පාර්ශ්වයේ සිටි ජනමාධ්‍යකරුවන් ස්වල්ප දෙනාගෙන් ඔහු ද අයෙකි.

1940 ගණන්වල සහ 1950 ගණන්වල කැමු පිටපත් රචනයෙන් වේදිකා නාට්‍යවලට ද දායක විය. ඉන් “කලිගියුලා” නාට්‍ය වඩාත් ප්‍රචලිත විණි. ඔහු නාට්‍ය 6ක් රචනා කර තිබේ.

හෙමිංග්වේ මෙන්ම කැමු ද ජනමාධ්‍යකරුවෙක් ද විය. කැමුගේ ලේඛක ජීවිතය ඇරැඹෙන්නේ ඇල්ජීරියානු පුවත්පතක මාධ්‍යකරුවකු වශයෙනි. පසු කලෙක ඔහු ප්‍රකාශ කළ පරිදි තමාට සිතාගත හැකි හොඳම වෘත්තියක් ලෙස එය සැලකිය හැකිය.

කැමුගේ අවසන් කෘතිය The First Man ය. ඔහුගේ මරණයට හේතු වූ රිය අනතුරට ලක්වූ වාහනයේ තිබී එම අසම්පූර්ණ අත්පිටපත සොයා ගැනිණි. ප්‍රබන්ධයක් ලෙස පෙනුණ ද ඉන් ඔහුගේම ජීවිත කතාව පිළිබිඹු වේ. දිළිඳු බවෙන් පීඩා විඳිමින් ගෙවීගිය ළමා කාලයේ ඔහුට සමීප චරිත මෙන්ම අකුරු නොදත් ඔහුගේ මව ද එහිදී අපට හමු වේ. ඇය අර්ධ වශයෙන් බිහිරිය.

කැමු සාංදෘෂ්ටිකවාදියකු ලෙස බොහෝ විට පිළිගැනුණ ද ඔහුම එය බැහැර කර තිබේ. තමාට කවර හෝ මතවාදීය සම්බන්ධයක් නොවන බව 1945 දී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු කීවේ, “නෑ, මං සාදෘෂ්ටිකවාදියෙක් නෙවෙයි, අපේ නම් මේකත් එක්ක ඈ‍ඳෙන එක ගැන මට වගේම සාත්‍රෙටත් හරිම පුදුමයි.!” යනුවෙන් පවසමිනි.

කැමුගේ ළමාවිය ප්‍රබන්ධ කතාවකට වුව පාදක විය හැකි අත්දැකීම්වලින් පිරුණු එකකි. ඔහුට ඉගෙනීමට පවා සිදු වූයේ අර්ධ කාලීන වශයෙනි. මුදල් ඉපැයීම සඳහා ටියුෂන් ගුරුවරයකු ලෙස ද, ලිපිකරුවකු ලෙස ද, කාලගුණ විද්‍යා ආයතනයක සහායකයකු ලෙස ද ඔහු නොයෙක් රැකියාවල යෙදිණි.

කැමු තමා ඇල්ජීරියානුවකු වශයෙන් සැලැකීමට වඩාත් ප්‍රිය කළේය. 19 සහ 20 වැනි සියවස්වල ඇල්ජීරියාවට සංක්‍රමණය වූ යුරෝපීන්ගෙන් පැවැත ආ අය ප්‍රංස පුරවැසියන් බවට පත් විය. කැමුගේ පියා ප්‍රංසයේ බොර්දොස් වැසියෙකි. මව ස්පාඤ්ඤයේ උපන් තැනැත්තියකි. මේ අනුව බලන විට කැමුට ඇත්තේ ගැඹුරු ඇල්ජීරියානු මූලයන්ය. කැමුගේ මරණයෙන් අඩසියවසකටත් පසු ඇල්ජීරියානු ලේඛක ප්‍රජාව සහ බුද්ධිමත්හු ඇල්බෙයා කැමු ඇල්ජීරියානු පුත්‍රයකු බව පිළිගත්හ.

කැමු දර්ශනවාදියකු බව ප්‍රකට ය. ඔහුට දර්ශනය පිළිබඳ උපාධියක් තිබූ බව ද දාර්ශනික මතිමතාන්තර ඉදිරිපත් කළ බව ද සැබැවි. ඔහුගේ උපාධි නිබන්ධනය “උතුරු අප්‍රිකානු අනෙකා” සම්බන්ධවය. එහෙත්, තමා සාංදෘෂ්ටිකවාදියකු ලෙස හැඳින්වීමට විරුද්ධ වූ පරිදිම දාර්ශනිකයකු ලෙස හැඳින්වීමට ද කැමු නොරිසි විය.

ඔහු සර්ව අශුභවාදියකු යැයි වටහා ගන්නට ඉඩ ඇතත් කැමු යනු සර්ව අශුභවාදියකු නොවේ. ඔහුගේ ජීවන රටාවෙන් ද ඒ බැව් පැහැදිලි වෙයි.

කැමු අමෙරිකානු විරෝධියෙක් ද නොවීය. ඔහු අමෙරිකානු හිතෛෂියෙක් ද නොවේ. යුද්ධයෙන් පසු නිව්යෝර්ක්හි සිදුකළ කෙටි සංචාරය ඔහු තුළ ප්‍රතිවිරෝධතා සමනය කළ සෙයකි. මේ ගමනේදී ඇති නැති පරතරය ජනජීවිත වෙළාගෙන ඇති අයුරු ද ඔහු දුටුවේය.

ඇල්බෙයා කැමු සහ ජෝර්ජ් ඔවල් නිවුන් සොහොයුරන් බවට ප්‍රවාදයක් තිබිණි. ඔවල් කැමූට වඩා උස් සිරුරකින් යුතු මෙන්ම ට්වීඩ් රෙද්දෙන් මැසු ඇඳුම් ඇඳීමට ප්‍රිය කළ අයෙකි. මේ දෙදෙනා අතර තිබූ ඇතැම් සමාන ගති ලක්ෂණ නිසා මෙවැනි ප්‍රවාදයක් ගොඩනැ‍ඟෙන්නට ඇත. දෙදෙනාම දුම්පානයට ඇබ්බැහි වූවන්ය. දෙදෙනාටම ක්ෂය රෝගය වැලඳී තිබිණි. දෙදෙනාම මියගියේ අඩු වයසිනි. දෙදෙනාම දේශපාලන මතිමතාන්තර දැරූවෝ වූහ. ඔවුහු වාමවාදීහු වූහ. කෙසේ වුවද තමන් කොමියුනිස්ට්වාදීන් නොවන බව දෙදෙනාම කියා සිටියෝය. දෙදෙනාම සදාචාරාත්මක අවබෝධත්වයෙන් යුතු වූ අතර පුද්ගල ධෛර්යයෙන් යුතු අය වූහ. මේ දෙදෙනාම ඔවුන් ජිවත්වූ යුගයේ පමණක් නොව අදට ද අත්‍යන්තයෙන්ම අදාළ වන්නා වූ චරිත දෙකකි.

කැමු දෙවරක් විවාහ වූ අතර දෙවතාවම දික්කසාදයෙන් කෙළවර විය. පළමු බිරිය සිවොන් හයි ය. දෙවන බිරිය ෆ්රැන්සිස් ෆවුර් පියානෝ වාදන ශිල්පිනියක මෙන්ම ගණිතඥයෙකි. මේ හැරුණු විට කැමුට තවත් කාන්තාවන් කිහිප දෙනකු සමඟම සම්බන්ධතා තිබිණි.

කැමු රිය අනතුරකින් මිය යන විට එම වාහනය පැදවූයේ කැමුගේ ග්‍රන්ථ ප්‍රකාශකයා මෙන්ම සමීප මිතුරකු ද වූ මයිකල් ගලිමාඕය. අනතුරින් ඔහු ද මිය ගියේය. ඒ වන විට කැමුගේ කබා සාක්කුවේ දුම්රිය ප්‍රවේශ පත්‍රයක් ද විය. ඔහු බිරිය සහ දරුවන් ද සමඟ දුම්රියෙන් යාමට සැලසුම් කර සිටිය ද අවසන් මොහොතේ මිතුරාගේ ඉල්ලීමට කන් දෙමින් එම වාහනයට ගොඩ වී තිබිණි. ඔහුගේ මරණය සෝවියට් කුමන්ත්‍රණයක් බවට ඇතැම් මාධ්‍ය වාර්තා කළ ද කැමුගේ අපදානය ලියූ ඔලිවියර් ටොඕ එය බැහැර කර තිබේ.

Comments