කවි කල්පනා | සිළුමිණ

කවි කල්පනා

ජීවි­ත­යක ‘කහට’, ‘පාට’

කඳු­නිල මතින් හිරු අසු­නට ඇවිත් ඇත
සම­නල සරින් අතැ’ඟිලි නළි­ය­මින් ඇත
සිතු­විලි සියොත් වෙස් ගෙන දිව යමින් ඇත
දලු පැස බරින් කොඳු ඇට කකි­ය­මින් ඇත

ඈතින් ඉඳන් දලු සිඳ­ලන හැටි බල­පන්
සීතෙන් වුවද උන් හති­ලන හඬ අස­පන්
පාතින් පෙනෙන හෙළ කොප­මණ දැයි සිත­පන්
රාසින් වගේ ලැයි­මට එබි­කම් කර­පන්

රොටි­යට ලුණු මිරිස කට දිව දවා­පියා
බඩ-කට අඩ­කට ම හිස් කොට තබා­පියා
ලැයි­මට උඩින් පායන හඳ මවා­පියා
උඹ­ලට උරුම දුක උඹල ම ගෙවා­පියා

කහට, පාට, රස ඇත්තේ ළා දල්ලේ
රෑට දවා­ලට උද­යට ඇති ලොල්ලේ
ගැහැට විඳන් දලු සක­සන මුත් කෙල්ලේ
කාට කළත් නුඹ තව­මත් අගු පල්ලේ...!


ගොංගි­තොට සරත්


සීගි­රියේ කඳුළු

තුන්යම රැයේ දැඩි සීතල උහු­ලන්නේ
හිරු රැස් වැදී දහ­වල ගත ගිනි­දන්නේ
පෙම් කළ හිතට ඇයි මේ හැටි වද­දෙන්නේ
කස්සප යළිත් කෙදින ද අප හමු­වන්නේ

නිලු­පුල් අත තබා ගෙළ වට මල් බැඳලා
සීගිරි ගලේ කදි­මට මගේ රුව ඇඳලා
කට­රොළු කැලේ දුව පැන පෙම් සුව විඳලා
පිටවී ගියේ ඔබ මා හිස පිරිමැදලා

පෙරදා වගේ තුරු­ලට ගෙන සන­සන්න
හැරදා නොගොස් ආද­ර­යෙන් ළඟ ඉන්න
කවදා නමුත් අග මෙහෙ­සිය කර ගන්න
හැමදා පැතු පැතු­මට ඉඩ සල­සන්න

රළු ගල් කුළක විස්මිත කැට­ය­මක් නැ‍ඟෙයි
කැට­පත් පවුර - බිතු සිතු­වම - රටක් වගෙයි
සීගිරි කුරුටු ගී අද මෙන් හෙටත් අගෙයි
ආලක මන්දාව සම­ඟින් ඔබත් මගෙයි


රත්නා ලංකා අබේ­වි­ක්‍රම
 


ඔබ නිසා

තුරු වදුලු පිස හමන
මඳ සුළඟ රොනි­න­වල
වගේ සනහා ගෙනෙන
ඔබේ ආද­රය ළඟ
නොනිම් සතු­ටක් දැනෙයි
පිපි සුවඳ කුසු­මක්ව
නෙත අසල නිති රැ‍ඳෙන
ඔබේ රූ සිතු­ව­මක
නැ‍ඟේ මුදු මඳ­හාස
පැතුමු සයු­රක් නැ‍ඟෙයි
හිම සිසිල සිහිල දෙන
සඳ සසල සේ රැඳුණ
සිතේ නෙක දුක් පිසින
ඔබේ තුඟු පිය තෙපුල
නිවයි සැන­සුම් මැවෙයි.


තිලක් ඒක­නා­යක


අව­න­ඩුව

සිර කර­ගෙන මා
නුඹේ ඇස් දෙකේ
හැදුවේ ඇයි මට
සිපිරි ගෙයක්

ජෝජ් රොබ්සන් ද සිල්වා


සොබා­දම පවා සස­ලව

(නිමිත්ත: වන සැරි­යේදී අතු­රු­දන් වූ සහෘ­දයා වෙනු­වෙනි)

ගසේ වැල් අතර සැරි­ස­රන සුළඟ
සෝ ගී රාව නංවයි
ගන­ඳුරු අහසේ සඳ තරු ගිල­ගත්
මූසල වලා­කැටි රොක් වේ
සිඟා­ල­යෙකු ගේ උඩු බිරුම
දීර්ඝ විලා­ප­යක් ලෙසින් සව­න්පත් රිද­වයි
වැල­පෙන විලෝ තුරක්
සිහි­සුන්ව බිම පතිත වේ
හඬ­මින් ගඟ දිය ගලා බසින හඬ
හද­වත කම්පිත කර­වයි
වන ළැහැබ පුරා­වට
පාළු හිස් බවක් පැතිරේ
මලා­නි­කව දැල්වෙන කූඩා­රම් ගිනි­මැ­ලය අසල
ඔබ සොයා වෙහෙස වූ අප සැම වැතිරේ


ගංගා වරු­ෂ­වි­තාන


උදා විලා­පය

පුරන් කුඹුරු අත­හැර මීදුම ගොසිනි
ලයි­ලැක් මල් ගස් උදා තරුව සඟ­වා­ලයි
අතු පත­රින්
තුන් දව­සක් පුරා­
රැඳී සිටි­යෙමි ඔබ දෙපා අසල
ගෙයක් වටා යන සොරෙකු මෙන්
පාඟිලි තුඩුවලින් ඇවි­දි­මින්
අවදි වේ යයි සිතා ඔබ
නමුදු තනි­වීමී මම
රළු කළ යහන මත
ඇසි­පිය නොහෙළා බලා හිඳිමි
ඔබ හිස තැබූ කොට්ටය වෙත
ඔබ ළඟ නැති­කම මා පෙළයි
මගේ ශෝකය, නැවත මා ගෙන යයි තාරු­ණ්‍ය­යට
සහෘ­දය, සබඳ පිළි­ගන්නේ ද ඔබ
කීවො­තින් මා එය.
වසර ගණ­නක් පුරා­වට
පළමු වතා­වට
ඇසේ මට ගී ගයන කුරු­ල්ලෙ­කුගේ උස් හඬ
තෙත­බ­රිත, අඳුරු
ඔබ සැත­පෙන නිසල සොහොන වෙතින්


සමන් හේරත්

පූලි­ට්සර් සම්මා­න­යෙන් පිදුම් ලද ඇමෙ­රි­කානු මහා­චාර්ය ROBERT BERNARD HASS ගේ COUNTING THUNDER කාව්‍යයේ පරි­ව­ර්ත­න­යකි.


ජන­පද කල්‍යා­ණි­ය­ගෙන් නන්ද කුම­රුට

නිවෙනු පිණිස නොව
දැවෙනු පිණිස ඔබ
සුර­ඟන සිහි­නෙක කිමි­දුණු දා
බාල වියේ බැඳි පෙම
අම­තක කර
නව­දැලි හේනක ජර­පත් වැඳි­රි­ය­කැයි
මට අව­මන් කෙරුවා
ජන­පද කල­ණිට
අභි­සෙස් ලැබුදා
ඇතුන් බරට රන් රුවන් රැගෙන විත්
නෙක රජ කුම­රුන්
පැතු­වද මා අත
ඔබම පැතූ මා
තිර වචනේ සිටියා
වැර­දී­මක් ලෙස
මා පෙම් කළ මුත්
ජර­පත් සිත් ඇත්තෙකු ගාවා
කඳුළු හෙළන්නේ නෑ කිසිදා
මේ බව­යේදී නිවන් දකි­න්නට
අස­මත් වූවොත් මා
ඔබ වත සිප එන
සුළං පොද­ක්වත්
වැදෙනු එපා
සස­රෙහි කිසිදා

ලීලා විජේ­රත්න


අප්පච්චි

අක­නිටා බඹ ලොවේ
තව්තිසා දෙව්ලොවේ
කොහේ හරි තැනක ඇති
මට එහෙම හිතෙ­නවා
පන්සලේ පෝයදා
හිඳ ගනිපු කෙළ­වරේ
ඔබෙ සුවඳ හැම­දාම තියෙ­නවා
සිලි සිලියෙ බෝ කොළත්
හඬ­නවා...
නුඹ සෙමෙන් පිය­මැන්න
ගුරු පාර පෙර වගේ තියෙ­නවා
කැඩුණ ගේ පඩිය අද
ඔබේ පා පහස නැති
මගේ හිත වගෙයි මට
හිතෙ­නවා...

ජගත් ප්‍රසන්න කුරු­ගම


අම්මේ

‍සොහොන් කොත් කුම­කට ද
නුඹේ අළු තැන්පත් කළ තැන
ඉඩ හරිමි එතැන
මල් ඇට වලට පැළ­වෙන්න
මායි­මක නොන­ව­තින සුවඳ උප­දින
මල් පිපේවී අම්මේ
හෙට එතැන

වසන්ත ප්‍රියං­කර නිවු­න්හැල්ල


මිතුර

නුඹ හා බැඳුණ මිතු­දම පොඩි සමයෙ සිට
අඹ යාළු­වන් ලෙස කීවත් නොමැත කැට
ලැබ ගත් මතක් සට­හන් පෙළ මෙනෙහි කොට
හබ­යක් වෙලා ඇත මන­සින් ලියන විට

මාවත් දිගේ තාමත් පා ලකුණු ඇත
ඒදඬු පාල­මක් දැන් හැඩ වෙලා ඇත
කෝ අප දුටුව සුන්දර ගම ගිලා ඇත
ඒ රස අතී­තය නැව­තත් නොඑනු ඇත

එක හා සමා­නයි වය­සින් මුහු­කු­රුය
රැක ගත් දහම ඒ ලෙස­ටම පිය­ක­රුය
වක­වා­නු­වක සිදු වුණ දෑ බිය­ක­රුය
දුක හා සතුට මැද දිවි ගෙව් කැප­ක­රුය

යුද වදිනා කලෙක පෙම් හබ රස පහ­සින්
ලඳ­කට ආලෙ කෙරුවා දෙදෙනා රහ­සින්
අද ඇය නැතත් අප අත­හැර ගොස් විග­සින්
හොඳ හිත තවත් ලිය­ලයි පෙර කල විල­සින්

වත ගොත කුමට එහි ඇති සිතු­විලි රමණී
කොත රන් වටී­විද විම­සිය යුතු ලැමනී
ළත වී පලක් නැත ඒ සුන්දර කමනී
හිත වත ඉතිරි වූයේ මත­කය පමණී

අතුල කෝදා­ගොඩ


නය­ගරා

නයන ප්‍රමු­දිත සුවය කැන්දා සුව­හ­සක් සිරි පැහැ­සරා
යනෙන දන මන එහිම බන්දා සිහිල් සුව දී මන­හරා
ගයන මියු­රස නොහිද මන්දා යුග සවන් පිරි අම­යුරා
රාව ප්‍රති­රා­ව­යන් රන්දා රඟයි කොම­ළිය නය­ගරා

දෙනෙත අද­හනු නොහේ රූ සිරි වරුණ අබි­මුව රඟන්නේ
දිලෙන දිය­රැළි නඟන මඳ­හස මියුරු සර­යකි ගෙනෙන්නේ
සැලෙන සියු­මැලි සිනිඳු සුදු මුතු තලා­වක් වී දිලෙන්නේ
මැවෙන සුන්දර දසුන අත­හැර කෙලෙස පිය­වර නගන්නේ

ලොවේ මෙත­රම් සොඳුරු දසු­නක් ඇතැයි සිත­නට නොහැ­කි­වේ­මය
සැලේ මසි­තෙහි සදා­ක­ල්හිම වස­ඟ­යට පත් සොඳුරු යාමය
මලේ පෙම්බැඳි බමර කැලයේ දනන් මන බැඳි සුර කුමා­රිය
දිලේ නිර­තුරු හදේ සැඟ­වුණු නය­ගරා නම් දේව දූතිය

කුසුමා වර්ණ­සූ­රිය


නොලියූ කවිය

දිය­දම පිසියි කඳු­ළින් පිරුණු නෙත් විල
හඬ දේ සුවඳ මණි­යෙන් බැඳපු සත් වල
සට­හන් තැබූ ලෙස මම බිලිඳු සිත් වල
මොන­වද ලිය­වුණේ, ඒ නොලියු පොත් වල

වැසි වට දියෙන් මුළු මිහි­ක­තම තෙත් කළ
අහසේ වලා මැද ඉඟි කෙරුණු ගත් වැල
කවි රස වැගි­රුවා වැව් වෙණෙහි තත් වල
තව­මත් මතුව එයි ඒ මිහිර හිත් වල

හිම මුසු සඳ වතුර වන පෙතට වත් කළ
වන දෙව් ලියන් ඔබෙ කවි හරිත පත් වල
ලියු­වෙන් පිපුණු මල් වැට සුවඳ වත් කළ
සංගී­ත­යෙන් ඉගි­ළුණි බමර තත් වැල

හිත සුව පිණිස වෙර වැඩ අරුත වත් කළ
සඳ­කැන් රිවි කිරණ ඉඳු ගුණෙනි අත් කළ
ඔබම මගේ ලොව, දිවි මගෙහි අත් වැල
වැල­පෙමි පියා­ණෙනි, ඔබ සරණ පත් මුළ!

සෙනෙ­හස දියෙන් නය­නදි කඳුළු තෙත් කළ
සුළ­ඟක් ලෙසින් පිය හද මැඳුර අත් කළ
මම පන්හි­ඳක් වෙමි, ඔබ සුරත පත් කළ
දහ­සක් දේ රැඳුණි ඔබ නොලියු පොත් වල

ගඟ මැද රැ‍ඳෙනු දුටු හෙය බැඳුණු අත් වැල
අස­ර­ණ­කම නැ‍ඟෙයි, දිය­ණි­යගෙ නෙත් වල
පස් දස­ක­යක් තුළ හද සුවඳ වත් කළ
ඔබ ගුණ ලියමි, ඔබගේ නොලියු පොත්වල


චිත්‍රා අයි. පෙරේරා


 පිළි­තුරු අපේක්ෂා කරමි


බිලි­ඳෙ­කුගෙ නෙතක් ළඟ
කඳු­ළ­කට සැර­සෙන...
සිනා මලක් වී
පිපෙ­න්නට පුළු­වන්ද?

ගිම්හා­නයේ දොර­කඩ
මියෙ­න්නට තත­නන මලක් ළඟ...
මොහො­ත­කට වස­න්ත­යක් වී
පිබි­දෙන්න පුළු­වන්ද?

හෙටක් ගැන සිහි­න­ය­කට
නිමිති නැති හද­ව­ත­කට
බලා­පො­රො­ත්තු­වක් වී වඩින්න
සිතු­වි­ල්ල­කට පුළු­වන්ද?

මංමු­ළා වී තනි වුණු
අන්ධා­කාර දෑස­කට
දිලි­සෙනා තරු ලකු­ණක්ව
මඟ කිය­න්නට පුළු­වන්ද?

සදා­කල් මා නිදන
නිසල බිම ළඟට වී
කඳුළු නැති මතක සුසු­ම­කින්
නිහ­ඬ­වම සමු­දෙන්න පුළු­වන්ද?

සුපුන් අතු­කෝ­රල
(‘ප්‍රේම­යට ඉඩක් ඇත’ කාව්‍ය සංග්‍ර­හ­යෙනි)


ද්වන්ධ සටන සහ ප්‍රේමය

අසෙකු - වෙළ­ඹක
පිට නැඟි ගත්
අස­රුවෝ...
එකි­නෙකා හා
යුද වදිද්දී...
අසුත් - වෙළ­ඹත්
පෙම් කළෝ...
අසු­රුවෝ නම්
නුදු­ටුවෝ

අනුර බී. සෙනෙ­වි­රත්න


කැලණි දැරි­යගේ ප්‍රාර්ථ­නය


කැලණි පුරට ආ අය වන්ද­නාවේ
ඉඳුල් අහර දුන්නයි සිත දයාවේ
මට හිමි නැතත් සැන­සුම බුදු සිනාවේ
නිවන් පුරට ඒ ඇත්තෝ ගියාවේ

සෙන­රත් ගොන්සල් කෝරාළ


එතෙර කවිය

 ළමා­විය

විශ්වාස නොක­රමි පෙර මෙන්
යෝධ­යින් ගැන කතා මම දැන්
පෙනෙ­න්නෙත් නැහැ මට
කඳු මුදුන් මත සුර­ඟ­නන් ඉන්න තැන්,
සුදු පාට වලා­කුළු පා වුණත්
තවම අප ගම උඩින්
ඒව­යෙන් මැවෙන්නැහැ
තාත්තගෙ ජටාවේ හැඩය දැන්,
දි‍ෙලන තරු පිරුණ නිල් අහස
විඳිමි මම රැය පුරා මුළු හදින්
සොයා­ගත නොහැකි
මුදු සොඳුරු තරු රටා පෙරදා ලෙසින්
ඒවාද වැන­සිලා යන්ට ඇති හෙමි හෙමින්
බිහිරි වී නැති නමුදු මා කිසි ලෙස
නොවැ­ටහේ මඳ පවන දොඩන බස,
දෙනෙත් අඳ වී නැති නමුදු කිසි ලෙස
නොපෙ­නෙයි ඉඟි­බි­ඟිය තරු ඇස,
සෑහෙන කලක් තිස්සේම සිට
ළමා­විය මට පායි නොස­තුට,
කළ යුත්ත නොවැ­ට­හෙයි මට
ළමා­විය උද­හස්ව සිටින විට
හරි­යට මා ඔබ හා සිටින විදි­හට
ඔබ මට බොරු කරන තර­හට.
 

රෂීඩ් ඛාට්ටාක් - Rashid Khattak

වෘත්ති­යෙන් පුව­ත්පත් කලා­වේ­දි­යකු ලෙස කට­යුතු කරන රෂීඩ් ඛාට්ටාක් ඇෆ්ගන් අඩාබි බහීර් නමැති ඇෆ්ගන් ලේඛක සංවි­ධා­නයේ ආර­ම්භක සාමා­ජි­ක­යෙකි. පැෂ්ටෝ බසින් උර්දු සහ ඉංග්‍රීසි යන භාෂා­ව­ලට කවි, කෙටි­කතා සහ නව­කතා වැනි නිර්මාණ පරි­ව­ර්ත­නය කර ඇති ඔහු රුසි­යානු ලේඛක මැක්සිම් ගෝර්කිගේ කෙටි­කතා විස්සක් ඉංග්‍රීසි බසින් පැෂ්ටෝ බස­ටද පරි­ව­ර්ත­නය කර ඇත. පාවුලෝ කොයියෝ විසින් රචිත Alchemist නමැති නව­ක­තා­වද පැෂ්ටෝ බසට පරි­ව­ර්ත­නය කර ඇති ඔහු සිය කාව්‍ය නිර්මාණ ඇතු­ළත් කාව්‍ය සංග්‍ර­හ­යක්ද පළ කර ඇත.


ළමා­විය සොඳූ­රුය. කවර අග­හි­ඟ­කම්, නැති බැරි­කම් මධ්‍යයේ වුවද ළමා­වියේ මිහිර සහ ආස්වා­දය විඳ­ගත හැකිය. වැඩි­හි­ටි­යන් විසින් කියා දෙනු ලබන රස­වත් කවි, කත­න්දර ඔස්සේ යෝධ­යන්, සුරං­ග­නා­වන්, රාස්ස­යින් සහ නපුරු මායා­කා­රි­යන් වැනි විවිධ චරිත පිරි­ව­රා­ගත් සොඳූරු ඉස­ව්වක ළමා­විය සැරි සරයි. එහෙත් ළමා­වි­යෙන් පිටමං වී වැඩි­හිටි වියට එළැ­ඹෙන විට ඒ බොහෝ දේ ජීවි­ත­යෙන් දුරස් වෙයි. එදා ළමා­වියේ ඇසූ කතා දැන් විශ්වාස කළ නොහැකි බවක් හැඟී යයි. එදා ඒ පරි­ක­ල්ප­නා­ත්මක ඉසව්ව තුළ රැඳී පැවැති මිහිර, ළෙන්ග­තු­කම ඒ අයු­රින්ම තව­දු­ර­ටත් විඳ­ගත නොහැකි බවක් දැනෙයි. එදා දුටු සොඳූරු තරු රටා සහ මඳ පවනේ බස දැන් නැතැයි හැඟෙයි. මවා­ගත් ලෝක­යක් ගැන අවං­කව විශ්වාස කර­මින් ඒ ලෝක­යට සැබෑ ලෙසම ආද­රය කරන ළමයා වැඩි­හිටි වියට එළැඹි පසු සැබෑ ලෝක­යේදී අත්වි­ඳී­න්නට සිදු වන බොරුව, ව්‍යාජය සහ රැව­ටිල්ල වේද­නා­කා­රීය. තමන් දැඩි ලෙස ආද­රය කරන අය පවා තමන්ට බොරු කරන බවක් දැනෙන විට මේ වැඩි­හි­ටි­යාට ඇති වන්නේ තර­හකි. කළ යුත්තේ කුම­ක්දැයි වට­හා­ගත නොහැ­කිව, විපි­ළ­ස­රව සිටින ඔහු යළි ළමා­වියේ චම­ත්කා­රය සොය­න්නට වෙහෙ­සෙයි. ඒ තුළ ඇත්තේ අතී­ත­කාමී හැඟී­මකි.


මෙම කාව්‍ය නිර්මාණ්‍ය ඔස්සේ ලොව කොයි කොතැ­නක ජීවත් වන අයෙ­කුට වුවද පොදු වූ අත්දැ­කී­මක් ඉදි­රි­පත් කිරී­මට කවියා උත්සාහ ගෙන ඇති බව පෙනෙයි. මතු­පි­ටින් කියැ­වෙන ඒ සරල අද­හස තුළ සැඟව ඇති යටි­පෙළ අරුත් මතු කිරී­ම­ටද කවියා සමත්ව ඇත. දිගු කලක් තිස්සේ සිය රට මුහුණ දෙමින් සිටින බිහි­සුණු ත්‍රස්ත­වාදී ගැටුම් නිසාම අත්වි­ඳී­මට සිදුව ඇති සමාජ ආර්ථික සහ දේශ­පා­ලන අර්බු­දය හමුවේ ජන ජීවි­තය මුහුණ පාමින් සිටින ඛේද­වා­ච­කය ගැන ඉඟි­යක් ද මෙම නිර්මා­ණ­යෙන් ඉදි­රි­පත් වෙයි.

පරි­ව­ර්ත­නය - අජිත් නිශාන්ත

Comments