ඉන්දීය ටෙලිනාට්‍ය නිසා ලංකාවේ ටෙලි නාට්‍ය විනාශ වෙනවා කියලා මම පිළිගන්නේ නෑ | සිළුමිණ

ඉන්දීය ටෙලිනාට්‍ය නිසා ලංකාවේ ටෙලි නාට්‍ය විනාශ වෙනවා කියලා මම පිළිගන්නේ නෑ

බුද්ධිනී ජයවර්ධන

‘ගිම්හානයේ ගීනාදය’ චිත්‍රපටයේ විජය කුමාරතුංගයන් සමඟ රංගන වරම් ලබන විට ඇයට වයස අවුරුදු තුනකි. පසුව චිත්‍රපට මෙන් ම ටාසන්, ඔෂීන්, රාමායනය, සෙනෙහසේ අයිතිය, බටහිර මාළිගාව වැනි රූපවාහිනී ටෙලිනාට්‍යවල හඬකැවීම් ශිලිපිනියක ලෙස ද Short Time සිනමා සඟරාවේ ප්‍රධාන සංස්කාරිකාව ලෙස හා වෙනත් මාධ්‍ය ආයතනයන්හි ද සිනමාව පිළිබඳ පුවතපත් කලාවේදිනියක ලෙස ද ක්ෂේත්‍රයට අවතීර්ණ වන ඈ සඳකිඳුරී මං (2013), අහස් (පළවීමට නියමිත) නවකතා නිර්මාණය කරන්නී ය. නමින් බුද්ධිනී ජයවර්ධන නම් වන ඇය මේ වන විට සඳකිඳුරී මං, විහාරා, ආදර දඩයම, අහස් යන ටෙලිනාට්‍ය තිර පිටපත් රචනා කරමින් ටෙලි තිරපිටපත් රචනයට පිවිස සිටින තුරුණු කාන්තා නියෝජනයකි.මෙවර තුරුණු මඬල සංලාපය බුද්ධිනී ජයවර්ධන සමඟ ය.

• වර්තමානයේ රසික ප්‍රජාව අතරට යා හැකි පහසු ම කලා මාධ්‍යය වන්නේ ටෙලි නාට්‍යයයි. වර්තමාන ටෙලි නාට්‍ය කලාකරුවා එසේ පහසුවෙන් රසික ප්‍රජාව වෙත පිවිස කලාවේ සැබෑ කාර්යභාරය ඉටු කරනවා යයි ඔබ සිතනවාද?

ශ්‍රී ලංකාවේ පළමු ටෙලිනාට්‍යය වන ‘දිමුතු මුතු‘ ටෙලිනාට්‍යයේ සිට මෑතකදී නිෂ්පාදනය වන දීර්ඝ මාලානාටක හැර බොහෝ ටෙලිනාට්‍යය අපේ හිත්වල රැඳිල ති‍ෙයනවා. නිසි අධ්‍යාපන සුදුසුකම් නොමැතිව පහසුවෙන් ම තෝරාගත හැකි රැකියාව ලෙස ටෙලිනාට්‍ය කලාව තෝරාගැනීමයි මීට හේතුව. ප්‍රමිතියකින් තොරව ටෙලිනාට්‍ය බිහි වෙනවා. ටෙලිනාට්‍යයක මුලින් ම අපි වැලඳගන්නේ රූපයයි. අපි පුරුදු වෙලා ඉන්නවා අපි කැමති රූප හොයන්න. ඒ වගේම අපි කැමති නළු නිළියන් කොපමණ සිටියත් එහි කතාව අසාර්ථක නම් ප්‍රේක්ෂකයා එය වැලඳගන්නේ නෑ. එහෙත් මේ ටෙලිනාට්‍ය අංක එකේ ටෙලිනාට්‍ය කියලයි ඒවා ප්‍රචරය කරන නාලිකා කියන්නේ. මෙතන තියෙන්නේ මාෆියාවක්. මෙවැනි තත්ත්වයක් තුළ කලාවක් බලාපොරොත්තු වෙන්න බැහැ.

• එහෙත් ඔබ පවසන මේ මාෆියාව ඇතුළතත් විශාල රසික ප්‍රජාවක් නියෝජනය වෙනවා නොවේද?

අද අපේ ප්‍රේක්ෂකයන් අතර බහුතර ජනප්‍රියතාව දිනා ගෙන සිටින්නේ සිංහලෙන් හඬකවා ප්‍රචාරය කරන ඉන්දීය ටෙලිනාට්‍යයයි. ඊට හේතුව ලෙස මා දකින්නේ රසිකත්වය නෙවෙයි, ඇබ්බැහියයි. තමන්ගේ ජීවිතයේ අඩුපාඩුවලට සහ තමන් සොයන දෙයට කතා කරන ටෙලි නාට්‍ය තමයි අද එසේ ජනප්‍රිය වෙලා තියෙන්නේ. පවුල් ආරවුල් වැනි දේවල් ඒ අතර ප්‍රබලයි. පවුල් ප්‍රශ්න කියන දේවල් සමාජයේ ඕන තරම් තියනවා. එහෙත් ඒ පෞද්ගලික කාරණා පොදු කරලා සමාජගත කරන්න අවශ්‍ය නැහැ. අපේ ඇතැම් නිර්මාණකරුවන්ට වැරදුණ තැනත් මේ නිර්මාණ අනුකරණය කරන්න යෑමයි. ඔවුන් පොදු ප්‍රේක්ෂකයා හඳුනාගෙන නැති බවකුයි පෙනෙන්න තියෙන්නේ.

• ඉල්ලුමට සැපයුම් න්‍යාය කලාවට අදාළ වෙන්නේ නැහැ නේද?

මෙතන ඉල්ලුම කියන්නේ ප්‍රේක්ෂකයා වැඩිපුර වැළඳගන්නා දේටයි. උදාහරණයක් ලෙස පොඩි ළමයෙක් ඉන්න ටෙලි නාට්‍යයක් ජනප්‍රිය වුණොත් හැමෝම තමන්ගේ ටෙලිනාට්‍යයට පොඩි ළමයෙක් ඇතුළත් කරගන්නවා. ඒකෙන් බලාපොරොත්තු වන්නේ කොටස් සියයට හදලා තිබුණු තමන්ගේ ටෙලි නාට්‍යය කොටස් දෙසීයක් දක්වා දීර්ඝ කරගෙන මූල්‍යමය වාසි අත්කර ගැනීම මිස ප්‍රේක්ෂකයාට හොඳ දෙයක් දීම නොවෙයි. අනෙක මේ ඉල්ලීම් ලැබෙන්නේත් ප්‍රේක්ෂකයන්ගෙන් නෙවෙයි. ඒ සඳහා හොඳ උදාහරණයක් පසුගිය කාලයේ ආරංචි වුණා. එක්තරා පෞද්ගලික නාලිකාවකින් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකුට කතා කරලා කියලා තියෙනවා, ප්‍රචාරය වෙමින් තිබෙන ඒ ටෙලිනාට්‍යයට නයෙක් ඇතුළත් කරන්න කියලා. ඒකට හේතුව නයෙක් ඉන්න ඉන්දීය ටෙලිනාට්‍යයක් ඒ වනවිට ජනප්‍රිය වී තිබීමයි. මේ අනුකාරකවලින් අසාධාරණයක් වෙන්නේ ප්‍රේක්ෂකයාට පමණක් නෙවෙයි, ප්‍රතිභාන්විත ශිල්පීන්ටත් තමන්ගේ ශක්‍යතා ප්‍රයෝජනයට ගන්න බැරි වෙනවා.

• ඉන්දීය ටෙලි නාට්‍ය නිසා මේ රටේ නිර්මාණකරුවන්ට අසාධාරණයක් වන බවක් හඬ කැවීම් ශිල්පිනියක ලෙස ඔබ සිතනවාද?

හඩකැවීමේ කලාව වෘත්තීමය වශයෙන් කරන ශිල්පින් විශාල ප්‍රමාණයක් අප අතර ඉන්නවා. ඒක ඒ අයගෙ ජීවිකාවයි. ඉන්දියානු ටෙලිනාට්‍ය නිසා ලංකාවේ ටෙලිනාට්‍ය විනාශ වෙනවා කියලා මම පිළිගන්නේ නෑ. රූපවාහිනිය නිසා සිනමාව විනාශ වුණා කියලත් ඇතැම් කෙනෙක් කියනවා. කොහොමද එහෙම වෙන්නේ? ඉන්දියාවේ සිනමාව තමයි ලෝකයේ ඉදිරියෙන් ම ඉන්නේ. කෝ රූපවාහිනිය තිබුණා කියල ඒ අයගෙ සිනමාවට විනාශයක් වුණාද? ප්‍රේක්ෂක රස වින්දනය දැනගෙන ඊට ගැළපෙන පරිදි නිර්මාණ කරනවා නම් පවතින ප්‍රතිශතයෙන් සැලකිය යුතු පිරිසක් කලාව වෙත යොමු කරන්න පුළුවන්. අපට දක්ෂ ශිල්පින්, ශිල්පිනියන් ඉන්නවා. ඉන්දියානු නිර්මාණවලට තරඟයක් දෙන්න අපට පුළුවන්. ඒත් ඒ දක්ෂයන්ට නාලිකාවලින් වටිනාකමක් දෙන්නේ නෑ. නාලිකාවකින් ටෙලිනාට්‍යයකට ලබාදෙන මුදල ඉතා අවමයි. වටිනාකමක් නැතුව නිර්මාණ කරන්න බැහැ.

• තිර පිටපත යනු ටෙලිනාට්‍යයකින් සියයට හැටක් යැයි සෝමවීර සේනානායකයන් පවසනවා. අද පවතින ටෙලිනාට්‍ය අවගමනයට විසඳුමක් දීමට හොඳ ම අවස්ථාව තිබෙන්නේ තිර පිටපත් නිර්මාණ ශිල්පීන්ට නොවේද?

තිර පිටපත් රචනයේ අංකුර ශිල්පිනිියක වුණත් ඒ මතයේ මමත් ඉන්නවා. ඒ නිසා මම මගේ නිර්මාණවලදි සමාජයේ බොහෝ මිනිසන් ව අධ්‍යයනය කරනවා. කාන්තාවක ලෙස මගේ සිතුවිලි පමණක් නොවෙයි මා සමාජයෙන් උකහා ගන්නා අනෙකාගේ ජීවිතයත් මගේ නිර්මාණවලට උපස්තම්භ කරගන්නවා. එහෙත් ඇතැම් තිර පිටපත් රචකයන් තිර පිටපත රචනා කරන්නේ ඊළඟ දර්ශනයට සහභාගි වන නළු නිළියන් හෝ රූගත කිරීමට පහසු ස්ථානය ආදිය සැලකිල්ලට අරගෙනයි. ඒකට නාලිකාවලින් බලපෑම් එනවා. එහෙම මාෆියාවක් තියෙද්දි කොහොමද හොඳ නිර්මාණ බිහි වෙන්නේ?

• කර්මාන්තයක් වන ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට කාන්තාවක ලෙස ප්‍රවිෂ්්ට වීමේදී ඔබට තිබූ අභියෝග මොනවාද?

ගැහැනියක ලෙස සමාජයේ තනිව ජීවත් වීම අසීරු කාර්යයක්. මා විවාහය නිසා එක් තැනකදී ජීවිතයේ කඩා වැටුණු ගැහැනියක්. තනිව ජිවිතය අමාරුවෙන් ගැටගහගෙන ජීවත් වන අතර සමාජයට බොහොම හොඳයි කියල පෙනෙන ඇතැම් චරිත පටු උවමනාවන් වෙනුවෙන් උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ඒත් මහත්මා ගති තියන අයත් අප අතර ඉන්නවා. මා ගැහැනියක ලෙස මුදල් හම්බකරන්න හෝ ඉහළට යන්න හෝ ස්ත්‍රීත්වය පාවිච්චි කරලා නෑ. අපේ රටේ ටෙලිනාට්‍ය තිර පිටපත් රචිකාවන් අතළොස්සයි ඉන්නේ. ඒ වගේම මාධ්‍ය ක්ෂේත්‍රයේත් මට හොඳ සහෝදරත්වයෙන් යුතු පිරිසක් ඉන්නවා. මට ලැබුණු අපහාස විවේචන සියල්ල පන්නරයක් කරගෙන තමයි මම ක්ෂේත්‍රයේ ඉන්නේ. සාර්ථක පිරිමියකු පිටුපස සාර්ථක ගැහැනියක සිටිනවා වගේ ම සාර්ථක ගැහැනියක පිටුපසත් සාර්ථක සහකරුවකු සිටිනවා.

Comments