
ඉස්සර කාලේ අන්දරේ ‘උඹේ කටෙත් පස් මගේ කටෙත් පස්’ කියා සීනි කටේ දමා ගත්තාට අද පස්වලට සීනි වගේම වටිනාකමක් ලැබී තිබේ. අද පස් කැපීමක් බොරලු කැපීමත් ඒ පස්වලින් වගුරු හා කුඹුරු ඉඩම් ගොඩකර විකිණීමත් සල්ලි ගලන ලොකු ජාවාරමක් බවට පත්වී තිබේ.
මේ ජාවාරමේ රඟ කෙතරම් ද යත් පසුගිය කාලයේ කඩුවෙල අතුරුගිරිය ප්‍රදේශවල වගුරු ඉඩම් ගොඩකර විකිණීම පිළිබඳ පාතාලයේ ගැටුම් පවා වර්ධනය වී තිබිණි. සමහර පාතාල නායකයන් මේ ගැටුම්වලින් මරණයට ද පත්වී ඇත.
රටේම ජල පද්ධතියට, ජෛව විවිධත්වයට හා ජන ජීවිතවලට අනවසර ඉඩම් ගොඩ කිරීම හා අනවසර පස් කැපීම නිසා අද බලවත් තර්ජන එල්ල වෙමින් පවතී. පරිසර නීති රීති කෙතරම් තිබුණත් වසරකට අනවසර ඉඩම් ගොඩකිරීම හා අනවසර පස් කැපීම් 1000ක් පමණ සිදුවන බවට තොරතුරු නොකඩවා ලැබෙන බව පරිසර සංවිධාන පවසයි.
මේ පිළිබඳව අදහස් දක්වන වනජීවි සංරක්ෂණ භාරයේ විධායක අධ්‍යක්ෂ සජීව චාමිකර හා පරිසර සංවිධාන ජාලයේ කැඳවුම්කරු පාහියන්ගල ආනන්ද සාගර හිමිපාණෝ පවසන්නේ රට පුරා දැන් වගුරු ඉඩම් ද කුඹුරු ඉඩම් ගොඩකිරීම මෑතක සිට වැඩි වී ඇති බවයි. අත්තිඩිය හා බණ්ඩාරගම යන ප්‍රදේශවල ද අනවසර වගුරු බිම් ගොඩකිරීම් කරන බව ද ආනන්ද සාගර හිමිපාණෝ පවසති. මීට අමතරව මාදු ගඟ බොල්ගොඩ ගඟ ගොඩ කිරීම ද පසුගිය කාලයේ සිදු විය.
එම ඉඩම් අනවසරයෙන් ගොඩකර පසුව බලධාරීන් නිලධාරීන් අල්ලාගෙන ඒවාට ඔප්පු තිරප්පු බලපත්‍ර සකස්කර වැඩි මිලට අලෙවි කිරීම අද ලොකුම ජාවාරමක් වී ඇතැයි ද මිහිතල මිතුරෝ හා ශ්‍රී ලංකා හරිත මිතුරෝ ඇතුළු පරිසර සංවිධාන ද පෙන්වා දෙයි.
“වගුරු බිම් හා කුඹුරු ඉඩම් ගොඩකිරීම හා විශාල ඉඩම්වල පස් කැපීම පරිසර සමතුලිතතාවට හා අපේ රටේ ජෛව විවිධත්වයට විශාල තර්ජනයක් බව පෙන්වා දෙන සජීව චාමිකර මහතා තෙත් බිම් සුරැකීමේ දින සමරන මේ වකවානුවේ මුතුරාජවෙල ප්‍රදේශයේ අක්කර 21ක් ගොඩ කිරීම පිළිබඳ වාර්තා වීම ඉතාම කනගාටුදායක බව ද පවසයි.
මුතුරාජවෙල තෙත් බිම වනාහි වසර 700ක් පැරැණි හෙක්ටයාර 6230ක් විශාල තෙත් බිමකි. එහි සත්ත්ව විශේෂ 209ක් සිටින අතර ශාක විශේෂ 200ක් ද තිබේ. කුරුල්ලෝ විශේෂ 102ක් හා සමනල විශේෂ 48ක් එහි ජීවත්වන බව අධ්‍යයනවලින් හෙළි වී ඇත. පැරැණි කුඹුරු යායක් වන මෙහි ජෛව විවිධත්වය ඉතා ඉහළය.
මෙවන් ජෛව විවිධත්වයෙන් සම්පූර්ණ වූ මුතුරාජවෙලට අද විවිධ තර්ජන රැසක් එල්ල වෙමින් තිබේ.
මුතුරාජවෙල ප්‍රදේශයේ මේ අනවසර ඉඩම් ගොඩ කිරීම සිදුවී ඇත්තේ ජාඇළ දඬුගම ප්‍රදේශයේය.
ජාඇළ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ 194 දඬුගම ග්‍රාම නිලධාරී වසමේ මුතුරාජවෙල තෙත් බිම් පද්ධතියේ සිදුකළ නීති විරෝධී ගොඩ කිරීමක් පිළිබඳව පරීක්ෂා කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ධර්මසිරි මහතාට හා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල මහතාට එම ගොඩ කරන ස්ථානයට ඇතුළු වීමටවත් ඉඩ දුන්නේ නැත. එම ප්‍රධාන ඇතුළුවීමේ දොරටුව ඉබි යතුරු දමා තිබිණි. කෙසේ වුවත් පසුව ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් එම නීති විරෝධි ගොඩ කිරීමට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ එල් 28594 යටතේ නඩුවක් ගොනු කළේය.
එම නඩුව අනුව එම තෙත් බිම් පරිසර පද්ධතියේ සිදුකළ නීති විරෝධී ගොඩ කිරීම පසුගිය දා අත්හිටුවන ලදී.
කිසියම් ගොඩ කිරීමක් සඳහා 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ ප්‍රකාශිත 1993/06/24 දිනැති අංක 772/22 දරන ගැසට් පත්‍රය ප්‍රකාරව එකී පනතේ IV - ඇ කොටස යටතේ මධ්‍යම පරිසර අධිකාරියෙන් අනුමැතිය ලබා ගත යුතුය. එසේ නොමැතිව සිදු කරන ගොඩකිරීම් නීති විරෝධීව සිදු කරන පරිසර හානියක් බවත්, මෙම අත්හිටුවීමේ ආඥාව මඟින් පරිසර සංරක්ෂණය සඳහා පාරිසරික යුක්තිය ඉටු වූ බවත්, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ධර්මසිරි මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවැසීය. මෙම ඉඩම් පාරිසරික සංරක්ෂණ කලාපයක් ලෙස නම් කර තිබූ ස්ථානයක් වීම ද මෙහි ඇති විශේෂත්වය බව ද සභාපතිවරයා කීය.
මුතුරාජවෙල තෙත් බිම ආශ්‍රිතව කරන මේ ඉඩම් ගොඩ කිරීම පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ පාරිසරික හා වන විද්‍යා අංශයේ මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය පවසන්නේ යම් වගුරු බිමක තෙත් බිමක ගොඩකිරීමක් සිදුවුවහොත් ඉන් සිදුවන ජෛව විවිධත්ව හා පරිසර හානිය යළි නිවැරැදි කිරීම ඉතා අපහසු බවයි.
වගුරු බිම් තෙත් බිම් වැස්ස වහින විට ස්පොන්ජියක් ලෙස ජලය උරා ගන්නවා. පසුව ඒ ජලය නියඟ කාලයට භූගත ජලය ලෙස ළිංවලට ලැබෙනවා. තෙත් බිම් කියන්නේ පරිසර සමබරතාව සුරකින පාරිසරික පද්ධතියක්.
ඒ ඇතුළත ජෛව විවිධත්ව පද්ධතියක් ද තිබෙනවා. ඒ අනුව තෙත් බිමක් වගුරු බිමක් ගොඩ කරනවා කියන්නේ ඒ පරිසර පද්ධතියට කරන හානියක් පමණක් නොවෙයි, ඒ ප්‍රදේශයේ ජල හා කෘෂිකාර්මික පරිසර පද්ධතිවලටත් කරන බරපතළ නිවැරැදි කළ නොහැකි හානියක් වෙනවා.
මෙවර තෙත් බිම් දිනය 2 වැනිදාට යෙදී තිබුණා. මෙවර තේමාව වූයේ ‘ආපදා අවම කිරීම සඳහා තෙත් බිම්’ යන්නයි. ඒ අනුව තෙත් බිම් වටිනා පාරිසරික දායාදයක්. ඒවා සුරැකීම අනාගතයට කරන ආයෝජනයක්.” මහාචාර්ය හේමන්ති රණසිංහ පෙන්වා දෙන්නීය.
මේ පිළිබඳ අදහස් දක්වන කොළඹ සරසවියේ සත්ත්ව විද්‍යා අංශයේ මහාචාර්ය දේවක වීරකෝන් මහතා ද පවසන්නේ මුතුරාජවෙල වැනි පරිසර සංවේදී කලාපවල ඉඩම් ගොඩකිරීම නිසා එහි සිටින වඳවී යාමේ තර්ජනයට පත්වී ඇති සත්ත්ව විශේෂ විනාශ වීමට ඉඩ ඇති බවයි. අපට ආවේණික හා රතු දත්ත ලැයිස්තුවේ සඳහන් සත්ත්ව විශේෂ ද මේ වගුරු බිම්වල ගොඩකරන ඉඩම්වල, පස් කපන ඉඩම්වල සිටීමට ඉඩ තිබෙනවා. ඒ පිළිබඳ කිසිම පාරිසරික ඇගැයීමක් නැතිවයි, මේ ගොඩ කිරීම් කරන්නේ සමහර විට මෙවැනි පරිසරයට හානිදායක කටයුතු නිසා. සමහර ජීවින් අපට සදහටම නැතිවී යන්නත් පුළුවන්.” මහාචාර්ය දේවක වීරකෝන් පවසයි.
මේ අතර පසුගිය සතියේ මහත් ආන්දෝලනයට ලක්වූ දිවුලපිටිය ප්‍රදේශයේ මොරකන්ද වත්ත ප්‍රදේශයේ බොරලු ඉඩම් කැපීම නිසා ප්‍රදේශයේ ගම්මාන 7 - 8 කටම දරුණු පරිසර හානියක් සිදුවී ඇති බවත් බීමට ජලය ද වගා කිරීමට ජලය ද නැතිවී ඇති බවක් අකරගම දිරිය පුරවැසි සමිතිය පෙන්වා දෙයි.
එම සමිතියේ කැඳවුම්කරු ඩයස් සමරනායක මහතා පවසන්නේ මොරකන්ද වත්ත ප්‍රදේශයේ අක්කර 1 බැගින් ස්ථාන දෙකක අඩි 2ක් පමණ බොරලු කැපීමට පුද්ගලයන් දෙදෙනෙකුට අවසර පත්‍ර ලබා දී ඇතත් ඔවුන් දැනට අක්කර 10කට වඩා භූමිය අඩි 12 - 13ක් හාරා පස් හා බොරලු ඉවත් කර ඇති බවත්ය. මේ පුද්ගලයන් දෙදෙනා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතාගේ ඥාතින් බවත් වසර 4ක් තිස්සේ මේ ජාවාරම කරන බවත් ඔහු කියයි.
විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය බලපත්‍ර ලබා දී තිබුණේ මතුපිට පසේ සිට අඩි 2ක් යටට පමණක් පස් කැපීමටයි. නමුත් දැන් සමහර තැන්වල පස් කපලා අඩි 20 වළවල් තිබෙනවා. ඒ සමඟම බලපත්‍රයේ තිබෙන්නේ උදේ 6 සිට සවස 6 දක්වා පමණක් පස් කැපීම් කළ යුතු බවයි. ඒ සමඟ එම බලපත්‍රය යටතේ කැපීමට හැකි මුළු පස් කියුබ් ගණන 528 යි.
එහෙත් පසුගිය දවස්වල මෙතැන ලොකු බුල්ඩෝසර ගෙනැවිත් උදේ 5 සිට රාත්‍රී 7 දක්වා පස් කැපුවා. දවසකට කියුබ් 4 ටිපර් 30 ක් විතර අරන් යනවා. පිට කළ කියුබ් ගණන 60000ක් විතර වෙනවා. මොරකන්ද වත්තට යන්න තියෙන්නේ පටු පාරක්. ඒ නිසා ටිපර් මේ පාරේ යනකොට ගමේ අයට කානුවට බහින්න වෙනවා. මේ පිළිබඳ මාධ්‍යවලට කියන අයටත් මේ බලපත්‍රලාභීන් තර්ජනය කරනවා යැයි ද සමරනායක මහතා කීය.
ඩයස් සමරනායක මහතා පවසන පරිදි එදා රන්ජන් රාමනායක ඇමැතිවරයා පෙන්වා දුන් මේ පස් කැපීමට අමතරව දිවුලපිටිය ප්‍රදේශයේ දෙමටවත්ත, හොරකදවල, බලවල, කටුනායක වත්ත ප්‍රදේශයේ තවත් අක්කර 150ක් පමණ මේ පුද්ගලයන් හා තවත් අය පස් කපා විනාශ වී තිබේ. මේ නිසා සමහර ස්ථානවල අඩි 20 - 30 ගැඹුරු වළවල් සැදී ඇති බවත්, අවට ළිංවල ජලය සිඳී ඇති බවත් වී වගාවට අවශ්‍ය ජලය නොලැබී ඇති බවත් දිරිය පුරවැසි සමිතිය වගකිව යුත්තන්ට පැමිණිලි කර ඇත.
මේ ටිපර් රථ නිසා සෑහෙන දූවිලි හා අධික ශබ්දය නිසා කුඩා දරුවෝ රැසක් පීඩාවට පත්වී සිටිති. මාර්ග පද්ධතිය අබලන් වීමත් ප්‍රදේශයේ සුවිශේෂ ජෛව විවිධත්වය විනාශ වීමත් මේ ඉවක් බවක් නැතිව පස් හා බොරලු කැපීම නිසා සිදුවී තිබේ. මේ පිළිබඳ දිරිය පුරවැසි සමිතිය 2016 දෙසැම්බර් 6 වැනිදා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට ලිපියක් මඟින් දන්වා ඇත. ඊට අමතරව මේ පිළිබඳව පැමිණිලි 68ක් ගම්වාසීහු විවිධ ආයතනවලට යවා ඇත.
බඩල්ගම වලවල පාලම ආසන්නයේ බොරලු කැපු අඩි 20ක් ගැඹුරු ඉවුරක් තිබෙනවා. හොරකදවිල ප්‍රදේශයේත් විශාල බොරලු වළක් කපා තිබෙනවා.
මේ ප්‍රදේශයේ සිදුවන්නේ ගම්වල පරිසරය වනසන පස් කැපීමේ ජාවාරමකි. මොරකන්ද වත්තේ ඉස්සර තිබුණේ ජල සීරාව තිබෙන රබර් වත්තක් හා නෙළුම් විල නම් ජලය සහිත ප්‍රදේශයක් හා නමුත් දැන් මොරකන්ද වත්තේ විතරක් නෙමේ බටකන්ද, අකරගම දෙහිගහපල්ලම, ඉහළ මඩම්පැල්ල, පුංචි මඩම්පැල්ල යන ප්‍රදේශවලට මේ පස් කැපිල්ල නිසා ජලය හිඟවෙලා. බොන්න වතුර නැහැ. ඉස්සර වසරේ දවස් 365 පුරාම ජලය තිබෙනවා. මේ පස් කැපිල්ල නිසා මොරකන්දවත්ත ප්‍රදේශයේත්. වගාව විනාශ වෙලා තිබෙනවා. මුළු පරිසරය ම විනාශ වෙලා. මධ්‍යම පරිසර අධිකාරියත් අවධානය යොමුකළ යුතුයි” සමරනායක මහතා කීය.
මේ පිළිබඳ අපට ජ්‍යෙෂ්ඨ පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන මහතාගෙන් විමසූ විට ඒ මහතා පැවසුවේ මෙවැනි අනවසර පස් ගොඩකිරීම් බොරලු කැපීම් පස් කැපීම් පිළිබඳව නීතිමය පියවර ගැනීමට අදාළ අණ පනත් රැසක් අප සතුව ඇති බවයි. ඒ අනුව ජාතික පාරිසරික පනත, වෙරළ සංරක්ෂණ පනත, ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ පනත, ගොවිජන සේවා පනත, වන සත්ත්ව හා වෘක්ෂලතා පනත අනුව අදාළ ආයතනවලට කටයුතු කළ හැකි බව ද ජගත් ගුණවර්ධන මහතා කීය.
මේ පිළිබඳ අදහස් දක්වන ජගත් ගුණවර්ධන මහතා තවදුරටත් පවසන්නේ මේ ගොඩ කිරීම් හා අනවසර බොරලු කැපීම් නැවැත්වීමට පමණක් නොව සිදුකළ පරිසර හානියට වන්දි ගැනීමට ද නීතිමය කටයුතු කිරීමට අණ පනත් ඇති බවයි.
මේ අනුව අපට කිව හැක්කේ අනවසර ඉඩම් ගොඩකිරීම්, පස් කැපීම් බොරලු කැපීම් අපේ රටේ පරිසරයටත් ජනතාවටත් විශාල හානියක් ඇති කරන පරිසර ව්‍යසනයක් බවයි. ඒවා වැළැක්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන අනුව කටයුතු කර ඒවා නැවැත්වීමටත් වැරැදි කළ අයට දඬුවම් දීමටත් අදාළ ආයතන පියවර ගත යුතු බව පරිසර සංවිධානවල අදහසයි.
ඉඩම් ගොඩ කිරීම් ගැන වසරකට පැමිණිලි 1000ක් විතර එනවා
ඉඩම් ගොඩකිරීමේ සංස්ථා සභාපති අසේල ඉද්දවෙල
මේ පිළිබඳ අප කළ විමසීමකදී අදහස් දැක්වූ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල මහතා පැවසුවේ ඉඩම් ගොඩකිරීම යම් අයෙක් ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කරන විට එයට එම ඉඩමට අදාළ සියලුම ආයතනවල අනුමැතිය ද ඇතිව එය ඉදිරිපත් කළ යුතු බවයි.
පසුව එම ඉඩම් ගොඩකිරීමට තම ආයතනයේ අදාළ අංශවල ප්‍රධානින්ගේ අනුමැතිය ඇත්නම් ආයතනයේ ඉංජිනේරුවරයෙක් ඒ ස්ථානය පිළිබඳ හොඳින් සොයා බැලීමෙන් පමණක් පසු බලපත්‍රය දීම හෝ නොදීම තීරණය කරන බව ද සභාපතිවරයා පැවැසීය.
“අපේ ආරක්ෂක අංශයට වසරකට ඉඩම් ගොඩකිරීම පිළිබඳව පැමිණිලි 1000ක් විතර ලැබෙනවා. වසරකට ඉඩම් ගොඩකිරීමේ ඉල්ලුම් පත්‍රත්, 500ක් විතර ලැබෙනවා.
අපි මේ සියල්ල පිළිබඳව සලකා බලලා අදාළ ආයතනවල නිලධාරීන්ගේ අධීක්ෂණය හා අනුමැතිය අනුව සුදුසු අයට පමණක් බලපත්‍ර දෙනවා.
නුසුදුසු ඉඩම් ගොඩකිරීම් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ පනත අනුව නවත්වන්න අපට පුළුවන්. කුඹුරු ඉඩමක් ගොඩකිරීමටනම් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය අත්‍යවශ්‍යයි” අසේල ඉද්දවෙල මහතා කීය.
කැණීම් බලපත් වංචා මඬින්න ඉලෙක්ට්‍රොනික බලපත්‍රයක් දෙනවා
පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ආචාර්ය කිත්සිරි දිසානායක
මේ පිළිබඳ අපට අදහස් දැක්වූ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ආචාර්ය කිත්සිරි දිසානායක මහතා පැවසුවේ මේ පිළිබඳව තම ආයතනය හා මධ්‍යම පරිසර අධිකාරිය කළ ගවේෂණයක් අනුව මොරකන්ද වත්තේ බලපත්‍රයේ නීති රිති උල්ලංඝනය කර බොරළු කැපීම් සිදුකළ නිසා ඔවුන්ගේ බලපත්‍ර දෙකම වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බවයි. “අපි විශ්වාස කරලයි අපේ නීති අනුව වැඩ කරනවා කියල පොරොන්දු වෙලයි මේ බලපත් දෙන්නේ. මේ අය අපේ විශ්වාසය කඩකරලා තියෙනවා. ඒ අනුව අපි ඒ බලපත්‍ර තහනම් කළා. දැනට දී තිබෙන බලපත්‍රවලින් වුවත් කරන වැඩ නීති විරෝධීනම් වැලි පස් හා බොරළු කැණීම් බලපත්‍ර නවත්වන්න අපි ඉදිරියටත් කටයුතු කරනවා” ආචාර්ය දිසානායක මහතා පැවැසීය.
සමහරුන්ට පස් කැපීමට බොරළු කැපීමට වැලි ගොඩ දැමීමට සමහරුන්ට බලපත්‍ර ලබා දුන් විට ඒවා නීති විරෝධි ලෙස වෙනස් කරනවා. ඒ නිසා ඉදිරියේදී පස් කපන බලපත්‍ර ඉලෙක්ට්‍රොනික නවීන තාක්ෂණික ක්‍රමයකට ලබා දෙන්න කටයුතු කරනවා.
“පස් කැපීමට බලපත්‍ර දුන්නාට පසු ඇගැයීම් කිරීමට අපිට පිරිස් නැහැ. ඒ නිසා මින්පසු බලපත්‍රයක් ලබාදුන් පසු ඒ කැණීම් සිදු කරන ස්ථානවල මුල් භූමිය තැනින් තැන ඉතිරි කිරීම් කළ යුතුයි.
සේයාරූ - ගයාන් රන්ගික විජේසිංහ