ලුණු රස මුහුදේ වැඩිපුර රසදිය | Page 3 | සිළුමිණ

ලුණු රස මුහුදේ වැඩිපුර රසදිය

 ගෝලීය උෂ්ණත්වය ඉහළයෑම සාගරවල රසදිය මට්ටම ඉහළ නංවන්නටත් හේතුවක් වී ඇති බව ස්වීඩනයේ විද්‍යාඥයෝ පිරිසක් පවසති. මේ හේතුව නිසා මුහුදු මත්ස්‍යයන්ගේ දේහ තුළ ඇති රසදිය ප්‍රමාණය හත් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව පර්යේෂකයන්ගේ නිගමනයයි. උෂ්ණත්වය වැඩිවන විට රසදිය මුහුදු සහ පොකුණු ආදිය වෙත වැඩිපුර ගලාගෙන ඒමේ ප්‍රවණතාවක් ඇති බව අනාවරණය වී තිබේ. එය සිදු වන්නේ හිටි අඩියේම ඇද හැලෙන ධාරානිපාත වර්ෂා තත්ත්ව හේතුවෙනි. එනිසා මෙතිල් මර්කරි සාගර තුළ වැඩි වන්නට පටන් ගැනේ. මෙතිල් මර්කරි සැකසෙන්නේ බැක්ටීරියාවක ක්‍රියාකාරීත්වය හේතුවෙනි.

මේ අන්දමට සැකසෙන මෙතිල් මර්කරි මත්ස්‍යයන්ගේ සහ අනෙකුත් මුදූ ජීවීන්ගේ දේහගත වීම ඉතා පහසුවෙන්ම සිදු වේ. ඒ හරහා ආහාර දාම තුළට එක්වන රසදිය සහිත සංයෝගය අන්තිමට නවතින්නේ මිනිසාගේ සිරුරට ඇතුළුවීමෙනි.

රසදිය මිනිස් ශරීරයට බෙහෙවින්ම අහිතකරය. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට උග්‍රම විෂ සහිත ලෝහය රසදියයි. මිනිස් ශරීරයට රසදිය ඇතුළු වීම, මිනිසාට මරණය කැඳවන්නකි. රසදිය කොතරම් ගැටලුවක් වී ද යත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ මහජන සෞඛ්‍යයට තර්ජනයක් එල්ල කරන ප්‍රබලම රසායනික දහය අතර රසදියත් පවතින බවයි. රසදිය මිනිස් ශරීරයට ඇතුළු වූ විට මිනිසාගේ ස්නායු පද්ධතියට හානි පමුණුවයි. ඒ හැරුණු විට අංශභාග තත්ත්ව ඇති කිරීම සහ දරුවන්ගේ මානසික වර්ධනය පහළ දැමීම යනාදී භයානක තත්ත්ව ඇති කරන්නටත් රසදිය හේතු වේ. කාර්මික විප්ලවය ඇතිවීමත් සමඟම රසදිය සහිත රසායනික භාවිතයත්, එවැනි අපද්‍රව්‍යත් ලෝකය පුරා ඉහළ ගියේය. එකී ඉහළ යෑම 200%ත් 500%ත් අතර මට්ටමකින් සිදු වී යැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති. මෙවැනි පරිසරයක ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමත් සිදු වන විට යට කී ආකාරයට මිනිස් දේහවලට රසදිය ඇතුළු වීම නොවැළක්විය හැකිය.


ඌරු - මිනිස් දෙමුහුන් කලලයසාර්ථකද? අසාර්ථකද?

ඌරු - මනුෂ්‍ය දෙමුහුන් කලලයක් පළමුවරට සාර්ථකව නිර්මාණය කරගන්නට විද්‍යාඥයන් පිරිසක් සමත් වී තිබේ. එකී දෙමුහුම සහිත කලලය වර්ධනය කර තිබෙන්නේ ඊරියක තුළ බව වාර්තා වේ. ඌරු කලලයක් තුළට, මානව සෛල ඇතුළු කරමින් යට කී ආකාරයේ දෙමුහුම ලබාගෙන තිබේ. පර්යේෂණය සිදු කර තිබෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ සැන් ඩීගෝහි සල්ක් ජීව විද්‍යා අධ්‍යයන ආයතනයේ සහ ස්පාඤ්ඤයේ මුර්ෂියාහි කතෝලික විශ්වවිද්‍යාලයේ විද්වතුන් පිරිසකි.

පර්යේෂණයේ ප්‍රධානම අරමුණ වී තිබෙන්නේ මානව අවයව බද්ධයන්ට අවශ්‍ය අවයව සපයා ගැනීමට හැකි මඟක් සොයා ගැනීමයි. අවයව බද්ධ කිරීමෙන් අනතුරුව ග්‍රාහකයා තුළ ඇතිවන අවයව ප්‍රතික්ෂේප වීමේ අවදානම අඩු කර ගැනීම මෙමඟින් බලාපොරොත්තු වේ. අවයව බද්ධයන්ට මුහුණ දෙන්නට බලාපොරොත්තුවෙන් සිටින විශාල පිරිසක් බද්ධයට සරිලන අන්දමේ අවයව නොලැබීම නිසා මිය යන බව වාර්තා වේ. එම මරණ ප්‍රමාණය අඩු කරගන්නට සත්ත්ව - මානව දෙමුහුම් කලල නිර්මාණය හරහා අවයව වර්ධනය කරගැනීම හේතු වනු ඇතැයි විශ්වාස කෙරේ.

ඌරු - මානව දෙමුහුම් කලලය නිර්මාණය කරගැනීමට ඌරු කලල 1500ක් පමණ ලබාගත් බව කියැවේ. මිනිසුන් 40 දෙනෙකුගෙන් පමණ සෛල ලබාගැනීම සිදු කෙරුණු බවත් විද්‍යාඥයෝ පවසති. එතරම් භාරධූර ආකාරයට පර්යේෂණය සිදු කළත් අවයව බද්ධයට ස්ථිර විසඳුමක් මේ මඟින් සොයා ගන්නට නොලැබුණු බව පර්යේෂණය සිදුකළ විද්‍යාඥයෝම පවසති.

“... ක්‍රියාකාරිත්වය අතිනුත් බද්ධ කිරීමේ හැකියාව අතිනුත් සාර්ථක පටක හෝ අවයව හෝ වර්ධනය කර ගැනීම අවසන් අරමුණයි. නමුත් අප තවමත් ඉන්නේ ඒ අරමුණෙන් බොහෝ ඈත. ඒ වුණත් මේ පියවර වුව ඉතා වටිනා එකක්...” යැයි පර්යේෂක, මහාචාර්ය ජුවාන් කාර්ලෝස් බෙල්මොන්ටේ පවසයි.

කෙසේ වුවද මේ පර්යේෂණය ආචාර ධර්මවලට අනුකූල එකක් නොවන බව බොහෝ සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති. ඌරු කලලයට මිනිස් ඩී.එන්.ඒ. වැඩිපුර යෙදුවේ නම් ඌරු කයක් සහ මිනිස් මොළයක් සහිත ජීවියෙකු හෝ මිනිස් මුහුණක් සහ ඌරු කයක් සහිත ජීවියෙකු හෝ බිහිවන්නට ඉඩ ඇති බව ඇතැම් විද්‍යඥයෝ පෙන්වා දෙති.


සූර්ය කුණාටුවක් අත ළඟලු?

සූර්යයා මත විශාල කළු කුහරයක් තමන්ට නිරීක්ෂණය කිරීමට ලැබුණේ යැයි සූර්යයා පිළිබඳව පර්යේෂණ පවත්වන නාසා විද්‍යාඥයන් පිරිසක් පසුගියදා මාධ්‍ය වෙත පවසා තිබේ. සැලකිය යුතු තරමේ විශාලත්වයකින් යුතු මේ කුහරය බැලූ බැල්මට බිය උපදවන තරම් බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මෙවැනි කුහර සූර්යයා මතුපිට ඇති වන්නේ සූර්යයාගේ එකී ප්‍රදේශයේ වායුගෝලීය ඝනත්වය අඩුවීම හේතුවෙනි. එවැනි ස්ථානවල උෂ්ණත්වයද අඩුය. එනිසා එබඳු තැන් අඳුරු ස්වභාවයකින් දිස් වන බව නාසා විද්‍යාඥයෝ පවසා සිටිති. එම කුහර ආශ්‍රිතව සූර්ය චුම්බක ක්ෂේත්‍රවල ඇති වන විපර්යාස හේතුවෙන් සූර්ය කුණාටු අංශු බැහැරට පැමිණීමේ අවදානමක් තිබේ. එසේ බැහැර වන අංශු භූ චුම්බක ක්ෂේත්‍ර සමඟ ගැටෙන්නට ඉඩ ඇත. මෙකී තත්ත්වය ප්‍රබල මට්ටමෙන් සිදු වී නම් පෘථිවි වැසියන් වන අපට හිස ඔසවන්නට බැරි තරම අලාභ සහ පාඩු සිදු වේ.

කාලගුණ අනාවැකි ඉදිරිපත් කරන්නන් පවසන්නේ ප්‍රබල සූර්ය කුණාටුවක් ඇති වූ විට චන්ද්‍රිකාවලට, විදුලි සැපයුම්වලට, අභ්‍යවකාශ යානා ක්‍රියාත්මක කිරීමේ කටයුතුවලට, මෙන්ම ගුවන් විදුලි තරංගවලටත් බලපෑම් එල්ල වන්නට ඉඩ ඇති බවකි. අනෙකක් තබා එවැනි කුණාටුවක් හේතුවෙන් ගුවන් ගමන් ඇන හිටින්නටත්, අන්තර්ජාලයේ ක්‍රියාකාරීත්වයට බාධා එල්ලවන්නටත් ඉඩ ඇත.

Comments