ජනාධිපති අරමුදල සංවර්ධන ලොතරැයිය සහ මහපොළ ඇරැඹුණේ මෙහෙමයි | Page 2 | සිළුමිණ

ජනාධිපති අරමුදල සංවර්ධන ලොතරැයිය සහ මහපොළ ඇරැඹුණේ මෙහෙමයි

සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය වික්‍රම වීරසූරිය මහතා සංවර්ධන ලොතරැයි මුල් ටිකට් පත ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන්ට පිළිගැන්වූ අවස්ථාව. අධ්‍යාපන, ජාතික ආරක්ෂක, කෘෂිකර්ම හා වෙළෙඳ අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි හා ජනාධිපති ලේකම් ඩබ්.එම්.පී.බී. මැණික්දිවෙල යන මහත්වරු ද පසෙකින් සිටිති.

 අප ජනතාවගේ සිත්සතන් තුළ රැඳෙමින් වසර ගණනාවක් පුරා නම ප්‍රචලිත වෙමින් පවතින ආයතන ත්‍රිත්වයක විශේෂිත වූ කරුණු සහ සිදුවීම් අනාගත සිහිගැන්වීම් සඳහා සනිටුහන් කර තැබීම උදෙසා මෙම ලිපිය ලියමි. පළමුව මා ජනාධිපති අරමුදල ද ඉන්පසුව සංවර්ධන ලොතරැයිය සහ තෙවැනිව මහපොළ ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය පිළිබඳ ද සඳහන් කරමි. මූල්‍ය වශයෙන් මෙම ත්‍රිත්වය සමීපතම සබඳතාවකින් බැඳී ඇත.

වර්ෂ 1977 සිට 1986 දශකය තුළ මම සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කළෙමි. මෙම අමාත්‍යාංශය ඍජුවම විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා යටතේ පැවති එකම අමාත්‍යාංශය පමණි. අමාත්‍යාංශ ලේකම් වශයෙන් ඉහත සඳහන් ආයතන ත්‍රිත්වයේම සංවර්ධන කටයුතුවලට අදාළව ක්‍රියා කිරීමේ කාර්ය බාරය මා වෙත පවරා තිබුණි.

ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් සඳහන් කර යුතු වන්නේ මාගේ බලවත් උත්සාහය හමුවේ එම අරමුදලේ සම්පත් සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය කිරීමට හැකියාව ලැබුණු බවයි. සංවර්ධන ලොතරැයිය සම්බන්ධයෙන් සඳහන් කළ යුත්තේ එහි නිර්මාතෘ මා වන අතර එය වර්තමානයේ පවතින තත්ත්වයට සංවර්ධනය කළ බවයි. මහපොළ සම්බන්ධයෙන් සඳහන් කළ යුතු වන්නේ එවකට වෙළෙඳ හා නාවුක කටයුතු අමාත්‍ය ධූරය මෙන් ම මහපොළ නිර්මාතෘ ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා සමඟ සාකච්ඡා කර සංවර්ධන ලොතරැයියේ බරපැනින් සියයට පනහක ප්‍රමාණයක් භාර ගැනීමට පොලඹවා ගත් බවයි. ඉහත සඳහන් ආයතන ත්‍රිත්වය වෙනුවෙන් සිදු කළ කැපවීම පිළිබඳ මා මෙතැන් සිට විග්‍රහයක් ඉදිරිපත් කරමි.

ජනාධිපති අරමුදල

ජනාධිපති අරමුදල නමින් වර්තමානයේදී ඔබ සැම දන්නා මෙම අරමුදල ආරම්භ කරන ලද්දේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විසිනි. වර්ෂ 1978 අංක 07 දරන පාර්ලිමේන්තු ආඥා පනතින් ජනාධිපති අරමුදල නමින් සම්මත කර පිහිටුවනු ලැබූ මෙම අරමුදල ක්‍රියාත්මක වූයේ වර්ෂ 1978 නොවැම්බර් මස 24 දින දී ය. වර්ෂ 1977 ජූලි මස පවත්වනු ලැබූ පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්‍රහණයෙන් පසු සම්මත වූ ආඥා පනත් අතරින් මෙම පනත ද මූලික වන බව එහි සඳහන් ආකාරයෙන් පැහැදිලි වේ. එයට ප්‍රථමයෙන් අනියම් ජනාධිපති අරමුදලක් පැවති අතර එම අරමුදලට බැර කරන ලද මුදල් මහ බැංකුව බාරයේ පැවතිණි. එහි පැවතියේ ද සුළු මුදලකි. වර්ෂ 1978 නොවැම්බර් මස පිහිටුවන ලද නව ජනාධිපති අරමුදල මණ්ඩලයක් මඟින් පාලනය ව‍ූ අතර එහි සාමාජිකයන් ව‍ූයේ ජනාධිපති, අගමැති, කථානායක, විරුද්ධ පක්ෂයේ නායක, ජනාධිපති ලේකම් සහ ජනාධිපතිතුමා විසින් පත්කරනු ලැබූ සාමාජිකයන් දෙදෙනෙකි. පාර්ලිමේන්තු ආඥා පනත යටතේ පිහිටුවනු ලැබූ ජනාධිපතිට මුදල් ආධාර ලබාදීමට සුදුසු වන්නේ

1. දිළිඳුකම තුරන් කිරීම

2. දැනුම හෝ අධ්‍යාපනයේ අභිවෘද්ධියට

3. ආගමික අභිවෘද්ධියට

4. ජාතිය වෙනුවෙන් සේවය කළ පුද්ගලයන්ට ප්‍රදානය කිරීමට

5. මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ සුබසිද්ධිය සඳහා වන ක්‍රියාවන් වෙනුවෙන් ය.

ජනාධිපති අරමුදල පිහිටුවීමේ ආඥා පනත යටතේ එහි විගණනයන් විගණකාධිපති විසින් විගණනය කර වාර්තාව මුදල් අමාත්‍යවරයා මඟින් පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතු ය. වර්තමානයේදී ශල්‍යකර්ම සඳහා මුදල් ලබාදෙන බව ඉතා ප්‍රකට කරුණකි. තනි පුද්ගලයකු සඳහා දෙන වෛද්‍ය ආධාර මහා පරිමාණයන් නොවන බවට නිර්ණය කිරීම සඳහා මණ්ඩලයට බලය ඇත. පාර්ලිමේන්තුවේ නඟන ප්‍රශ්නවලින් අප වටහා ගත්තේ පසුගිය රාජ්‍ය සමයේ තනි පුද්ගල දේශපාලනඥයන් කිහිප දෙනෙකු (අග්‍රාමාත්‍යවරු) සඳහා මහා පරිමාණයෙන් මූල්‍ය ආධාර ලබා දී ඇති බව ය. වත්මන් ජනාධිපතිවරයා එම අනිසි ක්‍රියා අවලංගු කර ඇති බවත් සඳහන් කරන්නේ ස්තුතිපූර්වකවය.‍

ජනාධිපති අරමුදල වෙනුවෙන් දායකත්වය

ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විසින් පිහිටුවන ලද ජනාධිපති අරමුදලේ තිබූ මුදල් අල්ප ය. මහබැංකුවේ තිබූ මුදල් තැන්පතුව ඉතා සුළු ය. එසේ ම පාර්ලිමේන්තු ආඥා පනත යටතේ ජනාධිපති අරමුදල සඳහා ඒකාබද්ධ අරමුදල මඟින් මුදල් ලබාදීම සඳහා අවකාශ ලබාදී තිබුණේ නැත. මේ අනුව ජයවර්ධන මැතිතුමා විසින් පිහිටුවන ලද ජනාධිපති අරමුදලට ඉහත සඳහන් අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මහජනතාවගෙන් ලැබුණු ප්‍රදානයන්ගෙන් සහ ප්‍රතිපාදනවලින් සෑහීමකට පත්වීමට සිදුවිය. සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් මෙම අරමුදලේ ඇති මූල්‍ය ශුන්‍යභාවය පිළිබඳ මම වටහා ගතිමි. මේ අතර ජනාධිපති අරමුදල සඳහා මූල්‍ය ආධාර ලබාගත හැකි සිදුවීමක් සිදුවිය.

වර්ෂ 1978 මඩකළපුවේ සුළි සුළඟ

වර්ෂ 1978 නොවැම්බර් 23 දින මඩකළපුව මුහුදු තීරය හරහා සුළි සුළඟක් හමා ගියේ ය. එය 2004 ශ්‍රී ලංකාවට බලපෑ සුනාමිය තරම් බරපතළ නොවීය. “මඩකළපු” සුළි සුළඟ නමින් හැඳින්වූ මෙම සුළි සුළඟින් විනාශ ව‍ූ ප්‍රදේශයේ දේපළ අතර නිවාස සහ ගොඩනැගිල්ල ද විය. කෙසේ වුවත්, මෙය 1977 ජූනි මස පත්කර ගත් නව රජය පිහිටුවීමෙන් පසු සිදුවූ පළමුවන ස්වභාවික ආපදාවයි. විදේශ තානාපති, රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපාරිකයෝ සහ පුද්ගලයෝ, සහන සැලසීම සඳහා ආධාර ලබාදීමට සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ලේකම් ලෙස මා අමතනු ලැබූහ. සුළි සුළඟින් විපතට පත්වූවන් සඳහා රජයට මූල්‍ය ආධාර ලබාදීමට ඔවුන්ට අවශ්‍යව තිබුණි. එසේ ම එම වියදම් ප්‍රදානයන් ජනාධිපතිතුමාට ප්‍රදානය කිරීම ඔවුන්ගේ අභිප්‍රාය විය. මෙහිදී සැණින් මගේ මතකයට නැඟුණේ ජනාධිපති අරමුදලයි. මෙතෙක් එය ප්‍රදානයන් පිළිගත්තෙ නැත. මේ නිසා ජනාධිපති අරමුදල වෙනුවෙන් සහනාධාර, ප්‍රදානයන් ලබා ගැනීම සඳහා අනුමැතිය ලබාගැනීමට මම ජනාධිපතිතුමා දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තෙමි. ජනාධිපතිතුමා පළමුව මෙය අවශ්‍ය නොවන බව පවසා පසුව දුරකථනය සංවාදය අවසන් කළේ “මේ ගැන පුටුස්ට කතා කරන්න, ඔහු එකඟ වුවහොත් ඉන්පසු ඔබම මැණික්ට එසේ කරන ලෙස පවසන්න කියාය. මෙහිදී ‘පුටුස්’ යනුවෙන් අදහස් කළේ එවකට කැබිනට් ලේකම් වූ ජී.වී.පී. සමරසිංහ මහතා සහ ‘මැණික්’ යනුවෙන් අදහස් කළේ ජනාධිපති ලේකම් වූ මැණික්දිවෙල මහතා ය. මම වහාම ජී.වී.පී. සමරසිංහ මහතාට කතා කර එකඟ වන ලෙසට බලපෑම් කළෙමි. ඉන්පසු මෙම ක්‍රියාව පිළිබඳ මැණික්දිවෙල මහතා දැනුවත් කර ජනාධිපති අරමුදල සඳහා මහජනතාවගේ මුදල් හා පරිත්‍යාගයන් භාරගැනීම සඳහා අවකාශය ලබා ගත්තෙමි. මඩකළපු සුළිසුළං සහන වැඩකටයුතු සඳහා සමාගම්වලින් පුද්ගලයන්ගෙන්, රාජ්‍ය නොවන සංවිධානවලින් (දේශීය සහ විදේශීය) ජනාධිපති අරමුදලට මුදල් ගලා ඒමට පටන් ගත්තේ ය. මගේ මතකයට අනුව ඒ අයුරින් ජනාධිපති අරමුදල පරිත්‍යාගයන් සඳහා විවෘත විය. අරමුදල සඳහා එවකට විශාල මුදලක් වන රුපියල් මිලියන තිහක පමණ මුදලක් පරිත්‍යාග වශයෙන් ලැබුණු බව මාගේ මතකයයි. එවකට සෙනේට් ගොඩනැඟිල්ලේ පිහිටි ජනාධිපති කාර්යාලයේදි මැණික්දිවෙල මහතාටත් මහබැංකු ගොඩනැඟිල්ලේ පිහිටි මගේ කාර්යාලයේදී මටත් බැංකු මුදල් චෙක්පත් මඟින් පරිත්‍යාගයන් භාරදෙන අයුරු පුවත්පත් පින්තූර මඟින් ප්‍රචාරය විය.

ජනාධිපති අරමුදල පරිත්‍යාගයන් සහ ප්‍රතිපාදනයන් සඳහා විවෘත කිරීමෙන් පසු එයට බොහෝ මාර්ගවලින් මූල්‍ය ආධාර ලබාගැනීම සඳහා මම ක්‍රමවේදයක් සකස් කළෙමි. පැහැදිලිව සිහිපත් කළ හැකි ඉන් එක් අවස්ථාවක් වන්නේ විදේශ ආයෝජනයන් ලැබුණු පසුව ත්‍රිකුණාමලයේ මහා පරිමාණ ව්‍යාපෘතියක් ආරම්භ කළ අවස්ථාවයි. එම අවස්ථාවේ සැරසිලි කටයුතු සඳහා මල්, නැටුම් කණ්ඩායම් සහ වෙනත් අංග සඳහා රුපියල් මිලියන පහක් වෙන්කර ඇති වැය ශීර්ෂයක් පෙන්වූයේය. අවධානය යොමු කරවා ගැනීම සඳහා වෙන් කරන ලද මුදලින් රුපියල් මිලියන එකක් පමණක් ඒ සඳහා යොදවා ඉතිරි මිලියන හතර ජනාධිපති අරමුදල සඳහා බැර කරන ලෙස මම ඔවුන්ට බලපෑම් කළෙමි. ඔවුහු එකඟ වූහ. ජනාධිපති අරමුදලට එම මුදල් පරිත්‍යාග කිරීමෙන් පසු මම ජනාධිපතිතුමා සමඟ කළ සාකච්ඡාවෙන් අනතුරුව එම මුදල් ඉතා දක්ෂ නිලධාරිනියක වන මල්සිරි ඩයස් මහත්මියගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වූ ළමා ලේකම් කාර්යාලයේ ප්‍රයෝජනය සඳහා වෙන්කරන ලද අතර ඇය මීට මාස කිහිපයකට පෙර මියගිය බව ද කනගාටුවෙන් සඳහන් කරමි.

සංවර්ධන ලොතරැයිය

ජනාධිපති ජයවර්ධන මැතිතුමා යටතේ පැවති සැලසුම් සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රධානියා වශයෙන් ජනාධිපති අරමුදල සඳහා මූල්‍ය පරිත්‍යාගයන් ලබා ගැනීම මගේ කාර්යභාරයක් ලෙස ක්‍රියාත්මක කළෙමි. වර්ෂ 1983 දෙසැම්බරයේදී අපේ අමාත්‍යාංශයේ සංවර්ධන ලොතරැයිය ආරම්භ කිරීම හදිසි වාසනාවක් විය. මෙම ලොතරැයිය ආරම්භ කළ ආකාරය මගේ මතකයේ දැඩිව පවතී.

වර්ෂ 1982 දෙසැම්බර් මස මුල එක් උදෑසනක ජනාධිපති නිවාසයෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. එම අවස්ථාවේදී දුරකථනයෙන් කතා කළ ජනාධිපතිතුමා භික්ෂූන්වහන්සේ නමකගේ මවකගේ මළ ගෙදරකට තමා සමඟ කැලණියට යාම සඳහා පැමිණිය හැකි දැයි විමසීය. මම එකහෙළාම එකඟතාව පළ කළෙමි. ඇත්ත වශයෙන් ම ඔහු මාගේ ස්වාමියා වූ අතර ඔහුගේ පැතුම මට අණකි. කැලණියට යන අතරවාරයේදී සහ ආපසු ඔහුගේ කාර්යාලයට පැමිණීමේදී රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කෙරිණි. එවකට සෙනේට් ගොඩනැඟිල්ලේ පිහිටි ඔහ‍ුගේ කාර්යාලයට ගිය පසු ඒ සමඟ ම මට අමෙරිකානු මහත්වරු තිදෙ‍නකු හඳුන්වා දුන්නේ ය. ජනාධිපති අරමුදල තර කරගැනීම සඳහා ක්ෂණික ලොතරැයියක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ගැනීම සඳහා ඔවුන් පැමිණ ඇති බව මට කීවේ ය. කෙටි සාකච්ඡාවකින් ‍පසු ඔවුන් මහ බැංකුවේ පිහිටි මගේ කාර්යාලයට කැඳවාගෙන ගොස් ඒ පිළිබඳ විස්තරාත්මකව කරුණු සලකා බලා නැවත ඔහුට වාර්තා කරන ලෙස දැනුම් දුන්නේ ය.

මගේ අමාත්‍යාංශයේ දෛනික කටයුතුවල යෙදී සිටින අතරතුර ‍මම තෝරාගත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් සමඟ අමෙරිකානු සමාගමක් මඟින් යෝජනා කරන ලද ලොතරැයි ව්‍යාපෘතිය පිළිබඳ විග්‍රහයක යෙදුණෙමි. එතෙක් ශ්‍රී ලංකාවේ නොතිබූ පරිගණක ක්ෂණික හෝ සූරන ලොතරැයියක් විය‍. එම වකවානුවේ අපට තිබුණේ (1982) ජාතික, සෙවණ සහ මහපොළ ලොතරැයිය පමණි. පසුව සඳහන් ලොතරැයි දෙකෙන් ‍උපයනු ලැබුවේ සුළු ලාභයකි‍.

ක්ෂණික ලොතරැයියක් ආරම්භ කිරීමට මම මගේ අමාත්‍යාංශයේදී තීරණය කර ගත්තෙමි. ‘ක්ෂණික’ යන වචනය ඉවත් කර ‘සංවර්ධන’ යන වචනය තෝරා ගත්තෙමි. ලොතරැයිපත් මිලියනයක් ගුවනින් ගෙන්වා ගත යුතු වූ අතර එහි මූලික ආයෝජනය (ලොතරැයි මිල සමඟ) රුපියල් මිලියන තුනකට තක්සේරු කෙරිණි.

ජනාධිපතිතුමාගේ අනුමැතිය සහිතව මම ප්‍රධාන පුද්ගලික අංශයේ ප්‍රධානීන් රැස්වීමක් සඳහා අපේ අමාත්‍යාංශයේ ජාතික මෙහෙයුම් කාමරයට කැඳවූයෙමි.

පැය තුන හතරක කාලයක් ලොතරැයිපතේ සටහන් සකස් කර එය ක්‍රියාත්මක කිරීම සඳහා පුද්ගලික අංශයට බාරදුන් අතර ලාභයෙන් සියයට හැත්තෑපහක් රඳවාගෙන ඉතිරි සියයට විසි පහ බලපත්‍ර ගාස්තු වශයෙන් ජනාධිපති අරමුදලට බැර කරන ලෙස දැනුම් දුන්නෙමි. දින දෙකක් පුරා කරන ලද මනා විපරමකින් පසු ඒ සියලු දෙනාම එම ඉල්ලීම ප්‍රතික්ෂේප ක‍ළහ. එකම පුද්ගලික ආයතනයක් හෝ ලොතරැයිය සාර්ථක වේ යැයි සිතුවේ නැත.

අපගේ පෞද්ගලික අංශ ගැන මම කලකිරීමකින් සිටියෙමි. ජනාධිපතිතුමා ද එසේ ම ය. එම අවස්ථාවේදී ජනාධිපතිතුමා මට පැවසුවේ ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන එක හමාරක් ලබාගෙන ඉතිරි මුදල ගාමිණී දිසානායක ඇමැතිතුමාගෙන් හෝ ලලිත් ඇතුලත්මුදලි ඇමැතිතුමාගෙන් ලබාගෙන මිලියන තුන සම්පූර්ණ කර ගන්නා ලෙස ය. ‍මම ගාමිණීගෙන් විමසුවෙමි. මම ඔහු හොඳින් දැන සිටියෙමි. ගාමිණී දිසානායක මාගේ අදහස පිළිගත්තේ නැත. ඔහු පැවසුවේ තමා මහවැලි වැඩසටහන්වල පූර්ණව නිරතවී සිටින බවත් එසේම මහවැලිය සඳහා විදෙස් රටවලින් ආධාර ලැබෙන බැවින් එම අමාත්‍යාංශය සඳහා ලොතරැයියක් අවශ්‍ය නොවන බවය.

සංවර්ධන ලොතරැයිය සහ මහපොළ

ඉන්පසුව මම ගරු ලලිත් ඇතුලත්මුදලි මහතාගෙන් විමසුවෙමි. මම ලලිත්ව ද හොඳින් දැන සිටියෙමි. අප 1977 ජූලි මැතිවරණ ව්‍යාපාරයේදී එක්ව ක්‍රියා කළෙමු. මම ඔහු සමඟ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනීම ලැබූ අතර පසුකාලීනව ඔහු ඔක්ස්ෆර්ඩ් සංගමයේ සභාපති විය. එය අප රට ලැබූ ගෞරවයකි.‍

ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා මා කළ යෝජනාව පිළිගත්තේ ඉත සිතිනි. එම කාල පරිච්ඡේදයේ දී මහපොළ ලොතරැයිය සංවර්ධන ලාභයක් ලබමින් තිබුණේ නැත. සංවර්ධන ලොතරැයියට රුපියල් මිලියන එක හමාරක් ආයෝජනය කර සියයට පනහක් ලබාගන්නා ලෙස කළ ඉල්ලීම සිදුකළ වහාම ඒ සඳහා එකඟත්වය පළ කළේ ය. ඔහු තම ලේකම්වරයාට (ලක්ෂ්මන් ද මෙල් මහතා) තම අතින් ලියන ලද සටහනක් මට ලබා දුන්නේ ය. එහි සඳහන්ව තිබුණේ ‘ලක්ෂ්මන්, ලොතරැයියක් සඳහා වික්‍රමට රුපියල් මිලියන එක හමාරක් අවශ්‍යව ඇති අතර, ජනාධිපතිතුමා ද ඒ සමාන මුදලක් ලබාදී ඇත. වික්‍රමට මහපොළ අරමුදලින් මුදල් ලබාදී ලොතරැයියේ සියයට පනහක හිමිකරුවකු වන්න.” මෙය ජනාධිපති අරමුදලට මෙන් ම මහපොළට ද ඓතිහාසික තීරණයක් විය. මූලිකව අපට අවශ්‍ය වූ රුපියල් මිලියන තුනක් සොයා ගතිමි.

අපට අවශ්‍යව තිබූ රුපියල් මිලියන තුන සොයා ගැනීමෙන් පසු සැලසුම් සම්පාදන අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය එය සඳහා යොදා ගැනීමටත් තීරණය විය. ස්ථානය සඳහා අප තෝරාගත්තේ දැනට ‘ක්‍රෙස්ට්කැට්’ පිහිටුවා ඇති පැරණි බිෂොප් නිවාසයයි. ලොතරැයිපත් මිලියනයක් 1983 ජනවාරි මස ගුවන් මඟින් ගෙන්වා ගත් අතර ඒ වනවිටත් තෝරා බඳවාගෙන දීප ව්‍යාප්ත අලෙවිකරුවන් මඟින් ලොතරැයියක් (රු. 10/=) මිලට අලෙවි කිරීම ආරම්භ කෙරිණි.

සංව‍ර්ධන ලොතරැයිය නමින් හඳුන්වන ලද ක්ෂණික සූරන ලොතරැයිය පළමු දිනයේදීම ඉතා සාර්ථක විය. පැය විසි හතරක් ඇතුළත රු. 100,000/= (වර්තමානයේ රුපියල් මිලියනයක් වටිනා) ත්‍යාගලාභීහු දෙදෙනෙක් බිහිවූහ. එයට වඩා අඩු වටිනාකමින් යුත් ත්‍යාගලාභීහු ද රැසක් ව‍ූහ. එය අනභිභවන‍ීය සාර්ථකත්වයකි.‍ ඉතිරි ලොතරැයිපත් ආනයනය සඳහා අවශ්‍ය මුදල අප උපයාගත් ලාභාංශයෙන් ගෙවීමට හැකි විය. ජනාධිපති අරමුදල හා මහපොළ වියදම් කළේ රුපියල් මිලියන එක හමාර බැගින් පමණි. පළමු වර්ෂයේදී (1983) අප ජනාධිපති අරමුදලට රුපියල් මිලියන 400 ලබා දුන් අතර ඉන් අඩක් මහපොළ සතු විය.

රූපවාහිනිය ලංකාවට හඳුන්වා දුන්නේ 1982 අවසාන භාගයේ පමණ වන අතර ඒ සංවර්ධන ලොතරැයිය ආරම්භ කර සුළු කාලයකට පසුව ය. අපි රූපවාහිනිය ප්‍රයෝජනයට ගෙන මුල් වරට ලොතරැයි දිනුම් ඇදීමක් විකාශය කළෙමු. මෙය අලෙවි ප්‍රවර්ධනයට ඉවහල් විය.

මා දැන් ජනාධිපති අරමුදල, සංවර්ධන ලොතරැයිය සහ මහපොළ පිළිබඳ විස්තරය අවසන් කරන්නේ ජනාධිපති අරමුදල, මහපොළ ‍උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය යන දෙපාර්ශ්වයටම වර්තමානයේ අරමුදල ලබාදෙන සංවර්ධන ලොතරැයිය ආරම්භ කර ඉදිරියට ගෙන යෑම සඳහා මට අවස්ථාව උදාවූ බව සඳහන් කරමිනි. වර්ෂ 2014 සහ 2015 දී සංවර්ධන ලොතරැයිය ජනාධිපති අරමුදල සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 4000/= ලබා දී ඇති අතර ඉන් සියයට පනහක පමණ මුදලක් මහපොළට බැරකර ඇත. ඉතා සුළු ආයෝජනයෙන් ලැබුවේ කෙතරම් විශාල ප්‍රතිලාභයක් ද? වර්ෂ 1993 දී එවකට පැවති රජය සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතේ තිබූ ලොතරැයි මධ්‍යස්ථානය භාරකාර මණ්ඩලයකට පවරා ඉන්පසු 1997 දී පාර්ලිමේන්තු ආඥා පනතින් එම භාරකාර මණ්ඩලය මණ්ඩලයකට පවරන ලදී. මා විසින් ආරම්භ කර සාර්ථක කරනු ලැබූ සංවර්ධන ලොතරැයිය මඟින් ජනාධිපති අරමුදලට සහ මහ‍ෙපාළ භාරකාර අරමුදලට අරමුදල් ලබාදීම සිදුවූ බව පැවති සියලුම එ.ජා.ප. රජයන් පිළිගත් කරුණකි. ඒ අනුව මගේ හිතමිතුරු ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා (මහපොළ නිර්මාතෘ) සහ පැවති රජයෙන් මා මහපොළ භාරකරු ලෙස නම් කළේ ය. වර්ෂ 2002 – 2004 දක්වා මහපොළ ගරු රවී කරුණානායක මැතිතුමා යටතේ පැවති අවධියේදී සහ දැනට ගරු ජයවික්‍රම පෙරේරා සහ ගරු මලික් සමරවික්‍රම මැතිතුමා ද ඒ අන්දමින් ම ක්‍රියා කර ඇත.

අවසාන වශයෙන් සඳහන් කරන්නේ ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා 1981 දී පුද්ගලික ඔප්පුවක් මඟින් මහපොළ භාරකාර මණ්ඩලය පත් කළ අවස්ථාවේදී ‍ඔප්පුවේ සඳහන් කර තිබුණේ ‘දරිද්‍රතාව තුරන් කිරීමේ ප්‍රධාන සාධකය අධ්‍යාපනයයි’ යන බවයි. 2002 දී ලෝක බැංකුව ද දරිද්‍රතාවය තුරන් කිරීමේ ප්‍රධාන සාධකය අධ්‍යාපනය බව පිළිගෙන සුවිසල් අධ්‍යාපන ක්‍රියාවලියකට අරමුදල් සපයන ලදී. ශ්‍රී ලංකාවට පැමිණි ලෝක බැංකු විශේෂඥයන් පුදුමයට පත්ව‍ූයේ වර්ෂ 1991 (වසර 25 කට පෙර) ඇතුලත්මුදලි භාරකාර ඔප්පුවේ එම අදහස සඳහන් කර ඇති බව මා පෙන්වූ අවස්ථාවේදීය. ‘දරිද්‍රතාවය පිටු දැකීම සඳහා සැබෑ පිළිතුර අධ්‍යාපනයයි.’ මෙම ප්‍රසිද්ධ වැකිය සඳහන්ව ඇත්තේ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල, වර්ෂ 1981 අංක 66 ආඥා පනතේ ය.

රාජ්‍ය‍ සේවා ජීවිතයේ විශ්‍රාම ලබා සිටින මට සැනසුමක්, සහනයක් ලබාදෙන්නේ සංවර්ධන ලොතරැයිය ආරම්භ කළ ආකාරයත්, එවකට මා සේවය කළ ජනාධිපති ජයවර්ධන මැතිතුමා සහ මගේ පාසල් මිත්‍ර, මහපොළ අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි ඇමතිතුමන් පළමු වන ලොතරැයි තොගය ගුවනින් ගෙන්වා ගැනීම සඳහා රුපියල් මිලියන තුනක් ලබාදීම සිහිපත් කරමිනි. එසේම ජනාධිපති ජයවර්ධන මැතිතුමා කාර්යබහුල බැවින් බොහෝ විට සංවර්ධන ලොතරැයි පාලන රැස්වීම් මූලිකත්වය ගැනීම සහ එහි එදිනෙදා ක්‍රියාකාරකම් පිළිබඳවද මම ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාගේ සහාය ලබා ගතිමි. ඔහු මට දේශපාලන නායකත්වය ලබාදෙමින් මගේ දෑත් ශක්තිමත් කර ලොතරැයිය විශාල ප්‍රගතියක් කරාගෙන ය‍ෑමට උපකාරී විය.

ආචාර්ය වික්‍රම වීරසූරිය

Comments