
පළමු අදියරේ තරග දෙකක ලද පරාජයේ අත්දැකීම් සියල්ල දෙවැනි අදියරේදී ජයග්‍රාහී මංසලකුණු කරගත් මහනුවර කණ්ඩායම ලීග් රග්බි කිරුළ නිමාවීමට තවත් තරගයක් ඉතිරිව තිබියදීම සිය ජය අඛණ්ඩ තෙවැනි වරටත් තහවුරු කරගැනීමට සමත්වූයේ සත්කාරක හැව්ලොක්ස් පිටියේදී ඔවුන්ගේ බල කඳවුරු බිඳ දමමිනි. මේ අනුව මහනුවර සිය ඉතිහාසයේ 18 වැනි රග්බි කිරුළ දිනා ගනිද්දී හැව්ලොක්ස් බලාපොරොත්තු බිඳ වැටුණි.
මහනුවර කණ්ඩායම මෙවර තරගවාරයේ අවසන් තරගය ලෙස තරග වදින්නේ තරග දහතුනම පරාජය වී සිටින සී. එච්. සහ එෆ්. සී. අතර, සත්කාරක සී. එච්. පිටියේදීය. පළමු අදියරේ දෙපිල මහනුවර හමු වූ අවස්ථාවේදී 96 - 00 ක දැවැන්ත ජය හිමිකර ගැනීමට මහනුවර සමත් විය.
සති 11 ක් පුරා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි හැව්ලොක්ස් කණ්ඩායම අවසන් සති දෙකේදී දෙවැනි ස්ථානය දක්වා පසු බැස්සේය. හැව්ලොක්ස් කණ්ඩායම ලීග් රග්බි තරග වාරය නිම කරමින් අද වැලිසරදී තරග වදින්නේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන නාවික හමුදා කණ්ඩායම සමඟයි.
දහතුන්වන සතිය නිමාවනවිට මහනුවර, හැව්ලොක්ස්, නාවික හමුදාව ප්‍රථම දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවේ.