ක්‍රීඩාව ඉගෙනීමට බාධාවක් නොවෙයි | සිළුමිණ

ක්‍රීඩාව ඉගෙනීමට බාධාවක් නොවෙයි

බන්දුල ජයමාන්න

නියත, ස්ථිර, ඒකාන්ත, නොසැල්වෙන මේ වදන් අගමුල කෙසේ පෙළ ගැස්සුවද, තිරසර හෝ තිරසාර අරුත් ගෙන දෙයි. තිරසර සංවර්ධනයක තෙවසරක අරැඹුම නව වසරේ ආණ්ඩුවේ දැක්මයි. මෙකී දැක්ම ආර්ථික, සමාජීය, සංස්කෘතික, දේශපාලනික වශයෙන් ගත් කළ ක්‍රීඩාවට ද ඉන් පීලි පැනිය නොහැකිය.

ක්‍රීඩාව පැත්තෙන් ගත්ත ද පසුගිය කාලයේ මහා විප්ලවීය වෙනසක් සිදුවූවා යැයි උදම් ඇනිය නොහැකිය. ගොඩනැඟීමට තිබුණේ මහා නරකාදියක එරී තිබුණු ක්‍රීඩාවකි. මොන පොරොන්දු දී ක්‍රීඩා මහා පුටුවලට පැමිණියද කවුරු කවුරුත් කළේ සමස්ත ක්‍රීඩාවම තම තමන්ගේ කෙවිටේ දිග ප්‍රමාණයට දක්කාගෙන ගිය ගමනක් මිස ඊට වඩා දෙයක් නම් නොවන බවට සාධක සෙවීමට වෙහෙස මහන්සි විය යුතු නොවේ.

මේ මීට මාසයකට පමණ පෙර අප තැබූ වැකියේ එක් කොටසකි. එහිදී අප අවධාරණය කළේ ලාංකේය ක්‍රීඩාවටත් තිරසර ගමනක් ඇවැසි බවය. මෙකී තිරසර ගමනට තවමත් පියවරක්වත් තබා නොමැති මොහොතක, එකී ගමනට පළමු පියවර තැබිය යුත්තේ කෙසේද යන්න සිතමින් සිටින ලාංකේය ක්‍රීඩාවේ බලධාරීන්ට සහ නිලධාරීන්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාරවිල ශාන්ත සේවියර් මහා විද්‍යාලයේ 75 වැනි සංවත්සරයේදී කළ කතාවම ප්‍රමාණවත්ය.

දේශපාලනයයි - ක්‍රීඩාවයි.

දේශපාලනයත් සමහර විට ක්‍රීඩාව වගෙයි. එක් අතකින් කණ්ඩායම් ක්‍රීඩාවක්, ක්‍රිකට් වගෙයි. තවත් පැත්තකින් මැරතන් ඉසව්වක් වගෙයි. හුඟක් දුර දුවන්න තියෙනවා. බොක්සිං ක්‍රීඩාව වගේ වැටෙන්නම ගහන්න වෙනවා. රග්බි වගේ සමහර විට තදින් ක්‍රියා කරන්නත් වෙනවා. ඒ වගේමයි චෙස් ක්‍රීඩාව වගේ බොහෝම ඉවසීමෙන් හිතලා වැඩ කරන්නත් වෙනවා. මේ හැම දෙයකින්ම මම ඉගෙන ගත්තේ ක්‍රීඩාවේ වටිනාකමයි.

ක්‍රීඩාවලින් දිනන්නත් ඕනා.

ශාන්ත සේවියර් විද්‍යාලයේ දරුවන්ට තම පාසල් කාලයද සිහිපත් කරදුන් අග්‍රාමාත්‍යවරයා, අපි පාසල් යන කාලයේ සියලුම දෙනාටම ක්‍රීඩා කරන්න සිදුවුණා. ශාරීරික අධ්‍යාපන ක්‍රියාකාරකම්වල යෙදෙන්න වුණා. මගේ පාසල් කාලයේ පළමු ශ්‍රේණියේ ඉඳලා දහතුන්වැනි ශ්‍රේණිය දක්වා සතියට ශාරීරික අධ්‍යාපන පන්ති දෙකකට එකතු වුණා. එදා හැම පාසලකම ක්‍රිකට් ක්‍රීඩාව තිබුණේ නෑ. හැබැයි හැම පාසලකම ක්‍රීඩා තිබුණා. ගමක පාසලක අඩුම තරමේ වොලිබෝල් සහ මලල ක්‍රීඩා තිබුණා. කණ්ඩායමක් විදියට වැඩ කරන්න අපි ඉගෙන ගත්තේ පාසල් ක්‍රීඩාවෙන් ලැබූ අත්දැකීම්වලින්. මේ හැම දෙයකින්ම ක්‍රීඩාවේ සහ ව්‍යායාමවල වැදගත්කම අපි ඉගෙන ගත්තා. අපේ ජීවිත ඉදිරියට ගෙන යන්නත් ඒ අත්දැකීම් හුඟක් ප්‍රයෝජනවත් වුණා.

පාසල් ක්‍රීඩාව වැටිලා.

මේ ආණ්ඩුව බාර ගත්තට පස්සේ අධ්‍යාපන ඇමැතිතුමත් එක්ක කතා කරද්දි දවසක් ඇහුව අපේ පාසල්වල ක්‍රීඩාව කොහොමද කියලා. පාසල්වල ක්‍රීඩාව කඩාවැටිලා තමයි කිව්වේ. අපි මේ කඩා වැටුණු තැනින් ගොඩ එන්න ඕනා. අපිට ඕනා හැම පාසල් දරුවකුම ක්‍රීඩාවක යෙදෙන්න අවස්ථාව ලබා දෙන්නයි.

ක්‍රීඩාව දියුණු කිරීම

පාසල් ක්‍රීඩාව දියුණු කරන්න නම් ක්‍රීඩා ගුරුවරු ඕනා. ඒ නිසා අපි මේ අවුරුද්දේ ඉඳලා ක්‍රීඩා උපගුරුවරු බඳවා ගන්න වෙනම වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.

ක්‍රීඩාවට දක්ෂ පාසල්වලින් ඉවත්ගිය අයව ක්‍රීඩා ගුරුවරු විදියට බඳවා ගන්නවා. තමන්ගේ දක්ෂතා පෙන්වන සියලු දෙනාට අවුරුදු දහතුනක් පාසල් අධ්‍යාපනය හදාරන්න අවස්ථාව ලබා දෙන වැඩසටහනකට අත ගහලා තියෙනවා.

ක්‍රීඩාව බාධාවක් නෙවෙයි.

ක්‍රීඩාව අධ්‍යාපනයට බාධාවක් නෙවෙයි. පාඩුවක් නෙවෙයි. ක්‍රීඩා කරන එක අධ්‍යාපනයේ කොටසක් කරගන්න. ඒ තුළින් අපට දක්ෂ ක්‍රීඩකයෝ - ක්‍රීඩිකාවෝ බිහිකර ගන්න පුළුවන්. ක්‍රීඩක - ක්‍රීඩිකාවෝ ජාතික මට්ටමට ජාත්‍යන්තර මට්ටමට ගියාම රටට විශාල ගෞරවයක් හිමි වෙනවා. හෙට දවසේ හැම පාසල් දරුවකුම ක්‍රීඩාවක යෙදෙනවා දැකීමයි අපේ අරමුණ.

Comments