‘සුනිල ගී රස විනිස’ | සිළුමිණ

‘සුනිල ගී රස විනිස’

ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා කරන ලද ගීත අඩසියයක සාහිත්‍ය විචාරයන් සහිතව, පූජ්‍ය ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් විරචිත ‘සුනිල ගී රස විනිස’ කෘතිය ඇගැයෙන ‘සුනිල ගී රස විනිස රසවිඳින හැන්දෑව’ ඊයේ (04) සවස 6ට ඌව පැල්වත්ත කුකුරම්පොළ, කුකුළුවා විහාරස්ථානයේදී පැවැත්විණි. ප්‍රවීණ ගී පද රචකයන් පහළොස් දෙනෙකුගේ පමණ ජනප්‍රිය හරවත් ගීත, බොදු ඇසින් බලමින් රමණීය ලෙස මෙහි රස විමසුම් කර තිබිණි.

මහාචාර්ය කෝලිත භානු දිසානායකයන් විසින් මෙහිදී මේ කෘතිය පිළිබඳ විශේෂ දේශනයක් පැවැත්වූ අතර සුනිල් එදිරිසිංහයන් විසින් ගීත කිහිපයක් ගායනා කරනු ලැබිණි.

මීට සමගාමීව, මොනරාගල දිස්ත්‍රික්කයේ අතිදුෂ්කර ගම්මානයක් වන පැල්වත්ත, සීනි සමාගමට අයත් ජනාවාස අංක 09 ගම්මානයෙහි පිහිටි මො/ විහාරමහාදේවි කනිටු විදුහලේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එච්. සහන් ප්‍රදීප පුතණුවන් සහ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඒ. එච්. සචින්ත මධුශංක පුතණුවන් ගී ගයන ‘දසබලධාරී’ නම් සංයුක්ත තැටිය එළිදැක්වීම ද එදින සිදු විය.

මෙම අසිරිමත් මොහොත සංවිධානය කළේ කුකුරම්පොළ, කුකුළුවා විහාරස්ථ ශ්‍රී පියතිස්ස දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය විසින් වන අතර දහම් පාසල් දූ පුතුන්ගේ සංගීත කුසලතාවන් ද මෙහිදී ඇගැයීමට ලක් කෙරිණි.

ප්‍රවීණ කිවියර සහ ගේය පද රචක බණ්ඩාර ඇහැළියගොඩද මේ අවස්ථාවට සහභාගි විය. මේ උත්සවයේ සම්බන්ධීකරණ කටයුතු පුෂ්කර වන්නිආරච්චි විසින් සිදු කෙරිණි.


‘හඳුන්මල් කඩුල්ල’ 07 වැනිදා ජනගත වේ

සේන තෝරදෙනිය විසින් ලියන ලද අලුත් ම නවකතාව ‘හඳුන්මල් කඩුල්ල’ ජනගතවීමේ උත්සවය මෙමස 07 වැනිදා උදේ 10.00 ට කොළඹ මරදානේ, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ පොත් ප්‍රදර්ශනාගාරයේදී පැවැත්වේ.

1913 මැයි - ජූනියේදී පාතදුම්බර සොඳුරු ගමක සිට නුවරකලාවියට හා තෝපාවැවට කරත්ත මඟින් ගිය වන්දනා ගමනක් වටා ‘හඳුන්මල් කඩුල්ල’ නවකතාව ගෙත්තම් වී ඇත. 

Comments