
1. කීර්ථි - සංස්කෘත තත්සමයෙකි. බොහෝ දෙන නිවැරැදි වැ ලියුව ද කලාතුරෙකින් නමුදු මෙසේ වරදවා ලියනු ද දැකිය හැකි යි. නිවැරැදි වදන නම් ‘කීර්ති’ යනුයි. අග ‘ති’ අල්පප්‍රාණ වැ යෙදෙන අයුරු සැලැකිල්ලට ගත මනා ය. ‘ර’ කාරයට පසු වැ යෙදෙන ත, ද ආදිය මහාප්‍රාණ වැ ම (ථ, ධ ආදි වශයෙන්) යෙදිය යුතු යැයි ඇතැමුන් වෙත පවත්නා වැරැදි මතය නිසා මෙහි (මහාප්‍රාණ) ‘ථි’ යොදති යි සිතිය හැකි ය. කීර්ති යනු යශස, ප්‍රසිද්ධිය වැනි අරුතින් ඇතැමුන් යොදන නමුදු එහි නිවැරැදි අරුත නම් කීම ( පැවසීම) යනුයි. නිතර නිතර යමක් කීම එහි ප්‍රසිද්ධියට, යශසට හේතු විය හැකි බැවින් යට කී අරුත් මෙහි රූඪි අර්ථ වශයෙන් ගත හැකි යි.
2. කුකුල් - අතිශය බහුල වැ දක්නා ලැබෙන සාවද්‍ය ව්‍යවහාරයෙකි. දැන් එදිනෙදා වහරට කා වැදී ඇති හෙයින් බොහෝ දෙන මේ වැරැදි වදන නිරතුරු වැ යොදති. නිවැරැදි වදන වනුයේ ‘කුකුළු’ යනුයි. අග (මූර්ධජ) ‘ළු’ යෙදෙන සැටි මැනැවින් සැලැකිල්ලට ගත යුතුයි. මේ හා අනුරූප වැ සංස්කෘතයෙහි මෙන් ම පාලියෙහි ද යෙදෙනුයේ ‘කුක්කුට’ යන්නයි. සිංහල වදනෙහි (මූර්ධජ) ‘ළ’ කාරය ම යෙදිය යුතු බවට එයිනුදු හොඳින් තහවුරු වේ. මේ ‘කුකුළු’ යන්න එක් වැ යෙදෙන කුකුළු මස්, කුකුළු පැටියා, කුකුළු පොර, කුකුළු කෑම ආදී සියලු තන්හි ද (මූර්ධජ) ‘ළු’ ම යෙදේ. මේ ‘කුකුළු’ යන්න වර නැඟීමේ දී කුකුළා, කුකුළෝ, කුකුළන්, කුකුළාට, කුකුළනට ආදි වශයෙන් යෙදේ. එ හෙයින් ‘කුකුල්ලු’ යනුවෙන් ඇතැමුන් යොදන බහු වචන උක්ත පදය ද සාවද්‍ය වේ.
3. කුටුම්භ - සංස්කෘතයෙහි දු පාලියෙහි දු සම වැ යෙදෙන වදනෙකි. මෙහි වරද වනුයේ අග (මහාප්‍රාණ) ‘භ’ යෙදුමෙහි ය. නිවැරැදි වදන (අල්පප්‍රාණ) ‘බ’ සහිත ‘කුටුම්බ’ යනුයි. පවුල යනු අරුතයි පාලියෙහි, පවුලෙහි අධිපතියා ‘කුටුම්බිත’ නමින් හැඳින්වේ. එහි දු (අල්පප්‍රාණ) ‘බ’ යෙදිය යුතුයි. සිංහලයෙහි ඒ හා අනුරූප වැ ‘කෙළෙඹි’ යනු යෙදේ.
4. කුතුහල - මෙද සංස්කෘත තත්සමයෙකි. භාෂා විෂයයෙහි සංස්කෘත භාෂාවෙහි පවා අතිප්‍රවීණයනැයි ගැනෙන්නෝ ද මේ වැරැදි වදන නිරතුරු වැ යොදති. එයට හේතු වන්නේ මෙහි වරද ඉතා සියුම් වීම යි. එ මෙන් ම, උච්චාරණයට වඩා පහසු වන්නේ ද වැරැදි වදන ම වීමයි. නිවැරැදි වදන නම් ‘කුතූහල’ යනුයි. (දෙ වැනි අකුර වන) ‘තූ’ යන්නෙහි දිගු පාපිල්ල යෙදීමට වෙසෙසින් සැලැකිලිමත් විය යුතුය. මෙයින් කියැවෙන්නේ යමක් පරීක්ෂා කැර බැලීමේ ආශාවයි. මේ හා අනුරූප වැ සිංහලයෙහි යෙදෙනුයේ ‘කුහුල’ යනුයි.
5. කුලු - ‘කුලු’ යනු වැරැදි වදනක් නො වේ. එහි අරුත වන්නේ සහල් වැනි ධාන්‍ය පෙළීමට ගන්නා උපකරණය යි. එය කුල්ල, කුල්ලෙන්, කුල්ලට ඈ විසින් වරනැඟේ. වර නැඟීමෙහි දී මෙසේ ‘ලු’ ද්විත්ව වන බැවින් මෙහි යෙදිය යුත්තේ (දන්තජ) ‘ලු’ ම බව තහවුරු වැ පෙනේ.
ඇතැම්හු මුදුන යන අරුතෙහි දු ‘කුලු’ යනු යොදති. වරද වන්නේ එහි දී ය. එහි යෙදිය යුතු (දන්තජ) ‘ලු’ නොව (මූර්ධජ) ‘ළු’ ය. එහෙයින් නිවැරැදි වදන නම් ‘කුළු’ යනු ය. එය වර නැඟෙනුයේ කුළ, කුළෙන්, (කුළින්) කුළට ආදි වශයෙනි. මේ හා අනුරූප වැ සංස්කෘතයෙහි දු පාලියෙහි දු යෙදෙනුයේ ‘කූට’ යි. එහි අග ‘ට’ යෙදෙන බැවින් සිංහල වදනෙහි දු (මූර්ධජ) ‘ළු’ (ළ) කාරය යෙදෙන බව මැනැවින් තහවුරු වේ.
මේ ‘කුළු’ යන්න තව ද අරුතෙකින් යෙදේ. එ නම් සැර අරුත යි. කුළු බඩු ඈ තන්හි ළු අරුත යෙදේ. කුළු රස, කුළු හරකා ඈ තන්හි දු මෙසේ ම යෙදේ.