සංස්කෘතික ගෝලීයකරණය | සිළුමිණ

සංස්කෘතික ගෝලීයකරණය

කලින් කලට සාහිත්‍යයේ විවිධ ප්‍රවණතා, හැදෑරීම්, ක්‍රමවේද පැමිණෙයි. සමහර ප්‍රවණතා බොහෝ කලක් තිස්සේ නිර්මාණ කෙරෙහි සුවිශද බලපෑමක් කොට විචාරකයන්ගේ සදය-නිර්දය විවේචනයන්ට ලක් ව යටපත් වෙයි; නැවත මතු වෙයි. කෙසේ වුව ද සාහිත්‍යය ගැන උනන්දුවක් දක්වන සියල්ලෝ මේ මතවාද, ප්‍රවණතා ගැන ද සිය විචාරාක්ෂිය යොමු කරති. සාහිත්‍ය ප්‍රවණතා ගැන කෙරෙන මේ ගැඹුරු කියැවීම ශාස්ත්‍රාභිලාෂී ඔබට නව මාවතක් විවර කරනු ඇතැ යි අපි විශ්වාස කරන්නෙමු.

ගෝලීයකරණය යනු ලෝකයේ මතාන්තර, නිෂ්පාදන, අදහස් හා සංස්කෘතියෙහි අනෙකුත් අංග අන්තර් හුවමාරුව මඟින් ජාත්‍යන්තරය ඒකාබද්ධවීමේ ක්‍රියාවලියක් වන්නේ ය. වාෂ්ප බලයෙන් ක්‍රියා කරන රථවාහන හා නැව්, ජෙට් ඇන්ජින් හා බහාලුම් නැව් වැනි ප්‍රවාහන පහසුකම් හා විදුලි පණිවුඩ හා එහි නූතන උරුමකරුවන් වන අන්තර්ජාලය හා ජංගම දුරකතන වැනි අංග නිර්මාණය වීම නිසා විදුලි පණිවුඩ සේවාවේ යටිතල පහසුකම් වැඩිවීම ප්‍රධාන හේතුව කරගෙන බිහිවූ ගෝලීය කරණය නිසා ලෝකයේ ආර්ථික හා සංස්කෘතික කටයුතු අන්‍යොන්‍ය වශයෙන් සම්බන්ධවීම වර්ධනය විය.

ගෝලීයකරණය මෑතදී ඇතිවූ සංකල්පයක් ලෙස ඇතැමුන් සලකන නමුදු එය යු‍රෝපීයන් නව ලොව සොයා ගැනීමටත් පෙර අතීතයේ ආරම්භ වූවක් ලෙස සමහරු සලකති. මේ අතර සමහරු මෙය වත්මන් දින දර්ශන ක්‍රමය මඟින් ගණනය කිරීම ආරම්භ වීමට පෙර සිදුවූ ක්‍රියාවලියක් ලෙස දනිති.

කෙසේ වුව ද වත්මන් ආකාරයේ ගෝලීයකරණයවීම ආරම්භ ව‍ූයේ 19 වැනි සියවස අවසානයේදී ලෝකයේ විවිධ ආර්ථිකයන් හා සංස්කෘතීන්හි සම්බන්ධය ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වීමත් සමඟ ය. ගෝලීයකරණය යන වදන අලුත් එකක් වන්නේ එහි අර්ථය 1970 ගණන්වල පටන් ගත් හෙයිනි. අන්තර් ජාතික මූල්‍ය අරමුදල වර්ෂ 2000 දී, නව අදහසක් ඉදිරිපත් කරමින් වෙළෙඳාම, ගනුදෙනු, මූලධනය හා ආයෝජනය, ව්‍යාපාර, සංක්‍රමණය, මිනිසුන්ගේ සංචලනය සහ දැනුම පැතිරී යෑම ගෝලීය කරණයේ මූලික අංග ලෙස හඳුන්වා දුන්නේ ය. මෙම අංග තවදුරටත් ව්‍යාප්ත කරමින් ගෝලීය උෂ්ණත්වය වැඩිවීම, දේශ සීමා පැතිර ඇති ජලය, වායු දූෂණය හා සාගරයේ ප්‍රමාණයට අධික ලෙස මසුන් ඇල්ලීම වැනි පාරිසරික ගැටලු ද ගෝලීයකරණයට සම්බන්ධ කරනු ලැබීය. ගෝලීයකරණ ක්‍රියාවලිය, ව්‍යාපාර කාර්ය සංවිධානය, ආර්ථිකය, සමාජ - සංස්කෘතික සම්පත් සහ ස්වාභාවික පරිසරයට ද බලපෑම් සිදු කරයි. ශාස්ත්‍රීයඥයන් විසින් මෙම තත්ත්වය ආර්ථික ගෝලීය කරණය, සංස්කෘතික ගෝලීය කරණය හා දේශපාලන ගෝලීය කරණය වශයෙන් කොටස් තුනකට වෙන්කර දක්වති.

සංස්කෘතිමය ගෝලීයකරණය

ලෝක සමාජ සබඳතා පුළුල් හා ප්‍රයෝජනවත් කෙරෙන ආකාරයට අදහස්, අර්ථ හා වටිනාකම් ලොව පුරා ප්‍රචාරණය කිරීම සංස්කෘතික ගෝලීයකරණය ලෙසින් හැඳින්වේ. අන්තර්ජාලය, ජනප්‍රිය සංස්කෘතියේ මාධ්‍ය සහ ජාත්‍යන්තර සංචාර මඟින් ව්‍යාප්ත කරන ලද සංස්කෘතීන් මහජන පාරිභෝජනයට සැකසීම මෙම ක්‍රියාවලියෙන් සලකුණු වෙයි. මෙම ක්‍රියාවලිය මඟින් සංස්කෘතික අර්ථ ලොව පුරා පැතිරවීමේ දීර්ඝ ඉතිහාසයක් ඇති යටත්විජිතවාදය හා වෙළෙඳ ද්‍රව්‍ය හුවමාරු ක්‍රියාවලිය මේ අනුව සවි ගැන්වී ඇත. සංස්කෘතීන් මෙලෙස ව්‍යාප්තවීම නිසා මානව සමාජ සබඳතා ජාතික හා කලාපීය සීමා පසුකර ඇත. එබඳු සමාජීය සබඳතා බිහිවීම හා ව්‍යාප්ත වීම භෞතික වශයෙන් පමණක් දැකගත නොහැකි ද්‍රව්‍යමය මෙන් නොව ජනතාව පොදුවේ හා පෞද්ගලිකව සම්බන්ධවී සිටින චර්යා හා දැනුම හුවමාරු කරගැනීම මාධ්‍යයක් ලෙස ද සංස්කෘතිකමය ගෝලීයකරණය භාවිතා වේ. එමඟින් විවිධ වූ ජනගහණවල හා සංස්කෘතීන්හි ජීවත්වන පිරිස් අතර අන්තර් සබඳතා බිහි කිරීම වර්ධනය කෙරේ. විවිධ සංස්කෘතීන් හරහා කෙරෙන සන්නිවේදන අධ්‍යාපන මඟින් විවිධ සංස්කෘතීන් පසුබිම් කරගත් ජනතාව සන්නිවේදනය කරන ක්‍රමයන් ද විමර්ශනය කරනු ලැබේ.

Comments