චක්කරේ විතර ද? ජීවිතෙත් වැරදිලා | Page 7 | සිළුමිණ

චක්කරේ විතර ද? ජීවිතෙත් වැරදිලා

හිත රිදෙන කවි

දර්ශනී මැඩම්ට චක්කරේ වැරදුණේ නැත. ජීවිතේ වැරදුණේ ද නැත. එහෙත් චන්දරේට දෙක ම වැරදුණේ ය. චන්දරේලාට චක්කරෙයි, ජීවිතෙයි දෙක ම වරදින්නේ ඇයි...?

කච්චේරියේ දී නම් කවි පන්තිය ජාතික පුවත්පතක තරුණ අතිරේකයකින් උපුටා ගැනිණි. කවියා ධනුෂ්ක එදිරිවීර බණ්ඩාරය. ඔහු අපූරු සිදුවීම් පෙළක් සමඟ අප්‍රකාශිත ප්‍රේමයක් ද නිරූපණය කරයි. ප්‍රේමය ඒකපාර්ශ්වීය එකකි. කවියා මේ අතර අතීතය ස්මරණය කරයි. වර්තමානයට මුහුණ දෙයි. ඒ සෑම තැනෙක ම ඇත්තේ ශෝකය, දුක හා පසුතැවීම ය. පන්ති දෙකක් හා දිනාගත නො හැකි ආදරයක් ලෙස ද මේ තත්ත්වය විග්‍රහ කළ හැකි ය.

අනුභූතියෙන් ප්‍රධාන චරිත දෙකක් මතු වෙයි. ඒ ටින්කිරි චන්දරේ හා දර්ශනී මැඩම් ය. මැඩම් යැයි කියූව ද ඇය පාසලේ ගුරුතුමියක් නො වේ. අතීතයේ එක් දිනෙක සමාජ පන්ති දෙකක දරුවෝ දෙදෙනෙක් එක ම පාසලේ එක ම පන්තියේ ඉගෙනුම ලබති. දර්ශනී ඉහළ පන්තියේ ය. එනම් ඇය ආර්ථික අතින් පොහොසත් ය. ටින්කිරි චන්දරේ පහළ පන්තියේ ය. ඔහු ආර්ථික අතින් දුප්පත් පමණක් නො ව නන්නත්තාර චරිතයක් හැටියට ද ප්‍රකට ය.

දර්ශනී පාසලට එන්නේ වොක්ස්වැගන් කාර් එකක ය. ඇය රථයේ දොර ඇරගෙන බිමට පා - තබන අන්දම චන්දරේට හොඳට මතක ය. ඔහු හොර රහසේ ඒ දෙස බලා සිටින්නට ඇත. ඇයගේ පිළිවෙළට, පිරිසුදු ඇඳුමට පමණක් නො ව; ඇගේ බැල්මට පවා චන්දරේ ආකර්ෂණය වී සිටී. ඔහු දර්ශනීට කෙතරම් ගෞරව කළේ ද යත්; පැන්සලයක් හොරකම් කළ ෂෙල්ටන්ට තොල් පුපුරන්නට පහර දෙයි. පැන්සල දර්ශනීගේ ය. එම සිද්ධියේ දී ඇගේ දෑසින් කඳුළු වැටුණු බව චන්දරේට මතක ය. චන්දරේ යනු තම සිහින පෙම්වතියගේ කඳුළු දකින්නට අකැමැති අපූරු ප්‍රේමවන්තයෙකි. එසේනම්; ඔහු ත්‍රාඩයෙක් ද?

ටින්කිරි චන්දරේ යනු තරුණයාට පටබැඳි නාමය යි. ඔහු මතු පිටින් මැරයකු වන්නට පුළුවන. අකීකරු දඩබ්බරයකු වන්නටත් පුළුවන; එහි වරද ඇත්තේ මේ ක්‍රමය තුළ මිස චන්දරේ තුළ නො වේ. දිළිඳුකම හා සූරාකෑම මිනිසා පීඩාවට පත් කරයි. එම පීඩනය මිනිස් හැසිරීම් ඔස්සේ ප්‍රකාශ වන්නට පුළුවන.

චන්දරේ අතීත සිද්ධි සමූහයක් සිහිපත් කරයි. චක්කරේ සිද්ධිය, පැන්සලේ සිද්ධිය, වොක්ස්වැගන් සිද්ධිය, දහයෙ පන්තියේ සිද්ධිය ඒ අතරින් ප්‍රධාන ය. චන්දරේට චක්කරේ පාඩම් නැත. ඔහුට එය හැමදාම වරදී. එහෙත් දර්ශනී පොතක පිටු පෙරළා චන්දරේ බේරා ගනී. දර්ශනී ද චන්දරේ කෙරෙහි අනුකම්පා කළ බවක් එයින් පෙනී යයි. එහෙත් දහයේ පන්තියේ දී ඇය වෙනත් පාසලකට මාරු වෙයි. චන්දරේ එය දකින්නේ කෙසේ ද?

“අස්වෙලා අපේ ඉස්කෝලයෙන් දහයෙදිම
ඉස්තරම් නුවරකට ඔබ ගියා රහසේ ම”

මෙය වියෝවකි. විරහ වේදනාවකි. එහෙත් පන්ති පරතරයට අනුව දෙපාර්ශ්වය අතර ඇසුරක් නැත. චන්දරේට මේ වෙන් ව යෑම ගැන ප්‍රශ්න කරන්නට අවකාශයක් නැත. ඔබ ගියා හොර රහසේ ම කියන්නේ ඒ නිසා ය. චන්දරේ එය දරාගෙන සිටිය යුතු ය. එහෙත් ලෝකය පුදුම තැනෙකි. ඔවුන් නැවත මුණ ගැසී ඇත. ඒ කච්චේරියේදී ය. එහෙත් පරතරය එසේ ම ය. ඇතැම් විට ඊටත් වැඩි ය.

“රැස් දිලෙන සිත්තමක් වගේ රාමු කළ රුවට
දැක්ක මං වැඩ හිඳින අයුරු ඔබ උස් තැනක”

දර්ශනී පරිපාලන විභාගය සමත් වී ඉහළ තනතුරක් දරන්නී ය. ඇය උප දිසාපති හෝ දිසාපති හෝ වන්නට පුළුවන. චන්දරේ පැමිණ ඇත්තේ ඇයගේ කන්තෝරුවෙන් මහජන සේවාවක් ලබා ගන්නට ය. කවියා අතීතය හා වර්තමානය ගළපන්නේ අපූරුවට ය. ලෝකය ඉදිරියට ගොස් තිබුණ ද සමාජ පන්ති අතර දුරස්ථභාවය වෙනස් වී නැත. දර්ශනී වැඩ හිඳින අතර චන්දරේ පොළොවේ පය ගසා සිටී. අදත් හෙටත් චන්දරේලාට චක්කරේ වරදිනු ඇත.

ටින්කිරි චන්දරේ යනු හරි අපූරු චරිතයකි. ඔහුගේ චරිතය විශ්ලේෂණය කළ හැකි අවස්ථා දෙකක් ප්‍රබන්ධය තුළ ඇත. එක; ඔහු ශිෂ්‍යයකු ලෙස සිටින අවධියයි. දෙක; ඔහු වැඩිහිටියකු ලෙස සිටින අවධිය යි. ඔහු ශිෂ්‍යයකු ලෙස සිටින කාලයේ දඩබ්බර නිර්භීත කොලු ගැටයෙකි. එහෙත් හෙතෙම දර්ශනී නම් ශිෂ්‍යාවට අරෝවක් සිදුකර නැත. චන්දරේ දර්ශනී වෙනුවෙන් පෙනී සිටියා පමණක් නො ව; ෂෙල්ටන්ට පෙරළා පහර දුන්නේ ය. හේතුව ෂෙල්ටා දර්ශනීට නොපනත්කමක් සිදු කිරීම ය. වැඩිහිටියකු ලෙස කච්චේරියේදී දර්ශනී මැඩම් දකින චන්දරේ ඉතා සන්සුන් ය. ඔහු දර්ශනීට වෛර කරන්නේ නැත. ඇය කෙරෙහි අහිතක් ඇති කරගන්නේ ද නැත. චන්දරේ දර්ශනීගේ සමාජ තත්ත්වය දැක සතුටු වෙයි. ඔහු සැබෑ ආදරවන්තයකු යැයි සිතන්නට පුළුවන.

චන්දරේට එක ම එක දෙයක් කීමට ඇති බව පෙනී යයි. එනම්; මම එදා සිටි ටින්කිරි චන්දරේ ම බව ය. එහෙත් ඔහුට එය කියා ගැනීමට නො ලැබෙයි. දර්ශනී මැඩම්ට ටින්කිරි චන්දරේ අමතක වී තිබෙන්නට පුළුවන. හිතාමතා ම නොදන්නා සේ ඉන්නවා වෙන්නට ද පුළුවන. කුමක් වුව චන්දරේ අවංක ය. ඔහු ඇගේ එක ම එක බැල්මක් අපේක්ෂා කරයි. එය ද ඔහුට ලැබෙන්නේ නැත.

“මං හිතුවෙ ඇස් දෙකෙන්
ඔබ හිනා වෙයි කියා”

මේ ප්‍රබන්ධයේ හැටියට දර්ශනී කිසි දිනෙක චන්දරේට කතා කර නැත. සමාජ පන්ති අතර පවත්නා දුරස්ථභාවය මනුෂ්‍යත්වයට කෙතරම් තර්ජනයක් ද යනු මෙයින් පැහැදිලි ය.

මේ වන විට නූතන සමාජයේ සංවාදයට ලක්වන ප්‍රධාන කරුණු දෙකක් තිබේ.

(I) ධනපති ක්‍රමයේ අර්බුදය

(II) ධනපති ක්‍රමයේ මනුෂ්‍යත්වය

ධනපති ක්‍රමයේ අර්බුදය ආර්ථික වශයෙන් ද, දේශපාලන වශයෙන් ද මැනැවින් ප්‍රකාශිත ය. අමෙරිකාව දෙස බලන විට එහි සංකීර්ණතාව ඉතා හොඳින් වටහා ගත හැකිය. ව්‍යාපාරික පන්තිය හා ප්‍රභූ පන්තිය අතර පවත්නා දේශපාලන ගැටුම මීට නිදසුන් ය. ඊට ජනතාව ඈඳාගෙන ඇති ආකාරය ඊටත් වඩා සංකීර්ණ ය. ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට එරෙහි ව නැඟී සිටි ප්‍රභූ පන්තිය ජනාධිපතිවරයාගේ දිව්රුම් දීමෙන් පසු ජනතාව සමඟ වීදි බැස සිටිති. මෙහි කෙළවර කුමක්දැයි කිසිවකුටත් සිතා ගත නො හැකි ය. කුමක් වුව එය ජනතාවට හිතකර අයුරින් නිමා වන්නේ යැයි සිතිය නොහැකි ය.

ධනපති ක්‍රමයේ මනුෂ්‍යත්වය යනු අමු ප්‍රෝඩාවකි. එය මේ ක්‍රමයේ ම උපාය මාර්ගයක් ලෙස සැලැකිය හැකි ය. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය, විවෘත ආර්ථිකයේ මානුෂික මුහුණුවර යන සියල්ල ඉහත කී උපාය මාර්ගයේ විවිධ අවස්ථා ලෙස සැලැකිය හැකි ය.

කුමක් වුව තව කල්පයක් යන තුරු ද, චන්දරේලා චන්දරේලා ම ය. දර්ශනීලා දර්ශනීලා ම ය. මේ කවියට දුක හිතෙන්නේ චන්දරේට චක්කරේ පමණක් නො ව; ජීවිතය ද වැරැදී ඇති බැවින් ය.

Comments

ඔබගේ පැහැදිලි කිරීමට ස්තුතියි. මා දන්නා පරිදි ඔහු 'ටිංකරිං චන්දරේ' මිස 'ටිංකිරි චන්දරේ'නොවේ.

පිටු