කළු - සුදු | සිළුමිණ

කළු - සුදු

කෙටිකතාව

“ගෝවේ - ගෝවේ ගෑනු පරාදයි
රූපේ - රූපේ මහද පිනායයි ගෝවේ...”

සියල්ලන්ගේම හඬ පරයමින් සුගත්ගේ හඬ තාප්පයෙන් ද එළියට පනිමින් අවට සිසාරා විහිදී යයි. පහත් ස්වරයකින් ගීයට හඬ එකතු කළ නිමල් සිය හඬ තව තවත් උච්ච ස්වරයකට ගෙනාවේ ය. තමන්ට සුගත්ලාට මෙන් ගීත ගැයීමේ හැකියාවක් නැතැයි ඔහුට සිත් විය. දින ගණනකට පෙර සරත් සුගත් ඇතුළු මිතුරෝ වෙලාවක සෙට් වෙමු යැයි කීවද ක්ෂණයකින් මෙබඳු සාදයක් පැවැත්වීමට හැකිවීම පිළිබඳ ව නිමල්ට ඇත්තේ පුදුමයකි. සරලා නම් සිය නිවසේ මෙබඳු සාද පැවැත්වීමට කෙසේවත් ඉඩ නොදෙන බව නිමල් හොඳාකාරව ම දනී. ඒ අතින් වත්සලා කෙතරම් හොඳ එකියකදැයි ඔහු සිතුවේ ය. මදක් තරබාරු සිරුරක් හිමි වත්සලා අපූරු රූමත් ගැහැනියක් යැයි ද ඈ තමා දෙස බැලූ විගස ම තමන් කෙරෙහි කිසියම් ලජ්ජාශීලී බවක් ඇති වූයේ කුමක් නිසායැයිද ඔහු සිතන්නට විය. “නොමැතිව දෑස ඔබේ රාජකම රාජකම...” සුගත්ද අනෙක් මිතුරෝද ගී හඬ වඩාත් වේගවත් කළහ. ඔවුන් තමාගේ සිත හඳුනා ගත්තේද යන සැකය මත නිමල් මවා ගත් උද්‍යෝගයකින් ගීතයට තාල සැපයිය.

නිතර නිතර මෙලෙස නිවසට පැමිණ සිය මිතුරු නඩය සමඟ සරත් සතුටු වීම පිළිබඳ වත්සලා තුළ කිසියම් නොපහන් හැඟීමක් නොවීම පිළිබඳ ව නිමල්ට ඇත්තේ පුදුමයකි. “කෝ බං ගන්නෙ නැද්ද?” සරත් නිමල්ට අතින් සන් කළේ ය. නිමල් වහා වීදුරුවට හලාගත් පානය එක හුස්මට බීවේ ය. “මචං ගිනිපෙට්ටියක් හොයාගෙන වරෙන්” සුගත් නිමල්ට කීය. නිමල් වහා සරත් දෙස බැලීය. “වත්සලා කුස්සියෙ ඇති, ඉල්ලගෙන වරෙන්” සරත් කීය. යම් යම් දේ පිළිබඳ ව සුගත්ට ඇත්තේ පුදුම ඉවකි. සිය සිතෙහි මෝදුවන කිසියම් අද්භූත හැඟීමක් පිළිබඳ ව ඔහුට දැනුණාවත්දෝයි නිමල් සිතුවේ ය. ප්‍රකෘති ස්වරූපය මඳින් මඳ තමා වෙතින් දුරස් වෙත්ම කිසියම් අසද් හැඟීමක් පිබිදී තමා වෙළාගන්නාක් මෙන් විය. වත්සලා කුස්සියේ මොනවාදෝ සකසමින් සිටී. “එක්ස්කියුස්මි” නිමල් වෙනදාටත් වඩා ශිෂ්ට බවක් ආරූඪ කර ගත්තේ ය. “ආ නිමල් අය්යා” වත්සලා කරමින් සිටි කාර්යය වහා නතර කරමින් ඇසුවා ය.

 “අපි හැමදාම කරදර කරනවා නේ?” නිමල් කීය. “අනේ නෑ.. මොන හැමදාමද.. අර දවසක් මළ ගෙදරකට යන්න ආවට පස්සෙනෙ අද ආවේ, සරත් කොහොමත් කැමතියි ඔයාලා එනවට” වත්සලා ගෑස් ළිප නිමමින් කීවා ය. “ඇයි ඔයා කැමති නැද්දැයි” අසන්නට සිතුණද නිමල් ඒ සිතුවිලි ගිලගත්තේය. “නංගි ගිනි පෙට්ටියක් දෙන්නකෝ” නිමල් අමුතු හදිසියක් දැක්වීය. “පුතා මේ සැරේ ශිෂ්‍යත්වේ ලියනවා නේද” වත්සලා ඇසුවාය. “ඔව් ඔව්” නිමල්ට කියවිණි. “සරලා තමයි හැමදේම හොයලා බලන්නේ මගෙන් නම් කිසි උදව්වක් නැහැ” නිමල් කීය. “ෂිහ්” අපරාදේ එහෙම කිව්වෙ වහාම ඔහුට සිතුණි. “පොඩි එකා එකේද?” “ඔව් ඔව් ලබන අවුරුද්දේ දෙකට” ගිනි පෙට්ටිය ගන්නා ගමන් නිමල් කීය. වත්සලාගේ අතේලෙහි කුඩා ස්පර්ශය ඔහු තුළ තිගැස්මක් ඇති කළේ ය. කෙටි දූල් ඇඳුම යට සිටි ඇගේ කය තම බිරියට වඩා කෙතරම් සිත්ගන්නා සුලුදැයි ඔහු සිතන්නට විය. “යන්නම් නංගී” ප්‍රබෝධවත් මත් සිතින් නිමල් කීය.

“ඇයි දැන්ම යන්නද” වත්සලා ඇසූ පැනය නිමල්ගේ සිතේ ප්‍රබෝධයක් ඇති කළේ ය. “නෑ නෑ” යන ගමන් ම ඔහු කීය. “මොකද බං පරක්කු” සුගත් ගුගුළේය. “අපෙ කෝච්චියට අහුවෙන්න ඇති” සරත් කොක්හඬ දෙමින් සිනාසුණේය. “මොනවා හරි කාලම යමු” සිනා හඬ නැවතූ සැණින් සරත් ඇසීය. “බෑ බෑ ඉක්මනට යන්ඩ ඕනැ හෙට ගමනකුත් තියෙනවා. වැඩ ඇරුණ ගමන් එන්ඩ කියලා තමයි අපෙ අණ දෙන නිලධාරිතුමිය කීවේ” සුගත් සරත් දෙස බලමින් කීය. “ඔව් ඔව් ඉක්මන් කරමුයි” විමල් මෙන්ම ප්‍රදීප්ද එක හඬින් ම කීහ. “හරි හරි බං හැමදාම නෑනේ ඕනැනම් පැයක් යයි” සරත් පෙරළා කීය. “ඔව් ඔව් ටිකක් ඉමු බං” නිමල් එසේ කීවද එය සිතකින් කීවක් නොවන බව දැනී හේ වහා බිම බැලීය. “වෙනදා හදිස්සි කාරයා අද මොකද ගෙදර එන්ඩ එපා කීවද” නිමල්ගේ ප්‍රතිචාරයට ප්‍රදීප් කීය. “උඹලට හදිස්සි නම් පලයල්ලා නේද සරත්” සිය සිතැඟි අන්‍යයන්ට දැනේදෝයි බියෙන් මෙන් නිමල් කීවේය.

හරි හරි තව සින්දුවක් කියමුයි සරත් කීවෙන් සියල්ලෝම විවිධ ගීත රසයෙන් මත්වන්නට වූහ. මඳ වේලාවකින් කෑම සූදානම් යැයි කීමට පැමිණි වත්සලාට “ඔයා කාලා නිදා ගන්න යැයි” සරත් කීය. “මේ සද්දෙත් එක්ක මොන නින්දක්දැයි” ඇය කීවේ මවා ගත් කෝපයකින් මිස අසතුටු සිතකින් නොවේ යැයි නිමල්ට සිතුණි. “ඔව් ඔව් ඔයා මොකටද දුක් විඳින්නේ” යැයි කී සුගත්ගේ හඬට අනෙක් අයද අනුබල සැපයූහ. සරත්ගේ පෙරැත්තයද නොසලකමින් සුගත්ද විමල් හා ප්‍රදීප්ද නිවෙස් බලා ගියහ. වෙනදා වේලාසනින් ම යාමට කනිපින්දම් අල්ලන තමන් එසේ නොයාම නොමැනවි යැයි නිමල්ට සිතුණද ඒ සිතුවිල්ල ඔහු වහා යටපත් කළේය. කෙමෙන් කෙමෙන් සිය සිත තුළ මෝදු වන්නේ වත්සලා පිළිබඳ ව රාගාන්විත හැඟීමකැයිද එය මහත් ද්‍රෝහි සිතුවිල්ලකැයිද නිමල්ට සිතුණද ප්‍රකෘති සිතට වඩා බලවත් ව ඔහු තුළ විකෘතිය ගොඩනැ‍ඟෙමින් තිබිණි. වත්සලා නිදිකිරමින් සිටින සරත්ට ඇඟිල්ලෙන් අනිමින් ඔහු අවදියෙන් තබා ගැනීමට වෙර දරමින් සිටී. තාප්පයෙන් වට වූ සරත් ගේ නිවස මෙන්ම තමාත් වත්සලාත් හුදෙකලාව සිටින වගක් නිමල් දැනිණි. “නංගි වතුර ටිකක් බොමුදැයි” බමන මතින්ම ඔහු විමසීය.

“ඉන්න අය්යේ මං ගෙනත් දෙන්නම්” වහා නැඟුණු වත්සලා කුස්සිය බලා පිය නැංගාය. නිමල්ට ඔහුගේ සිත අදෘශ්‍යමාන බලයකින් මෙන් කුස්සිය දෙසට පිය නඟන්නට සැලැස්වීය. බමන මතින් මඳ දුරක් යන විට ම අසල වූ කනප්පුවේ හැපුණ නිමල් කපා හෙළු ගසක් මෙන් ඇදවැටිණි. “ඇයි ඇයි මොකද” සරත් වහා නැගිටිමින් විමසීය. තමා සිටින්නේ සිහියෙන් වුවද සිත තුළ තෙරපුණ කාමාග්නිය විසින් සිය හදවත ම පුලුස්සා ඇති සෙයක් ඔහුට දැනිණි. වඩාත් වෙරිමතින් යුතු අයෙක් සේ හේ කෙඳිරිගාන්නට විය. වත්සලාද වතුර වීදුරුවක් ගෙන අසලින් සිටගෙන සිටින්නීය. “ඉඳපන් මං උස්සන්නම්” කී සරත් නිමල් ඔසවා පසෙක වූ පුටුව මත හාන්සි කරවූවේය. “මචං ඔහොම ටිකක් හිටපං හරි යයි” සරත් කීය. “සරලා නංගිගෙන් අපිටත් බැනුම් අහන්න වෙයි” වත්සලා කනගාටුවෙන් කීවාය. “පිස්සුද සරලා නංගි එහෙම නෑ, එයා මට කියන්නෙත් ලොකු අයියා කියලා එයාලගෙ ලොකු අයියත් මං වගේලු, නේද බං” නිමල් හිස වැනුවේ ය. තමා මහ නරක මිනිසෙකැයි යන සිතුවිල්ල ඔහු තුළ විය. “ඇයි මට එහෙම සිතන්න බැරි වුණේ” හොඳ ම මිතුරකුගේ බිරියක පිළිබඳ ව තමා විසින් සමාව දිය නොහැකි වරදක් කර ඇතැයි යන සිතුවිල්ලෙන් ඔහු මිරිකෙන්නට විය. සිය මුහුණ රතුකරගත් නිමල් “මචං මං යන්නම් සරලා බලාගෙන ඇති” සිහින් හඬකින් කීවේය. “උඹට යන්න පුළුවන්ද” සරත්ගේ පැනයට “ඔව් දැන් හරි” නිමල්ගේ ක්ෂණික පිළිතුර විය.

සියලු දෙනා හමුවේ තමා නිරුවත් වී ඇතිසෙයක් ඔහුට දැනිණි. නොකළ යුතු නරකක් කළ අ‍යකු සේ යතුරු පැදියට නැඟගත් ඔහු වත්සලාටද, සරත්ටද “යන්නම්” යැයි කීය. ඔවුන් තමා දෙස බලා සිටින්නේ සියල්ල දැන ගෙන යැයි ඔහු සිතුවේය. දරුවන් නැතද ඉතා හොඳ අඹුසැමි යුවළක් වන ඔවුන් පිළිබඳ අතීත සිතුවිලි නිමල්ගේ සිතේ පිරෙන්නට විය. ප්‍රිය සම්භාෂණයන්හිදීත්, දුකේදීත් ඔවුහු අන්‍යයන්ට හැකි පමණටත් වඩා උදව් උපකාර කළහ. වත්සලාගේ ත්‍යාගශීලී බව, කුලුපග බව වරදවා වටහා ගන්නට තරම් තමා පහත් එකෙක් වූයේ කෙසේදැයි ඔහු සිතන්නට විය. සුගත් ආදි මිතුරන් තමාට වඩා කෙතරම් උසස්දැයි ඔහුට සිතුණි. අනෙක් අය ඉදිරියේ වෙස් මූණක් දමා සිටින්නකු ලෙස තමා සමාජය ඉදිරියේ විවෘත වූවාක් වැනි හැඟීමකින් ඔහුගේ සිත පිරීතිරී ගයේ ය. සරලාත් පුතුන් දෙදෙනාත් විපිළිසර මුහුණින් තමා දෙස බලා සිටිනු ඔහුට මැවී පෙනිණි. ජීවිතයේ කිසි දිනක නොලද අවමානයකින් සිය ආත්මය වෙළායන්නාක් මෙන් ඔහුට දැනෙන්නට විය. ඉතා අහිංසකයකු සේ සමාජයේ පෙනී සිටි තමා මෙතරම් පහත් හැඟීම් ඇති එකකු යැයි සිතත්ම “දඩාං” යන ශබ්දයත් සමඟ ම සිය දෑස් නිලංකාර වී යන අන්දමක් ඔහුට දැනුණි. එළිය, අඳුර, අඳුර, එළිය අතර සියල්ල නිශ්චල විය.

නිමල් සෙමින් දෑස් හැරියේය. සරලා සිය පාදය පිරිමදිමින් සිටී. පුතුන් දෙදෙනා ඇද අසලට ම විත් “අප්පච්චී” යැයි කීහ. සිය අත ඔසවන්නට තැත් කළ නිමල් ඒ හා බැඳී ඇති සේලයින් බටය දුටු වහාම දෑස් තදින් පියා ගත්තේය.

Comments