යොවුන් තුන්කොන් ශූරයෝ ශ්‍රී ලංකාව අවිශ්ක සහ නිපුන්ගෙන් විශිෂ්ට දස්කම් | Page 2 | සිළුමිණ

යොවුන් තුන්කොන් ශූරයෝ ශ්‍රී ලංකාව අවිශ්ක සහ නිපුන්ගෙන් විශිෂ්ට දස්කම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන් දකුණු අප්‍රිකාව හමුවේ පළමු එක්දින තරගයේදී (28 දා) අන්ත පරාජයක් හිමිකර ගනිද්දී, ලාංකේය ක්‍රිකට් පොඩ්ඩෝ දකුණු අප්‍රිකාව සත්කාරකත්වය ලබාදුන් වයස අවුරුදු 19 න් පහළ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී සත්කාරකයන් පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට සමත් වූහ.

ශ්‍රී ලංකාව - සිම්බාබ්වේ සහ සත්කාරක දකුණු අප්‍රිකාව මෙකී වයස අවුරුදු 19 න් පහළ තුන්කොන් තරගාවලියට එක්විය. ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව හමුවේ මූලික වටයේ සියලු තරග පරාජය වුවද, එකී පරාජයන් අවසන් තරගයේදී ශක්තියක් කරගත් ලාංකේය යෞවනයෝ ලකුණු 77 ක විශිෂ්ට ජයක් හිමිකර ගත්හ.

අවසන් තරගයේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ පී. ද එස්. කුලරත්න මධ්‍ය මහා විද්‍යාලයේ නිපුන් රන්සික ලකුණු 17 කට කඩුලු 5 ක් ඇතුලුව සමස්ත තරගාවලියේ තරග 05 කදී කඩුලු 17 ක් බිඳ දමමින් අවසන් තරගයේ සහ තරගාවලයේ වීරයා සම්මානයද දිනා ගත්තේය. සමස්ත තරගාවලියේ ලකුණු 171 කට කඩුලු 17 ක් බිඳ හෙලූ වමත් මද වේග පන්දු යවන රන්සික 10.05 ක සාමාන්‍යයක් සටහන් කර ගැනීමට ද සමත් විය.

මෙම තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීම ද අවසන් තරගයේ සටහන් කර ගැනීමට රන්සික සමත් විය.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය දැරූ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ අවිශ්ක ප්‍රනාන්දු තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූයේ තරග හයේදී ලකුණු 292 ක් රැස් කරමින්ය. මේ ලකුණු සංඛ්‍යාවට ශතකයක් (108) ක් සහ අර්ධ ශතකයක් එක්කර ගැනීමට ද හෙතෙම සමත් විය. අවිශ්ක ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගයකට ද ක්‍රීඩා කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස තරගාවලියට එක්වූ මොරටුව වේල්ස් කුමර විදුහලේ වමත් පිතිකරු විශ්ව චතුරංග මෙකී තරගාවලියේ තෙවැනි වැඩිම ලකුණුලාභියා වූයේ ශතකයක් (103) සහ අර්ධ ශතකයක් සමඟ ලකුණු 244 ක් රැස්කරමින්ය.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ වැඩිම ලකුණුලාභියා ද අවිශ්ක ප්‍රනාන්දුයි. 2014 - 2017 දී තරග 37 කදී ලකුණු 1348 ක් රැස්කර තිබේ. ශතක සහ අර්ධ ශතක හතර බැගින් රැස්කර ගැනීමට සමත්ව තිබේ. අවිශ්ක මේ තරග තුළ ලකුණු නොලබා දැවීනොයාම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් රෝයි ඩයස් කටයුතු කළ අතර වේග පන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් කටයුතු කළේය.

 

 

Comments