දිල්ෂාන් අකලංකට විකිණීමට ඇත්තේ හදවත පමණි | සිළුමිණ

දිල්ෂාන් අකලංකට විකිණීමට ඇත්තේ හදවත පමණි

ක්‍රීඩා පාසලට මම පුරුද්දක් විදියට ළමයි හොයා ගෙන යනවා. මේක කාලයක් තිස්සේ ඉඳලම කෙරෙන දෙයක්. මට වැඩියෙන් ළමයි එන්නේ පුත්තලම, වනාතවිල්ලුව, විල්පත්තුව වගේ දුෂ්කර ප්‍රදේශවලින්. මගේ වැඩිපුර සම්බන්ධතා තියෙන්නේ ඔය පැතිවල. මගේ ළමයි ටිකක්, ඉන්නවා විල්පත්තුවේ. චාමර කියන ළමයෙක් හරහා තමයි මට මේ පණිවිඩය එන්නේ. ළමයාගේ ඇඟපතත් තියෙනවා. මේ උසට වඩා ටිකක් මිටි ඇති.

මම ළමයට මාදම්පේ සේනානායක ඉස්කෝලේට එන්න කියනවා. ළමයා එතකොට හැදුණේ වැඩුණේ ලොකු අම්මා සහ මාමා ළඟ. මාමා එතකොට කියනවා. මම ළමයා ඇහැක් වගේ බලා ගන්නේ කියලා. මම කිව්වා ප්‍රශ්නයක් නෑ, ළමයා ඉස්කොලේට එවන්න, මෙහෙ හොස්ටල් පහසුකම් එහෙම තියෙනවා කියලා.

කොහොම හරි මම කියලා කියලම ළමයා ඉස්කෝලේට ගෙන්න ගන්නවා. මේ සිද්ධිය වෙන්නේ 2008 - 09 විතර. 2008 විතර තමයි මම විල්පත්තුවේ යන්නේ, 2009 ළමයා එනවා.

මොනවා වුණත් මටත් ෂුවර් එකක් තිබුණේ නෑ, ළමයා එයි කියලා. ලොකු අම්මයි, මාමායි කියන්නේම ළමයට ප්‍රශ්නයක් තියෙනවා කියලයි. ප්‍රශ්නය කියන්නත් අදිමදි කරනවා කියලා හිතුණා. මටත් එක පාරටම හිතා ගන්න බැරි වුණා, මෙච්චර ළමයා ගැන කියන්න බැරි ප්‍රශ්නය මොකක්ද කියලා.

පස්සේ කොහොම හරි මගේ පෙරැත්තයට එනවා. ඒ ඇවිත් කියනවා 1996 දී එළුවන්කුලමේ ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වෙච්ච කෙනෙක්. මේ ළමයා අම්මාගෙන් කිරි බිබී ඉන්න කොට තමයි ත්‍රස්තවාදියෝ ගමට පැනලා, ඔක්කෝම කපලා - කොටලා එක ගොඩට දාලා ගිනි තියලා තියෙන්නේ.

මේ මාමා මට පරණ පත්තර කෑලි වගයකුත් පෙන්නුවා. මමත් මුලදි එච්චරම අවධානයක් යොමු කරන්නේ නෑ. 96 ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අනූ නවයයි, දශම නවයේ ඒවා කොච්චර දැම්මත් වචනයකින් කියන්න මට නම් තේරෙන්නේ නැති විදියට බේරුණු ළමයෙක්.

අම්මගෙන් කිරි බිබී ඉන්න කොට අම්මාව කපලා මරද්දි, අම්මට යට වෙලා තමයි ළමයා බේරිලා තියෙන්නේ. කිරි බිබී ඉන්නකොට ළමයට නින්ද ගිහින් තියෙන නිසා අම්මට යට වුණත් අඬලා නෑ.

ඔක්කෝම මරලා එකගොඩකට දාලා ත්‍රස්තවාදියෝ ගිනි තියලා ගිහින්. ළමයගේ තාත්තා නැති වෙලා. මේ ගමේම ඉඳලා තියෙනවා. ළමයාගේ අම්මගේ තාත්තා, ළමයාගේ සීයා. සීයා සෝමපාල ලියනගේ. සීයාගේ කකුළක් නෑ. සතුන්ට අටවපු මරු වැළක් පෑගිලා, ඔපරේෂන් එකකින් කකුල අයින් කරලා. එදා ඉඳලම කිහිලිකරුවෙන් තමයි සීයා එයාගේ වැඩ ටික කරගෙන තියෙන්නේ.

මේ ප්‍රහාරයෙන් මුළු ගමම මරළතෝනි දෙනකොට සීයාට මතක්වෙලා තියෙන්නේ තමන්ගේ දුව රේණුකා දමයන්ති සහ දරුවන් තුන් දෙනාවයි.

මම සීයාත් එක්ක කතාබහ කරලා තියෙනවා. මේ සීයාට හොඳට දෙමල තේරෙනවා, කතා කරන්න එහෙම පුළුවන්. ත්‍රස්ත්‍රවාදින් කිව්වලු මේ නාකියාට ඇවිදින්න බෑ, ඒ නිසා පිච්චිලා මැරිච්චදෙන් කියලා තමයි අතහැර දාලා ගිහින් තියෙන්නේ. ජීවිත ආසාව අතහැරලා ඒ ගොඩේම මැරිච්ච දෙන් කියලා ඉන්නකොට, දොරවල් ජනෙල් වහලා ගිනි ගත්ත ගෙදරකින් ළමයෙක් අඬන සද්දයක් ඇහිලා තියෙනවා. ළමයි කිහිප දෙනෙකුත් ඒ අය අතර ඉඳලා තියෙනවා. ළමයා අඬන සද්දේ ඇහිලා සීයා බඩ ගාගෙන ගිනිගොඩ මැදින් ගිහින් කෑගහන ළමයා බලන කොට මේ ළමයගේ දෙවැනි අයියා තමයි මරු විකලෙන් කෑගහලා තියෙන්නේ. ඒ දිනේෂ්, දිනේෂ්ව සීයා අමාරුවෙන් අතට ගන්නකොට ම සීයාගේ අතේම දිනේෂ් මැරිලා වැටිලා. ඒ වෙනකොටත් මේ ළමයගේ ලොකු අයියා

 ක්‍රිෂාන්ත ජීවිතය අත හැරලා දාලා ගිහින්.

ඊට පස්සේ තමයි මේ පොඩි එකාව මතක්වෙලා තියෙන්නේ. මැරිච්ච අය පෙරළ පෙරළ බලනකොට පොඩි එකා අම්මට යට වෙලා කිරි උර උර ඉන්නවා දැකලා තියෙන්නේ. පස්සේ කරන්න දෙයක් නැති සීයා ඇඳගෙන හිටපු සරම ගලවලා පොඩි එකාව මැද තියලා හතර කොනින් ගැටගහලා කටින් ඒක එල්ලගෙන රූට රූට කැලේට රිංගලා තියෙන්නේ. ඒ යනකොට වතුර වළකටත් වැටිලා. සීතලට පොඩි එකා අඬන කොට එයාගේ ඇඟිල්ලක් උරන්න දීලා තමයි රෑ ගෙවා ගෙන තියෙන්නේ. ඒවන කොටත් ත්‍රස්තවාදියෝ හතර වටින්ම වෙඩි තියලත් තියෙනවා.

එතැනින් ගොඩ ආපු ළමයා දුෂ්කර ජීවිතයක් එක්ක හැදී වැඩිලා අට වසරේදී තමයි මට හම්බ වෙන්න. එහෙම තමයි මාදම්පේ සේනානායක ඉස්කෝලේට එන්නේ. මේ ප්‍රහාරයට ගොදුරු වෙච්ච නැති ලොකු අම්මටයි - මාමාටයි තමයි සීයා මෙයාව බාර දීලා තියෙන්නේ.

ඒ සීයත් ඊට පස්සේ මේගොල්ලෝ එක්කම ඉඳලා මෑතකදි නැතිවෙලා තියෙනවා. පස්සේ මටත් හිතුණා, මම මේ ලොකු වගකීමක් බාර ගන්නේ කියලා. ඊට පස්සේ ළමයා මොන විදියට හැදෙයි ද? සමාජයට මුහුණ දෙයි ද කියන ප්‍රශ්න පවා මට ඇති වුණා.

2009 අන්තිමේ ඉඳලා අවුරුදු 6 - 7 ක් මාත් එක්කම හැදුණ- වැඩුණා. මමත් මාදම්පේ සේනානායක ඉස්කෝලෙන්, නාත්තන්ඩිය ධම්මිස්සර ඉස්කෝලේට එනකම්ම වගේ මාත් එක්ක හිටියා. මට පුළුවන් විදියට ළමයා ගොඩනඟා ගත්තා. අම්මා - තාත්තා අයියලා දෙන්නා ගැන නෑදෑයෝ ගැන කිසිම දෙයක් දන්නේ නැති, ලොකු අම්මයි මාමායි ළඟ හැදුණු වැඩුණු ළමයා අන්තිමේ හොස්ටල් එකේ ළමයි එක්ක එකතුවෙලා හොඳට ඒ ජීවිතය ගෙව්වා.

මේ ළමයාට මීට වඩා සමාජ සාධාරණයක් ඉෂ්ඨ වෙන්න ඕනා කියලා හිතෙනවා. ධම්මිස්සරට ආවට පස්සේ මට අවුරුද්දක් දෙකක් මේ ළමයා ගැන හොයන්න බැරි වුණා. මේ ළඟදි දවසක අහම්බෙන් වගේ කතා කරාම කිව්වේ ත්‍රීවිල් එකක් එළවනවා කියලා. ඊට පස්සේ තමයි මම කිව්වේ ඕක දාලා එන්න කියලා.

මේ දේ වුණේ මේ ළමයට විතරක් නෙවෙයි වෙන්න ඇති. තමන්ගේ වරදකුත් නෙවෙයි, රටේ වරදකුත් නෙවෙයි, කාගේ හෝ බලතන්හාවක් නිසා, මරණයෙන් ගැළවුණු ළමයෙක්. හැබැයි අදටත් අනාථයෙක් නෙවෙයි. මීට වඩා සර්ව සාධාරණත්වයක් ඉෂ්ට වෙන්න ඕනා කියලා හිතනවා.

හැම කෙනෙකුටම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න බෑ. හැබැයි මම සතුටු වෙනවා විල්පත්තුවෙන් මෙහාට ගෙනැල්ලා, වොලිබෝල් ක්‍රීඩාවෙන් සමස්ත ලංකා මට්ටමට ගොස් මේ විදියට සමාජය ඉදිරියට යන්න පුළුවන් තත්ත්වයකට හදා ගන්න පුළුවන් වෙච්ච එක ගැන. මේ ළමයා වොලිබෝල් ක්‍රීඩාවට විතරක් නෙවෙයි, හොඳ ගායකයෙක්.

මේ ළමයා වගේම තමයි මගේ ළඟ හිටියා හසලක ගාමිණිගේ අක්කගේ දුව, රසාංජි. ඔය වගේම තමයි හසලක ළමයෙක් ඉන්නවා කියලා බලන්න යනකොට ඒ ළමයා හසලක ගාමිණිගේ අක්කගේ දුව. රසාංජි ශ්‍රී ලංකා කනිෂ්ඨ වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරමින් විදේශ සංචාර පවා ගියා.

ඒ චාල්ස් තිලකරත්නගේ හඬයි. ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවට නිහඬ මාහැඟි සේවයක් කරන චාල්ස් තිලකරත්න, වත්මන් ජාතික ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙසද කටයුතු කරයි. නමුත් චාල්ස් තිලකරත්න වැනි සේවාවන් කරන පුහුණුකරුවන් ලාංකේය භූමියේ නිසි ඇගැයීමට ලක් වෙනවාද කියන කරුණු කාරණා වෙනම කතා කළයුතුය.

දිල්ෂාන් අකලංක තිදෙනකුගෙන් යුත් පවුලක බඩපිස්සා ලෙස මෙලොව එළිය දකින්නේ 1996 අප්‍රේල් 23 වැනිදාය. අකලංකලා ත්‍රස්ත ප්‍රහාරයට ලක්වන්නේ ජුනි මාසයේ. එවිට අකලංක යන්තම් මාසයක් මාස එකහමාරක් වැනි කාලයක් ගෙවා දැමුවා පමණි.

ජීවිතය ගොඩක් දුකයි. අම්මයි අයියලා දෙන්නම ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක්වුණා. ඒක මගේ ජීවිතයට ලොකු අඩුවක් වුණාට, චාලි සර් සහ ලොකු අම්මා (අම්මා කියන්නේ) මාමා හින්ද දැන් අඩුවක් දැනේනනේ නෑ. මම හැදුණේ ලොකු මහත් වුණේ මේ අය එක්ක නිසා.

තව අක්කා කෙනෙක් ඉන්නවා. ඔය සිද්ධිය වන කොට අක්කා බැඳල හලාවත බත්තුඩුවේ ඉඳලා තියෙන්නේ.

ඉස්සෙල්ලාම එළුවන්කුලම ඉස්කෝලේ ගියේ. ඊට පස්සේ වනාතවිල්ලුව බණ්ඩාරනායකපුර ඉස්කෝලේට ගියා. බණ්ඩාරනායකපුර ඉස්කෝලේ ඉගෙනගන්නකොට තමයි චාලි සර් ඇවිත් කතා කළේ. මම පොඩි කාලේ ඉඳලම වොලිබෝල් ගහන්න ආසාවෙන් හිටියේ. මම කැමැති වුණත් අම්මා (ලොකුඅම්මා) මාමා ඒකට කැමැති වුණේ නෑ. කොහොම හරි අන්තිමේ මම සර් ළඟට ආවා.

ඊට පස්සේ 2009 ඉඳලා 2014 වෙනකම් වොලිබෝල් සෙල්ලම් කරා. ඉස්කොලේ හැම වයස් කාණ්ඩයකටම ක්‍රීඩා කළා. අපොස උසස් පෙළ ලියලා ගෙදර යනකම්ම ක්‍රීඩා කළා.

පාසල් මට්ටමේ හැම තරගාවලියකටම ක්‍රීඩා කළා. ඩී. එස්. අයි, සමස්ත ලංකා, දැයට කිරුළ මේ හැම තරගාවලියකටම ඉස්කෝලේ නියෝජනය කළා. මේ හැම තරගාවලියක් අපි මාදම්පේ සේනානායක විද්‍යාලය ටීම් එකක් විදියට දිනුවා.

2009 හොඳම ප්‍රහාරකයා වුණා. ඒ ඩී. එස්. අයි. තරගාවලියේ 14 පහළ තරගාවලියේ මම ප්‍රහාරකයෙක් විදියට තමයි ටීම් එකේ හිටියේ.

බණ්ඩාරනායකපුර ඉස්කෝලේ ඉන්නකොට කිසිම ක්‍රීඩාවකට සම්බන්ධ වුණේ නෑ. ලොකු අය හංදියේ සෙල්ලම් කරනකොට බලාගෙන ඉඳලා තමයි වොලිබෝල් ගැන මට ආසාක් ඇති වුණේ. ඒ දවස්වල වොලිබෝල් කොටුවට ගිහින් පැත්තකට වෙලා බලා ගෙන හිටපු එක තමයි වැඩිපුරම කළේ.

ඉස්කෝලෙන් අවුට්වෙලා ආයෙත් වනාතවිල්ලුවේ ගියා. ගමේ ගිහින් ඉන්න අතර කොළඹ රැකියාවක් හම්බවෙලා ආවා. කොළඹත් අවුරුදු දෙකක් ඉඳලා ආයෙත් ගෙදර ගියාම තමයි සර් කතා කළේ.

ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේ ගමේ වොලිබෝල් ක්‍රීඩා කළා. ඔය අතර තමයි ත්‍රීවිල් එකක් ගත්තේ. මගේ වොලිබෝල් ක්‍රීඩාව කඩා වැටුණේ චාලි සර් තරම් කියලා දෙන්න කෙනෙක් මට හම්බවුණේ නැති නිසයි. ගමේ ක්‍රීඩා කළාට, පුහුණුකරුවෙක් හිටියෙත් නෑ. ඒ නිසා තමයි මගේ වොලිබෝල් ක්‍රීඩාව නතර වුණේ.

මාදම්පේ ඉස්කෝලේ ඉන්නකොට සුනිල් කොස්තා චිත්‍රපටියකට සම්බන්ධ වෙන්න කිව්වා. මගේ ජීවිත කතාව තමයි ඒකට පාදක වුණේ. හැබැයි ඊට පස්සේ ඒකට මොකද වුණේ කියලා දන්නේ නෑ.

යුද්ධය නතර වෙච්ච එක ගැන නම් ගොඩක් සතුටුයි. හැම දෙමළ මිනිහෙක්ම ත්‍රස්තවාදියෙක් නෙවෙයි. හැම දෙමළ මනුෂ්‍යයෙක්ම ත්‍රස්තවාදින්ට සම්බන්ධ වෙලා ඉඳලත් නෑ. මෙම බලතන්හාව නිසා ම ඇති වූ කල්ලියක්.

මම කිසිම දෙමළ මනුෂ්‍යයෙක් එක්ක තරහක් නෑ. අපේ ගමේ එළුවන්කුලම සිංහල, දෙමල, මුස්ලිම් මිනිස්සු කලවමේ ඉන්නවා.

අද ගමේ ඉන්න හැම කෙනෙක්ම දන්නවා මට මෙහෙම දෙයක්වුණා කියලා. ත්‍රස්තවාදීන්ට උදවු කරපු කිහිප දෙනකුත් අදටත් ගමේ ඉන්නවා. ඒ අයත් මාත් එක් කතාබහ කරලා ඉන්නවා.

දැන් අපේ ගෙදර ඉන්නේ මායි ලොකුඅම්මයි - මාමායි. ලොකු අම්මට අක්කලා හතර දෙනකුයි අයියලා තුන්දෙනකුයි ඉන්නවා. ඔය සිද්ධිය වන කොට ඒ ගොල්ලේ හිටියේ ටවුන් එකේ. ගමේ ඉඳලා කිලෝ මීටරයක් දෙකක් විතර දුරින් තමයි අපි හිටියේ.

සර් දැන් මට යුද හමුදා වොලිබෝල් සංචිතයට කතාකළා. මගේ බලාපොරොත්තුව නැවතුණු තැනින් වොලිබෝල් ක්‍රීඩාව පටන් අරගෙන ඉදිරියට යන එකයි.

විසි එක්වන වියේ පසුවන අකලංක වොලිබෝල් ක්‍රීඩාව හෙට කුමන අතකට හැරේවිද? යන්න කීමට කල් වැඩිය. වඩාත් සුදුසු දේ අකලංක නැවත වොලිබෝල් පිටියේ දක්වන දස්කම් දෙස බලා හිඳීමයි.

Comments