
ප්‍රශාන්ත ඇල්පිටිය
ඒ 2017 වසරේ ජනවාරි මස 29 වැනිදාය. අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සැන් ඇන්ටෝනියෝ නුවර පිහිටි ගෘහස්ත ක්‍රීඩාංගණයට 52,000 කට අධික ක්‍රීඩා ලෝලීහු පිරිසක් රැස් වී සිටියහ. ඒ ලොව පුරාම අතිශය ජනප්‍රිය අමෙරිකානු වෘත්තීයමය මල්ලවපොර (රෙස්ලිං) විශේෂ තරගාවලියක් නැරඹීමටය.
එය හැඳින්වූයේ රෝයල් රම්බල් (රාජකීය ගිගුරුම) ලෙසටයි. මෙවර පැවැත්වූයේ එහි 30 වැනි තරගාවලියයි. ඊට කාන්තා සහ පිරිමි විවිධ අංශ යටතේ තරග කිහිපයක්ම පැවැත්විණි. එහිදී විශේෂ අවධානයක් යොමු වූ තරගයක් විය. ඒ ජෝන් සීනා සහ ඒ. ජේ. ස්ටයිල්ස් අතරය.
ඔවුන් දෙදෙනාම 39 හැවිරිදිය. තියුණු තරගයකින් පසුව සීනාට ජය අත්විය. එය වාර්තාගත ජයකි. එය සීනා හිමිකරගත් ඩබ්. ඩබ්. ඊ. (වර්ල්ඩ් රෙස්ලිං එන්ටර්ටේන්මන්ට්) 13 වන ශූරතාවය විය. එය වාර්තාවකි. එමෙන්ම පැරණි තරුවක් වන රික් ෆ්ලෙයාර් විසින් ඩබ්. ඩබ්. ඊ. වැඩිම මුළු ලෝක ශූරතා ගණනක් (16) හිමිකරගෙන පිහිටුවා තිබූ ලෝක වාර්තාවත් සීනා සම කිරීමයි. සීනාගේ මුළු ලෝක ශුරතා අතරට හෙවිවේට් ශූරතා ත්‍රිත්වයකුත් අයත්ය.
අමෙරිකානු වෘත්තීයමය මල්ලවපොර ක්‍රීඩාව වර්ණවත් එමෙන්ම බොහෝ දෙනා තුළ කුතුහලයකුත් ඇති කළ තවමත් ඇති කරන ක්‍රීඩාවකි. අතීතයේදී මෙම තරග සංවිධානය කළේ ලෝක මල්ලවපොර සම්මේලනය විසිනි. නමුත් දැන් එහි ප්‍රධානතම තරග පවත්වන්නේ ඩබ්. ඩබ්. ඊ. ආයතනයයි. මෙම ක්‍රීඩාව ශ්‍රී ලංකාව ඇතුළුව ලොව පුරාම ජනප්‍රියව තිබේ.
මෙම ක්‍රීඩාව රඳා පවතින්නේ තිර පිටපතක් මතය. කෙටියෙන්ම පැවසුවහොත් මේ ක්‍රීඩාවේ නිරත වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් සිදු කරනු ලබන්නේ රඟපෑමකි. එය අතීතයේ රහසක් විය. දැන් එය ප්‍රසිද්ධ රහසකි. එහෙත් තවමත් මේ ක්‍රීඩාවේ සැබෑ ස්වභාවය පිළිනොගන්නා විශාල පිරිසක් සිටිති.
කෙසේ හෝ විවිධ යුගවලදී අමෙරිකානු වෘත්තීයමය මල්ලවපොර ක්‍රීඩාවේ ජනප්‍රියතම වූ සුපිරි තරු රැසක්ම සිටියහ. ඊට ඇන්ඩ්‍රේ ද ජයන්ට්, හල්ක් හේගන්, රික් ෆ්ලෙයාර්, අද ජනප්‍රිය නළුවෙක් බවට පත් වී සිටින ඩ්වේන් ජොන්සන් හෙවත් රොක් අයත්ය. මෑත යුගයේදී ඔවුන් අතරට එක් වූයේ ජෝන් සීනාය.
සීනා මෙම ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව තුළදී ජනප්‍රියතම වූ මෑත කාලීන ක්‍රීඩා තරුව ලෙසට හැඳින්විය හැකිය. එය කෙතරම් ද යත් ඔහුගේ නම ඇතුළත් කරමින් ගායනා කළ සිංහල ගීතයක්ද ජනප්‍රියව තිබේ. මේ වන විට ඩබ්. ඩබ්. ඊ. මල්ලවපොර ක්‍රීඩාවේ වැඩිම මුදලක් ගෙවනු ලබන්නේ ද සීනාටමය.
1977 වසරේ අප්‍රේල් මස 23 වැනිදා ජෝන් ෆීලික්ස් ඇන්තනි සීනා කණිෂ්ට උපත ලැබුවේ අමෙරිකාවේදීය. 1999 වසරේ සිට හෙතෙම වෘත්තීයමය මල්ලවපොර ක්‍රීඩාවේ නිරත වෙයි. මේ වන විට ඔහු නළුවෙක්, රැප් ගායකයෙක් මෙන්ම රූපවාහිනි වැඩසටහන් නිවේදකයකු ලෙසටත් ක්‍රියා කරයි. සීනා 2009 වසරේ සිට 12 දක්වා විවාහ වී සිටියේ සිය උසස් පාසල් පෙම්වතිය වූ එළිසබෙත් හියුබර්ඩියු සමඟිනි. මේ වන විට ඔහුගේ බිරිය වන්නේ 33 හැවිරිදි නිකී බෙලාය. ඇයත් මල්ලවපොර ක්‍රීඩිකාවකි. එමෙන්ම නිළියකි. සීනාගේ උස අඩි 6 අඟල් 1 කි.
ක්‍රීඩාව තුළින් පමණක් නොව වෙළඳ දැන්වීම් සහ අනුග්රාහකයන්ගෙන් ද හෙතෙම වාර්ෂිකව විශාල ආදායමක් උපයයි. මේ දිනවල ඔහු සුප්‍රකට අමෙරිකානු සමාගමක් වන ජේ. සී. පෙනි සමාගමේ ටැප්අවුට් ඇඟලුම් ප්‍රවර්ධනය කිරීමේ වෙළෙඳ තානාපතිවරයෙක් ලෙසට ක්‍රියා කරයි.